1. දාන සූත්‍ර වර්ණනාව
සතරවෙනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි ආසජ්ජදානං දෙති යනු පැමිණ දන්දෙයි, පැමිණියහු දැක ඔහු මොහොතක්ම හිඳුවා සත්කාර කොට දන්දෙයි, දෙන්නෙමැයි වෙහෙස නොකරවයි, භයා යනු මෙතෙම නොදන්නෙකි, නොකරන්නෙකියි ගැරහීම් බියෙන් හෝ අපාය බියෙනි, අදාසි මෙ යනු මෙතෙම පෙර මෙනම් දෙය දුන්නේයයි (සිතා) දෙයි, දස්සති මෙ යනු අනාගතයෙහි මෙනම් දෙය දෙන්නේයයි දෙයි, සාහුදානං යනු දානය නම් මැනවි, සොඳුරුය. බුද්ධාදී පඬිවරුන් විසින් පසසන ලද්දකැයි දෙයි, චිත්තාලඞ්කාරචිත්ත පරික්ඛාරත්ථං දෙති යනු සමථ විදර්ශනා සිත අලංකාර කරනු සඳහා ද පිරිකර සඳහා ද දෙයි, දානය සිත මෙළෙක් කරයි, යමකු විසින් ලබන ලද්දේ ද හෙතෙම ලැබිනැයි මෘදු සිත් ඇත්තේ වෙයි. යමකු විසින් දෙන ලද්දේ ද හෙතෙම මවිසින් දෙන ලදැයි මෘදු සිත් ඇත්තේ වෙයි, මෙසේ දෙදෙනාගේම සිත මෘදු කරයි, එහෙයින්ම අදන්තදමන යැයි කියනු ලැබේ. එහෙයින් කියන ලදි.
දානය නොදැමුනවුන් දමනය කරන්නකි, දානය සියලු අර්ත්ථ සාධනය කරන්නකි, දීමෙන් හා ප්‍රිය වචනයෙන් නැමෙත්, නතුවෙත්.
මේ දාන අට අතුරෙන් චිත්තාලඞ්කාර දානයම උතුම්ය.
2. ද්විතීයදාන සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි සද්ධා යනු යම් සැදැහැවකින් දානය දෙයි ද ඒ සැදැහැවයි, හිරියං යනු යම් ලජ්ජාවකින් දානය දෙයිද එයම අදහස් කරන ලදි. කුසලඤ්ච දානං යනු දානය නිවැරදිය, දිවියං යනු දෙව්ලොව පමුණුවන්නේයි.
3. දානවත්ථු සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි දානවත්ථුනි යනු දාන කාරණයෝයි, ජන්දා දානං දෙති යනු ප්‍රේමයෙන් දානය දෙයි, දොසා යනු තරහින් කිපියේ වී යමක් ඇත්ද එය වේගයෙන් ගෙන දෙයි, මොහා යනු මෝහයෙන් මුළා වී දෙයි, ගරහා යනු ගැරහීමට බියෙන් හෝ අපායට බියෙන් හෝ ඔහුටම බියෙන් හෝ දෙයි, කුලවංසං යනු කුලපරපුරයි.
4. ඛෙත්තූපම සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි න මහප්ඵලං හොති යනු ධාන්‍ය ඵලයෙන් මහත්ඵල නොවෙයි, න මහස්සාදං යනු යමකට ඵලයක් වේද එහි ආස්වාදය මහත් නොවෙයි, මඳ ආස්වාද ඇත්තකි, නොමිහිරිය, න ඵාතියෙය්ය යනු ඊට වැඩීමකුත් නොවෙයි. ඊට මහත් වී ගොඩක එකතුවක් නොවේයයි අරුත්ය. උණ්ණාම නින්නාමි යනු බෑවුම ගොඩ වශයෙන් විෂම පිහිටීමයි, එහි ගොඩ දිය දරා නොසිටියි, බෑවුමෙහි ඉතා බොහෝවක් (දිය) සිටී, පාසාණසක්ඛරිල්ලං යනු පැතිරී සිටි පැතලි ගල්තලයෙන් ද කුඩා ගල්වලින් ද බොරළුවලින් ද යුක්ත වූයේයි, ඌසරං යනු උල්පත්දියයි, න ච ගම්භීරසිතං යනු තද බිම නිසා ගැඹුරට ගිය නඟුල් (හී) මගක් කොට සාන්නට නොහැකිය. නොගැඹුරු නඟුල් (හී) මගක්ම වේ. න ආයසම්පන්නං යනු දිය ඒමෙන් යුක්තවූවක් නොවේ. න අපායසම්පන්නං යනු නික්මෙන මඟ ඇත්තක් නොවේ. න මාතිකාසම්පන්නං යනු කුඩා මහත් දිය වේලින් යුක්තවූවක් නොවේ. න මරියාදසම්පන්නං යනු නියර සීමාවන්ගෙන් යුක්තවූවක් නොවේ, මහත්ඵල නොවේයයි ආදී සියල්ල වී අස්වැන්න වශයෙන් දතයුතුය.
සම්පන්නෙ යනු පිරිපුන් වූවෙහි, සැපත් ඇත්තෙහියි, පවුත්තාබීජසම්පදා යනු හොඳ බීජය රෝපනය කරන ලදි. දෙවෙ සම්පාදයන්තම්හි යනු වැස්ස මනාව වසින විටයි, අනීතිසම්පදා හොති යනු කෘමි, කුහුඹි ආදී ප්‍රාණීන්ගෙන් වන උවදුරු නැතිවීම එක් සම්පත්තියකි. විරුළ්හි යනු වැඩීම දෙවැනි සම්පත්තියයි, වෙපුල්ලං යනු මහත්බව තෙවැනි සම්පත්තියයි, ඵලං යනු පිරිපුන් ඵලය චිත්තසම්පදාවයි. සම්පන්නසීලෙසු යනු පිරිපුන් සිල්හියි, භොජනසම්පදා යනු සම්පූර්ණ වූ නොයෙක් බොජුන් ඇති බවයි, සම්පදානං යනු ත්‍රිවිධ කුශල සම්පදාවයි, උපනෙති යනු ඒ භොජන සම්පදාව එළවයි, කුමක් හෙයින්ද? සම්පන්නං හිස්ස තං කතං යම් හෙයකින් ඔහුගේ ඒ කළ කර්මය සම්පූර්ණද පිරිපුන්ද යන අරුත්ය. සම්පන්නත්ථුධා යනු මෙහි සම්පූර්ණවූයේ වේවායි, විජ්ජාචරණසම්පන්නො යනු ත්රිවිද්යාවන්ගෙන් ද පසළොස් චරණ ධර්මයන්ගෙන් ද යුක්ත වූයේයි, ලද්ධා යනු මෙබඳු පුද්ගලයා සිතේ සපිරීම, අවිකලභාවය ලබායි, කරොති කම්මසම්පදං යනු පිරිපුන් කර්මයක් කරයි, ලභති ච අත්ථසම්පදං යනු අර්ත්ථය ද පිරිපුන්ව ලබයි, දිට්ඨිසම්පදං යනු විදර්ශනාදෘෂ්ටියයි, මග්ගසම්පදං යනු සෝවාන් මගයි, යාති සම්පන්නමානසො යනු පිරිපුන් සිතැත්තේව රහත් බවට යයි, සා හොති සබ්බසම්පදා යනු ඒ සියලු දුකින් මිදීම සබ්බසම්පදා නම් වෙයි.