9. පහාරාද සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි පහාරාදො යනු එබඳු නම් ඇත්තෙකි. අසුරින්දො යනු අසුර දෙටුවෙකි. අසුරයන් අතුරෙහි වෙපචිත්ති, රාහු, පහාරාද යන මේ තිදෙන දෙටුවෝයි. යෙන භගවා තෙනුපසඞ්කමි යනු දසබලයන් වහන්සේ බුදු වූ දිනයෙහි සිට අද යමි හෙට යමියි එකළොස් වසක් ගෙවා දොළොස් වසරෙහි ශාස්තෲන් වහන්සේ වෙරඤ්ජාවෙහි වෙසෙන කල්හි සම්බුදුන්වහන්සේ සමීපයට යන්නෙමැයි සිත උපදවා මට අද හෙටයයි දොළොස් වසරක් වූයේය. අද ඒකාන්තයෙන්ම දැන්ම යමියි එකෙණෙහිම අසුර සමුහයා පිරිවරා අසුර භවනයෙන් නික්ම මද්දහනෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළැඹියේය. එකමන්තං අට්ඨාසි යනු හෙතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අසා මෙසේ ධර්‍මය අසන්නෙමැයි පැමිණියේ භාග්‍යවතුන් වහන්සේ දුටු වේලෙහි සිට බුද්ධ ගෞරවයෙන් ඇසීමට නොහැකි වන්නේද ශාස්තෲන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිතු සේක. මේ පහාරාද තෙමේ මා කථා නොකරද්දී පළමුව කථා කිරීමට නොහැක්කේය. පුරුදු කළ බලය ඇති තැන්හිම මොහුට කථාව ඇතිකිරීම සඳහා එක් ප්‍රශ්නයක් අසන්නෙමැයි සිතා
ඉක්බිති ඔහු විමසන සේක් අපි පන පහාරාද යනාදිය පැවසූ සේක. එහි අභිරමන්ති යනු ඇල්ම විඳියි. නොඋකුටලීව වසත්යයි අරුත්ය. හෙතෙම, භාග්‍යවතුන් වහන්සේ පුරුදු කරන ලද තැන්හිම මා විමසන සේකැයි සතුටට පත්වූයේ වී “ස්වාමීනි ඇලුම් කරති”යි කීවේය. අනුපුබ්බනින්නො යනාදිය සියල්ල අනුපිළිවෙලින් පහතට නැඹුරු වූ බවට නම්ය. න ආයතකෙනෙව පපාතො යනු සිඳුණු ඉවුරු ඇති මහ වළක් මෙන් මුලදීම ප්‍රපාතය නොවෙයි. එය වනාහි ඉවුරෙහි සිට අඟුල දෑඟුල වියත රියන උසභය අඩගව්ව ගව්ව අඩුයොදුන ආදි වශයෙන් ගැඹුරු වී යන්නේ මහමෙර මුල අසූහාරදහසක් යොදුන් ගැඹුරු වී සිටියේයි දක්වන සේක.
ඨිතධම්මො යනු සිටි සැටියයි. පිහිටි ස්වභාවයයි. කුණපෙන යනු යම්කිසි ඇත් අස් ආදීන්ගේ සිරුරෙනි. ථලං උස්සාදෙති යනු අතින් ගෙන මෙන් රළ පහරින්ම ගොඩ බිමට විසිකරයි.
ගඞ්ගායමුනා යනු මෙහි සිට මේ නදීන්ගේ උත්පත්ති කථාව කීමට වටියි. මේ දඹදිව වනාහි යොදුන් දස දහසක පරිමාණය ඇත්තකි. එහි යොදුන් සාර දහසක පරිමාණය ඇති පෙදෙසක් දියෙන් වැසී ගියේ මහසමුදුරුයි ප්‍රසිද්ධියට ගියේය. යොදුන් තුන්දහසක් ප්‍රමාණයෙහි මිනිස්සු වෙසෙති. යොදුන් තුන්දහසක ප්‍රමාණයෙහි හිමවත පිහිටියේය. (එය) උසින් යොදුන් පන්සියයක් වූයේ අසුසාර දහසක් මුදුන්වලින් යුක්ත වූයේ හාත්පසින් ගලනු ලබන ගංගාවන්ගෙන් විසිතුරු වූයේයි. එහි දිග පළලෙන් හා ගැඹුරෙන් ද පණස් පණස් යොදුන් ඇති යොදුන් එකසිය පණහක පිරිමඬුලු ඇති අනොතත්ත විල, කණ්ඩමුණ්ඩවිල, රථකාරවිල, ඡද්දන්තවිල, කුණාලවිල, මන්‍දාකිනීවිල, සීහප්පපාතවිල යයි මහවිල් සතක් පිහිටා ඇත.
ඒවා අතුරින් අනොතත්ත විල සුදස්සනකූටය, චිත්තකූටය, කාළකූටය, ගන්ධමාදනකූටය, කෙලාසකූට යයි මේ පර්‍වත පසෙන් වටකරන ලද්දේය. එහි සුදස්සනකූටය රන්මුවා වෙයි. යොදුන් දෙසීයක් උසය. ඇතුළත වක්ය. කවුඩු මුවක සටහන් ඇත්තේය. ඒ (අනොතත්) විලම වසා සිටි චිත්තකූටය හැමරුවන්මුවාය. කාළකූටය අඳුන්මුවාය. ගන්ධමාදනකූටය සානුමය වූයේ වෙයි. ඇතුළත මුං පැහැය ඇත්තේය. මුල්ගඳ, හරගඳ, එළගඳ සිව්ගඳ, පතුරුගඳ කොලගඳ, මල්ගඳ ගෙඩිගඳ කඳෙහි ගඳැයි මේ ගඳින් උත්සන්න වූයේය. නොයෙක් ආකාර ඖෂධවලින් ගැවසී ගත්තේ අමාවක පොහොය දිනයෙහි ගිනිගත් අඟුරක් මෙන් දිලෙමින් පවතියි. කෙලාසකූටය රිදීමුවාය. සියල්ලම සුදස්සන කූටයට සමාන උස් සටහන් ඇත්තේය. ඒ විලම වසා සිටියේයි. සියල්ල දෙවනාග ආදීන්ගේ ආනුභාවයෙන් පවතියි. මේවාහි ගංගා ගලයි. ඒ සියලුම දිය අනොතත්ත විලට පිවිසෙයි. සඳහිරු දකුණෙන් හෝ උතුරෙන් හෝ යන්නේ පර්‍වත අතුරින් එහි ආලෝකය ඇති කරයි. කෙලින් යමින් ආලෝකය ඇති නොකරයි. එහෙයින්ම එයට අනොතත්ත යයි නමක් හටගත්තේය.