10. කාරණ්ඩව සූත්ර වර්ණනාව
දසවැන්නෙහි අඤ්ඤෙනඤ්ඤං පටිචරති යනු වෙනත් කරුණකින් හෝ වචනයකින් වෙනත් කරුණක් හෝ වචනයක් වසා දමයි, බහිද්ධා කථං අපනාමෙති යනු බැහැරින් වෙනත් ආගන්තුක කථාවක් බහාලයි, අපනෙය්යො යනු මෙතෙම ඉවත් කළ යුතුයි, සමණදූසී යනු ශ්රමණ දූෂකයෙකි, සමණපලාපො යනු වීවල බොල්මෙන් නිසරුබවින් මහණුන් අතුරෙහි මහණකමින් බොල්වූවෙකි, සමණකාරණ්ඩවො යනු මහණ කසලයෙකි, බහිද්ධා නාසෙන්ති යනු පිටතට පළවා හරිත්, යවකරණෙ යනු යව කෙතෙහියි, පූයමානස්ස යනු උස් තැනක සිට මහ සුළගෙහි පොලනු ලබන්නාගේයි, අපසම්මජ්ජන්ති යනු සරු ධාන්ය එක්පසකට ද නිසරු ධාන්ය තවත් පසෙකට ද කරනු සඳහා යළියළිත් සුළං කරත්. අපසම්මජ්ජනි නම්වූ ව්රතය ගන්නාවූ කුල්ලෙන් හෝ වස්ත්රයෙන් හෝ ගසත්. දද්දරං යනු බරබර හඬයි,
සංවාසායං යනු එක්ව විසීමෙන් මෙතෙමේයි, විජානාථ යනු දන්නහුය, සන්තවාචො යනු සිනිඳු වචන ඇත්තේයි, ජනවතී යනු ජනයා මැදයි, රහො කරොති කටනං යනු කටනයි කියනුයේ පාපකර්මයටය, එය රහසිගතව පිළිසන්ව කරයි, සංසප්පී ච මුසාවාදී යනු බඩගා බොරු කියන්නේ, බොරු කියමින් බඩගායි, ගැහෙයි යන අරුත්ය. මේ සූත්රයෙහි සසරම කියා ගාථාවන්හි සසර හා නිවන කියන ලදි.
පළමුවැනි වූ මෙත්තා වර්ගයයි.
2. මහා වර්ගය
1. වෙරඤ්ජ සූත්ර වර්ණනාව
දෙවැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි අභිවාදෙති යනු මේ ආදිය න සමණො ගොතමො යන මෙහි කියනලද නකාරය සමග යොදා මෙසේ මෙහි අර්ත්ථය දතයුතුයි නොවඳියි, අසුනෙන් නොනැඟිටියි, පින්වතුන් වහන්සේ මෙහි හිඳීවායි මෙසේ අසුනෙන් හෝ ඇරයුම් නොකරයි, මෙහි වා ශබ්දය රූපං නිච්චං වා අනිච්චං වා යනාදියෙහි මෙන් ප්රකට කිරීම් අර්ත්ථය ඇත්තේයි. මෙසේ කියා ඉක්බිති තමන්ට වැදීම් ආදිය නොකරන භාග්යවතුන් වහන්සේ දැක කීවේය. තයිදං භො ගොතම තථෙව යනු යමක් මවිසින් අසන ලද්දේ ද එය එසේමය, එය ඇසීමට ද දැකීමට ද ගැලපෙයි, සමවෙයි, අර්ත්ථ වශයෙන් ඒකීය බවට යයි, න හි භවං ගොතමො -පෙ- ආසනෙන වා නිමන්තෙති යනු මෙසේ තමන් ඇසූ දෙය දුටු දෙයින් නිගමනය කොට නින්දා කරමින් කීවේය. තයිදං භො ගොතමො න සම්පන්නමෙව යනු ඒ වැඳීම් ආදිය නොකිරීම නොසුදුසුමය,
ඉක්බිති ඔහුට භාග්යවතුන් වහන්සේ තමන් උසස් කිරීම හා අනුන් පහත් කිරීම යන දෝෂයට නොපැමිණ කරුණාවෙන් සිසිල්වූ හදවතින් ඔහුගේ නොදැන්ම දුරුකොට සුදුසු බව දක්වන සේක්, නාහං තං බ්රාහ්මණ යනාදිය පැවසූ සේක, මේ එහි කෙටි අරුතයි, බමුණ මම නොවැලැක්විය හැකි සියල්ල දුටු නුවණැසින් බලන්නෙම්ද දෙවියන් සහිත ආදී බෙදීම් ඇති මේ ලෝකයෙහි යමෙකුට මම වදින්නෙම් හෝ පෙරගමන් යන්නෙම් හෝ අසුනෙන් ඇරයුම් කරන්නෙම් හෝ වේද, එබඳු පුද්ගලයෙක් නොදකිමි. ඒ මම අද සියල්ල දක්නා බවට පැමිණියෙම් එබඳු වූ ගරුකිරීමට සුදුසු පුද්ගලයකු නොදකිමි යනු අසිරියක් නොවේ. තවද යම්විටෙක මම එකෙණෙහි උපන්නේම උතුරට මුහුණලා පියවර සතක් තැබීමෙන් ගොස් සියලු දසදහසක් ලෝකධාතුව බැලීම් ද එකල්හි ද දෙවියන් සහිත ආදී බෙදීම් ඇති මේ ලෝකයෙහි යමකුට මම මෙබඳු වූ ගරුකිරීම් කෙරෙම් ද එබඳු වූ පුද්ගලයෙකු නොදැකීමි. තවද කප් සොළොස් දහසක් ආයු ඇති කෙලෙස් පහකළ මහා බ්රහ්මයා ද මට ඇඳිලි බැඳගෙන ඔබ ලොව මහා පුරුෂයාය, ඔබ දෙවියන් සහිත ලෝකයට අග්රයාය ජ්යෙෂ්ඨයාය, ශ්රේෂ්ඨයාය, ඔබට වඩා උසස් වූවෙක් නැතැය හටගත් සොම්නස ඇත්තේ ගෞරව කළේය. එදින ද මම තමන්ට වඩා උසස් වූවකු නොදකිමින් මම ලොවට අග්රවෙමි. ශ්රේෂ්ඨ වෙමි. ජ්යෙෂ්ඨ වෙමැයි අභීත වචන නික්මවීමි. මෙසේ එකෙණෙහි උපන් මට වැදීම් ආදියට සුදුසු වූ පුද්ගලයෙක් නැත්ද ඒ මම දැන් සියල්ල දන්නා බවට පත්වූයෙම් කවරකු වඳින්නෙම්ද? එයින් බමුණ, තථාගතයන් වහන්සේගෙන් මෙබඳු වූ ගරු කිරීමක් නොපතුව. බමුණ යමකුට තථාගතයන් වහන්සේ වඳින්නේද - පෙ- අසුනෙන් හෝ ඇරයුම් කරන්නේද ඒ පුද්ගලයාගේ හිස රෑ අවසන්හි මුහුකුරා යාමෙන් ලිහිල් වූ බැඳුම් ඇති නටුවෙන් ගිලිහුණු තල් ගෙඩියක් මෙන් සිඳී එකෙණෙහිම බිම වැටෙන්නේය.
මෙසේ කී කල්හි ද බමුණු තෙමේ නුවණ මද බැවින් තථාගතයන් වහන්සේගේ ලොවට දෙටු බව නොසලකන්නේ හුදෙක් ඒ වචනය නොයිවසමින් අරසරූපො භවං ගොතමො යි කීවේය. මේ එහි අදහසයි. ලෝකයෙහි යම්වූ වැඳීම් පෙරගමන් යාම් ඇඳිලි බැඳීම් පිළිසඳර කිරීමාදිය සමඟිරසයයි කියයි ද එය භවත් ගෞතමයන්ට නැත. එබැවින් භවත් ගෞතමයෝ අරසරූපියෙකි අරසජාතිකයෙකි, අරස ස්වභාවය ඇත්තෙකි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඔහුට සිතෙහි මෙළෙක්බව ඇති කරවීම සඳහා කෙළින් සතුරු බව දුරු කරමින් අන් අයුරකින් ඔහුගේ වචනයෙහි අරුත තමාගේ වචනයෙහි ගලපමින් අර්ත්ථ ඛෙවස බ්රාහ්මණ පරියායො යනාදිය කී සේක.
