4. සීහසෙනාපති සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි මච්ඡරි යනු පස් මසුරුබවින් යුක්තවූයේයි, කදරියො යනු දැඩි මසුරා අනුන්ට දෙන දෙය ද වළක්වයි, අනුප්පදානරතො යනු නැවත නැවත දන් දෙමින්ම සතුටුවෙයි, අනුකම්පන්තා යනු කවරෙක් අද අප විසින් අනුග්‍රහ කළයුතුවෙයිද? කවරකුට දානවස්තුව පිළිගන්වන්නෙමුද? ධර්‍මය හෝ දෙසන්නෙමුදැයි මෙසේ සිතින් අනුකම්පා කරන්නාහුයි.
5. අරක්ඛෙය්‍ය සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි නිමිත්තං යනු ධර්‍ම නිමිත්ත ද පුද්ගල නිමිත්ත ද වේ. මෙතෙම වනාහි තමන්ට දෙසූ දහමෙහි නරකට කියනලද නිවනට නොමෙහෙයවන එක් පදයකුදු නොදන්නේ ධර්‍ම නිමිත්ත මනාව නොදකියි. ඔබ විසින් ධර්‍මය නරකට ප්‍රකාශ කරන ලදි, මනාව නොකියන ලදැයි නැගිට විරුද්ධ වන්නා වූ එක් පුද්ගලයකුදු නොදන්නේ පුද්ගල නිමිත්ත මනාව නොදකියි නමි. සෙසු දෙකෙහි ද මේ ක්‍රමයමයි.
8. පචලායන සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි පචලායමානො යනු ඒ ගම ඇසුරු කොට එක් වන ලැහැබක මහණදම් කරමින් සත්දිනක් සක්මන් වෑයමින් පෙළුණු බැවින් වෙහෙසුණු සිරුරු ඇත්තේ සක්මන් කෙළවර නිදාවැටෙමින් හුන්නේ වෙයි, පචලායසි නො යනු නිදාවැටෙහි නොවේද? අපනිජිත්වා යනු පිරිමැඬයි, ආලොකසඤ්ඤං යනු ථීනමිද්ධය දුරුකරන ආලොක සංඥාවයි, දිවාසඤ්ඤං යනු යම්සේ දහවල ආලෝක සංඥාව අදිටන් කරන ලද්දේ ද එසේ එය රැයෙහි ද අදිටන් කරන්නෙහියි, යථා රත්තිං තථා දිවා යනු යම්සේ ඔබ විසින් රැයෙහි ආලෝක සංඥාව අදිටන් කරන ලද්දේ ද එසේ එය දහවලෙහි ද අදිටන් කරන්නෙහිය. සප්පභාසං යනු දිවැස් නුවණ සඳහා ආලෝකය සහිතවූයි. පච්ඡා පුරෙසඤ්ඤී යනු ඉදිරියෙන් ද පසුව ද ඉදිරියට ගෙනෙන සංඥාවෙන් සංඥාසහගතවූයේයි, අන්තොගතෙහි ඉන්ද්‍රියෙහි යනු පිටතට නොවිසුරුවන ලද ඇතුළතට පිවිසුවන ලද්දාවූම ඉඳුරන් පසිනි, මිද්ධසුඛං යනු නිදිසුවයයි, මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ තෙරුන්ට නින්ද දුරුකරන කමටහනක් පැවසූ සේක. සොණ්ඩං යනු මානයෙන් සොඬ විමයි (ඇබ්බැහි වීමයි), කිච්චකරණීයානි යනු මෙහි අවශ්‍යයෙන්ම කළයුතු දේ කිච්ච නමි, ඉතිරිවා කරණීයානි නමි, මඞ්කුභාවො යනු තෙදනැති බවයි, දොම්නස් බවයි, මෙපමණකින් ශාස්තෘන් වහන්සේ විසින් තෙරුන්ට පිඬු හැසිරීමේ වත දෙසන ලදි.
දැන් ප්‍රලාප කථාවෙහි සීමා කිරීමෙහි සමාදන් කරවනු සඳහා තස්මාතිහ යනාදිය පැවසූ සේක, එහි විග්ගාහිකකථං යනු ඔබ මේ ධර්‍මවිනය නොදන්නෙහිද යන ක්‍රමයෙන් පැවැති විග්ගාහික (දබර ඇතිකරවන සුලු) කථාවයි, නාහං මොග්ගල්ලාන යනාදිය පවිටු මිතුරන් ඇසුරු දුරුකිරීම සඳහා කියන ලදි. කිත්තාවතා නු ඛො යනු කොපමණකින්ද? තණ්හාසඞ්ඛය විමුත්තො හොති යනු තෘෂ්ණාක්ෂය වූ නිවනෙහි මෙය අරමුණ කොට මිඳුණු සිත ඇති බැවින් තණ්හාසඞ්ඛය විමුත්තො නම්වූයේ සැකෙවින් කවරාකාරයෙන් වේද? යම් පිළිවෙතකින් තණ්හාව නැතිකිරීමෙන් මිඳුනේ වේද ක්‍ෂීණාශ්‍රව් භික්ෂුවගේ පූර්‍වභාග ප්‍රතිපදාව වන එය මට සැකෙවින් දෙසනු මැනවැයි අසයි, අච්චන්තනිට්ඨො යනු ගෙවීම් විනාශවීම් සංඛ්‍යාත කෙළවර ඉක්මවීයයි අච්චන්තා නමි, අච්චන්ත වූ නිෂ්ඨාව මොහුටනුයි අච්චන්තනිට්ඨයො නමි, ඒකාන්තයෙන්ම නිෂ්ඨාවට පැමිණියේ නිරන්තරයෙන්ම නිෂ්ඨාව ඇත්තේයි අරුත්ය. අච්චන්තයොගක්ඛෙමී යනු අත්‍යන්තයෙන් යොගක්ෂෙම වූයේ නිත්‍යයෙන් යොගක්ෂෙම වූයේයි අර්‍ත්‍ථයි, අච්චන්තබ්‍රහ්මචාරී යනු අත්‍යන්තයෙන් බ්‍රහ්මමචාරී වූයේයි අර්‍ත්‍ථයි, පළමු ක්‍රමයෙන්ම අත්‍යන්තයෙන් අවසානය මොහුටනුයි අච්චන්තපරියොසානො නමි, සෙට්ඨො දෙවමනුස්සානං යනු දෙවියන්ට ද මිනිසුන්ට ද ශ්‍රේෂ්ඨවූයේ උත්තම වූයේයි, මෙබඳු භික්ෂුව කවරාකරායෙන් වේද සැකෙවින්ම ඔහුගේ පිළිවෙත කියනු මැනවැයි අයදියි,