2. සීහසෙනාපති සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අභිඤ්ඤාතා යනු දන්නාලද, ප්‍රසිද්ධ වූ, ප්‍රකට වූයි, සන්ථාගාරෙ යනු මහජනයාගේ ගිමන් නිවන ගෘහයෙහියි, විසඹුලෑම සඳහා තනන ලද ගෘහයෙහියි. ඒ සන්ථාගාර ශාලාව නුවර මැද වූයේය. සතර තැනක සිටියවුනට පැනෙයි. සිවුදිගින් පැමිණි මිනිස්සු පළමුව එහි විශ්‍රාම ගෙන පසුව තමතමන්ට පහසු දෙසකට යති. රාජකුලයන්ට රාජ්‍ය කෘත්‍යයන් සාකච්ඡා කිරීම සඳහා කරනලද ගෘහයයි ද කියත්මය. එහි හිඳ ලිච්ඡවි රජවරු රාජ්‍ය කෘත්‍ය පතුරුවති, කරති, විචාරති. සන්නිසින්නා යනු ඒ රජවරුනට හිඳීම සඳහාම පනවනලද මාහැඟි පසුතුරුණු ඇති නංවනලද සේසත් ඇති අසුන්හි හුන්නාහුයි. අනෙකපරියායෙන බුද්ධස්සවණ්ණං භාසන්ති යනු රාජකුලයෙහි කටයුතු ද ලෝකාර්‍ත්‍ථ චර්යාව ද විචාරා නොයෙක් කරුණින් බුදුරජාණන් වහන්සේගේ ගුණය කියත්, පවසත්, පැහැදිලි කරති. ඒ රජවරු පඬිවරුය. සැදැහැවත්තුය. පැහැදුනෝය. සෝවාන් වූවාහු ද සකෘදාගාමි වූවාහු ද අනාගාමි වූවාහු ද ආර්යශ්‍රාවක වූ ඒ සියල්ලෝම ලෞකික බැඳුම් සිඳ බුද්ධාදී තෙරුවන් ගුණ පවසත්. එහි සිරිත් වැණුම, සිරුර වැනුම, ගුණ වැණුම යයි බුදු වැණුම තෙවැදෑරුම් වෙයි. එහිදී මේ රජවරු සිරිත් වැණුම ඇරඹූහ. කල්ප ලක්ෂයක් අධික වූ සාරාසංඛ්‍යයක් කාලය පුරා දසපාරමී දස උපපාරමී, දසපරමත්ථපාරමී යයි සමතිස් පෙරුම්පුරමින් ඥාති අර්‍ත්‍ථචර්‍ය්‍යාව ලොකාර්‍ත්‍ථචර්‍ය්‍යාව හා බුද්ධි චර්යාව මුදුන් පමුණුවමින් පංච මහා පරිත්‍යාගයන් අත්හරින්නා වූ සම්මා සම්බුදුන් වහන්සේ විසින් ඒකාන්තයෙන්ම දුෂ්කරවූවක් කරන ලදැයි පන්සිය පණසක් වූ ජාතකයන්ගෙන් බුදුවැණුම පවසමින් තුසිත භවනයට පමුණුවා තැබවූහ.
දහම් වැණුම පවසන්නාහු ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් නිකාය වශයෙන් නිකාය පහක් ද පිටක වශයෙන් පිටක තුනක්ද අඞ්ග වශයෙන් අංග නවයක් ද ස්කන්ධ වශයෙන් අසූහාරදහසක් ධර්‍මස්කන්ධයන් ද ධර්‍මය දෙසන ලදැයි කොටස් වශයෙන් දහම් දැනුම පැවසූහ.
