2. පුරිසගති සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි පුරිසගතියො යනු පුරුෂයාගේ ඥානගතීහුයි, අනුපාදාපරිනිබ්බානං යනු ප්‍රත්‍යය රහිත නිවනයි, නො චස්ස යනු පෙර ආත්මභාවයෙහි උපන් කර්‍මයක් ඉදින් නොවන්නේද යනුයි, නො වෙ මෙ සියා යනු දැන් මගේ මේ ආත්ම භාවය නොවන්නේය, න භවිස්සති යනු දැන් මගේ අනාගත ආත්මභාවය උපදවන්නා වූ කර්‍මයක් නොවන්නේද? න ව මෙ භවිස්සති යනු අනාගතයෙහි මගේ ආත්මභාවයක් නොවන්නේය, යදත්‍ථි යං භූතං යනු වර්‍තමාන ස්කන්ධ පඤ්චකය නම්වූ යමක් ඇත්ද යමක් වූයේ ද, තං පජහාමි උපෙඛං පටිලභති යනු එහි එය ඡන්දරාගය දුරුකිරීමෙන් අතහරිමැයි විදර්‍ශනා උපෙක්ෂාව ලබයි, භවෙ න රජ්ජති යනු අතීත ස්කන්ධ පඤ්චකයෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් නොඇලෙයි, සම්හවෙ න රජ්ජති යනු අනාගතයