10. අපායසංවත්තනික සූත්ර වර්ණනාව
දසවැන්නෙහි පාණාතිපාතො යනු පණනැසීමේ චෙතනාවයි, සබ්බලහුසො අප්පායුකසංවත්තනිකො යනු ඒ සුළු කර්ම විපාකයෙන් අඩු ආයුෂ ඇත්තේ වෙයි. දුන් පමණට හෝ ප්රතිසන්ධියෙන් වියැකී යයි, මවුකුසින් නික්මෙන කෙණෙහි හෝ (මෙසේ අල්පායුෂ්ක වෙයි.) මෙබන්ඳක් වනාහි අන්කිසි කර්මයක ප්රවෘත්ති විපාකයක් නොවේ. මෙය පණ නැසීමේ කර්මය ගියමගයි. භොගව්යසනසංවත්තනිකො යනු යම්සේ කාකණික මාත්රයකුදු අතේ නොසිටියිද මෙසේ භොග විනාශයට හේතුවෙයි, වෙරසපත්තසංවත්නිකො හොති යනු සතුරන් සමඟ වෛරය පවත්වයි, ඔහුට සතුරෝ බොහෝ වෙත්, යමෙක් ඔහු දකියි ද වෛරයම උපදවයි. නොනිවෙයි, මෙබන්ඳක් වනාහි අනුන්ගේ රැකවල් කරනලද භාණ්ඩයෙහි කරන ලද අපරාධයාගේ ප්රවෘත්ති විපාකයයි.
අභූතබ්හක්ඛාන සංවත්තනිකො හොති යනු අසත්යයෙන් දොස්නැඟීමට හේතුවෙයි. යම් කිසිවකු විසින් කරන ලද්ද ඔහු මත වැටෙයි, මිත්තෙහි භෙදනසංවත්තනිකො යනු මිත්රයන්ගෙන් මිදීමට හේතුවෙයි, යමකු යමකු මිත්රයකු කරගනියිද හෙතෙම හෙතෙම බිඳෙයිමය. අමනාපසද්දසංවත්තනිකො යනු නොකැමැති ශබ්දයට හේතුවෙයි. යම් ඒ වචනයක් රළු කර්කශ කටුක වේද, තරහ උපදවයිද මරණීය වේද ගියගිය තැන එයම අසයි, හිත කැමති ශබ්ද ඇසීමක් නොලබයි, මෙබන්ඳක් රළුවචනයාගේ කර්මය ගිය ගිය මගයි. අනාදෙය්යවාචසංවත්තනිකො යනු නොගතයුතු වචනයට හේතු වෙයි. නුඹ කෙසේ කියහිද? කවරෙක් නුඹගේ වචනය ගන්නේදැයි කියයුතු බවට පැමිණෙයි, මේ නිසරු වචන කීමේ කර්මය ගිය මගයි. උම්මත්තකසංවත්තනිකො හොති යනු උමතුබවට හේතුවෙයි. එයින් මිනිසා උමතුවූවෙක් හෝ විසුරුණු සිතැත්තෙක් හෝ කෙළතොල්ලෙක් හෝ වෙයි. මේ සුරාපානයාගේ ප්රවෘත්ති විපාකයයි. මේ සූත්රයෙහි සසරම කියන ලදි.
සිවුවැනි දානවර්ගයයි.
5. උපොසථ වර්ගය
4. වාසෙට්ඨූපොසථ සූත්ර වර්ණනාව
පස්වැනි වර්ගයෙහි සතරවැනි සූත්රයෙහි ඉමෙ චෙපි වාසෙට්ඨ මහාසාලා යනු ඉදිරියෙහි තිබුණු සල්ගස් දෙක දක්වමින් සිතනලද උපමාව වදාළ සේක. මෙය කියන ලද්දේ වෙයි. මේ සල්ගස් අචේතනිකය. ඉදින් මොවුහුද සචේතනික වී අට්ඨංගසමන්නාගත උපොෂථය රකින්නහු නම් මොවුනට ද ඒ උපොෂථය දිගුකලක් හිතසුව පිණිස වන්නේය. මිනිසුන්වූවන් ගැන කිවයුත්තක් නැත.