සඟ ගුණ පවසන්නාහු ශාස්තෘන් වහන්සේගේ දම් දෙසුම අසා ලද සැදැහැ ඇති කුලපුත්තු භෝග සමුහය ද නෑ පිරිස ද අතහැර සේසත, උපරජකම, සෙන්පති සිටු භාණ්ඩාගාරික යන තනතුරු නොසලකා නික්ම ශාස්තෲ ශාසනයෙහි පැවිදි වෙති. සේසත අතහැර පැවිදි වූ භද්දියරාජ මහාකප්පින පුක්කුසාති ආදීවූ රජුන්ව සිට පැවිදි වූවන්ගෙන්ම බුද්ධකාලයෙහි අසූ දහසක් විය. නොයෙක් කෙළ ගණන් ධනය අතහැර පැවිදි වූ යසකුලපුත් සොණ සිටුපුත් රට්ඨපාල කුලපුත් ආදීන්ගේ සීමාවක් නැත. මෙබඳු මෙබඳු වූ කුලපුත්තු ශාස්තෲ ශාසනයෙහි පැවිදිවෙතියි පැවිදිවීම් වශයෙන් සඟගුණ පැවසූහ.
සීහො සෙනාපති යනු මෙබඳු නම් ඇතිවූ සේනාවට අධිපතියායි. විශාලාවෙහි රජවරු සත්දහස් පන්සිය සතකි. ඒ සියල්ලෝම රැස්ව සියල්ලන්ගේ සිත්ගෙන රටපාලනයට සමත් කෙනකු විමසුවයි විමසමින් සීහ නම් රජකුමරු දැක මෙතෙම හැකිවන්නේ යයි සනිටුහන් කොට ඔහුට රත්මිණි පැහැ ඇති කම්බලයකින් වට කරන ලද සෙන්පති සත දුන්නාහුය. ඔහු සඳහා “සීහො සෙනාපති”යි කියන ලදි. නිගණ්ඨ සාවකො යන නිගණ්ඨනාථපුත්‍රයන්ට, ප්‍රත්‍යය දෙන්නා වූ උපස්ථායකයෙකි, නාලන්දාවෙහි උපාලි ගෘහපති, කපිල පුරයෙහි වප්ප ශාක්‍යතෙමේ හා විශාලාවෙහි සීහසෙනාපති යයි දඹදිව් තෙලෙහි නිගණ්ඨයන්ට අග්‍ර උපස්ථායක වූ තිදෙනෙකි. නිසින්නො හොති යනු සෙසු රජවරුන්ට පිරිස අතරතුරෙහි අසුන් පැනවූහ. සීහට වනාහි මැද තැනෙහියි. එහි පැනවූ මාහැඟි රජසුනෙහි හුන්නේ වෙයි: නිස්සංසයං යනු සැක නැතිව ඒකාන්තයෙන්ය. ඔවුහු යම් ඒ අල්පේශාක්‍යයකුගේ නොයෙක් සිය ගණන් කරුණින් ගුණ නොකියති.
යෙන නිගණ්ඨො නාථපුත්තො තෙනුපසඞ්කමි යනු නිගණ්ඨනාථපුත්ත තෙමේ ඉදින් මේ සීහ ශ්‍රමණ ගෞතමයන්ගේ ගුණ කියන කිසිවකුට කන්දී ශ්‍රමණ ගෞතමයන් දැකීම සඳහා එළඹෙන්නේ නම් මගේ පරිහානිය වන්නේයයි සිතා පළමුව සීහ සෙන්පතිට මෙසේ කීවේය. “සෙන්පතියෙනි, මෙලොවෙහි මම බුදුය මම බුදුයයි (කියමින්) බොහෝ දෙනෙක් හැසිරෙති. ඉදින් ඔබ කිසිවකු දැකීමට එළඹෙනු කැමැත්තෙහි නම් මගෙන් අසන්නෙහිය. මම නුඹ සුදුසු තැන යවන්නෙමි. නුසුදුසු තැනින් වළහන්නෙමි”. හෙතෙම ඒ කථාව සිහි කොට ඉදින් මා යවන්නේ නම් යන්නෙම්ද නොයන්නෙම්දැයි සිතා [missing trans]