එහි අර්ත්ථ ඛෙවස යනු අර්ත්ථ ඛො එස යන පද එකතුවයි. පරියායො යනු කරුණයි. මෙය කියන ලද්දේ වෙයි, බමුණ යම් කරුණකින් මට තවත් ගෞතම තෙමේ අරසරූපියෙකැයි කියන පුද්ගලයා මනාව කියන්නේය. යථාර්ථවාදී සංඛ්යාවට යන්නේය යන්නට කරුණක් ඇත. ඒ කවර පුද්ගලයෙක්ද? යෙ තෙ බ්රාහ්මණ, රූපරසා -පෙ- ඵොට්ඨබ්බරසා තෙ තථාගතස්ස පහීනා යි කුමක් කියන ලද්දේ වේද? රූපාරම්මණාදිය ආස්වාදනය කරන්නා වූ සතුටු වන්නා වූ ඇලෙන්නා වූ ජාති වශයෙන් හෝ උත්පත්ති වශයෙන් හෝ ශ්රේෂ්ඨ සම්මත වූද පෘථග්ජනයන්ට යම් කම්සුව විඳීම් සංඛ්යාත වූ රූපරස ශබ්දරස ඵොට්ඨබ්බ රසයෝ උපදිත්ද යම්වූ එම රසයෝ මෙලොව ගෙලෙන් බැඳ මෙන් මත්ගාත්ද (කළඹත්ද) වස්තු අරමුණු ආදිය එකතුවෙන් උපන් හෝ බැවින්ද ඒවා සාමග්ගි රසයෝයි කියනු ලැබෙත්. ඒ සියල්ලෝම තථාගතයන් වහන්සේගේ ප්රහීන වූවාහුය. මගේ ප්රහීන වූහයි කිවයුතු කල්හි තමන් මමංකාරයට නොදමමින් දහම් දෙසයි. මෙය තථාගතයන් වහන්සේගේ දේශනා විලාසයක් හෝ වේ.
(එහි) පහීනා යන චිත්ත සන්තානයෙන් දුරු වූහ. අත්හරනා ලද්දාහු හෝ වෙත්. මෙහි වනාහි කරණාර්ත්ථයෙහි සම්බන්ධ විභක්තිය දැක්විය යුතුයි. ආර්ය මාර්ග නමැති අවියෙන් සිඳින ලද තෘෂ්ණා අවිද්යාමය මූලය ඇත්තේ මොවුනටනුයි උච්ඡින්නමූලා නමි. උදුරා දැමූ තල්ගසක් ඇති බිම මෙන් ඔවුන් පදනම් රහිත කරන ලදැයි තාලාවත්ථුකතා නමි. යම්සේ තල්ගසක් මුල එහි බිම පමණක්ම ඒ පෙදෙස පමණක්ම කළකල්හි යළිත් ඒ තල්ගසේ උපතක් නොපැනේද එසේ ආර්යමාර්ග අවියෙන් මුල සහිත රූපාදි රසයන් උදුරා ඒවා පෙර උපන්විරූබවින්ම චිත්ත සන්තානය වස්තුමාත්ර වූවක් කළ කල්හි ඒ සියල්ලම තාලාවත්ථුකතායි කියනු ලැබෙත්. නොවැඩෙන බැවින් හෝ මුදුනින් සිඳලූ තල්ගසක් මෙන් කරන ලද්දේනුයි තාලාවත්ථුකතා නම් වේ. යම් හෙයකින් මෙසේ සිඳලු තල්ගස් මෙන් කළේද අනුව පැවැත්මක් නැති කරන ලද්දාහු වෙත්. යම්සේ ඔවුන්ගේ පසුව පැවැත්මක් නොවෙයිද එසේ කරන ලද්දාහු වෙත්. එහෙයින් අනභාවකතා යි කියන ලදි. ආයතිං අනුප්පාදධම්මා යනු අනාගතයෙහි නොඋපදින ස්වභාවය ඇත්තෝයි.