6. අනුරුද්ධමනාපකායික සූත්ර වර්ණනාව
සයවැන්නෙහි යෙනායස්මා අනුරුද්ධො යනු ඒ දේවතාවෝ තමන්ගේ සැපත බලා කවර කරුණක් නිසා අප විසින් මේ සැපත ලබන ලදදැයි සිහි කරමින් තෙරුන් දැක අපි පෙර සක්විති රජකම් කරන්නාවූ ආර්ය්යයන් වහන්සේට බිරින්දෑවරු වී උන්වහන්සේ විසින් දෙනලද ඔවදනෙහි පිහිටා මේ සැපත ලබමු. යමු තෙරුන් ගෙනවුත් මේ සැපත විඳින්නෙමුයි දහවලෙහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් සිටි තැනට එළඹුනාහ. තීසු ඨානෙසු යන කරුණු තුනෙක්හියි, ඨානසො පටිලභාම යනු ක්ෂණයකින්ම ලබමු. සරං යනු වචන ශබ්දය හෝ ශීත ශබ්දය හෝ ආභරණ ශබ්දයයි, පිතා අස්සු යනාදිය නිල් පැහැ ඇත්තේ වූහ. කහ පැහැත්තෝ වීමට නොහැකිවෙතියි ආදී ක්රමයෙන් සිතා විතර්කනය කරයි. ඒ දෙවතාවෝ ද දැන් ආර්ය්යයන් වහන්සේ අපගේ කහ බව කැමති වෙති. දැන් රතුබව යයි එබන්ඳෝම වූහ.
අච්ඡරිකං වාදෙසි යනු අත්තලය හැඬවූහ. පඤ්චඞ්ගිකස්ස යනු ආතත විතත ආතතවිතත ඝන සුසිර යන අංග පසින් යුක්තවූවහුයි. එහි ආතතය නම් සමින් වැසුණු බෙර ආදියෙහි එකැස් තූර්ය්යයයි. විතතය නම් දෙඇස් තූර්ය්යයයි. ආතතවිතතය නම් සියල්ලෙන් වැසුණු තූර්ය්යයයි. සුසිරය නළා ආදියයි. ඝනය නම් කයිතාලම් ආදියයි. සුවිනීතස්ස යනු ඇඳීම් (තදකිරීම) ලිහිල් කිරීම් ආදියෙන් නංවන ලද්දහුයි, සුප්පටිපතාළිතස්ස යනු ප්රමාණයට පිහිටිබව දැනගැනීම සඳහා මනාව තට්ටු කරන ලද්දහුගේයි, කුසලෙහි සුසමන්නාහතස්ස යනු වාදනය කිරීමට යමෙක් දක්ෂයෝ ද සපන්නු ද ඔවුන් විසින් වාදනය කරන ලද්දහුගේයි, වග්ගු යනු සොඳුරු වුයේයි, රජනීයො යනු සතුටු කිරීමට සමත්වූයේයි, කමනීයො යනු කැමතිවිය යුත්තේයි. ඛමනීයො යනු හෝ පාඨයෙකි, දවසකුදු අසනු ලබන්නේ ඉවසයිමය. නොකළකිරෙයි යන අරුත්ය, මදනීයො යනු මානමද පුරුෂමද ඇති කරන්නේයි, ඉන්ද්රියානි ඔක්ඛීපි යනු මේ දෙවියෝ නොසරුප් දෙයක් කරත්යයි ඉඳුරන් යටට හෙලීය. ඇස් ඇර බැලීය. න ඛො අය්යො අනුරුද්ධො සාදියති යනු අපි නටමු ගයමු, අනුරුද්ධ ආර්ය්යයන් වහන්සේ සතුටු නොවෙති. ඇස් හැර නොලබති අපි නටා හෝ ගයා කුමක් කරන්නෙමුදැයි එහිම අතුරුදහන් වූහ. යෙන භගවා තෙනුපසංකමි යනු ඒ දෙවිවරුන්ගේ ආනුභාවය දැක කවර නම් ධර්මයන්ගෙන් යුක්ත වූ මාගමක් මනාපකායික දෙව්ලොව උපදීදැයි මේ කරුණ ඇසීමට එළඹියේය.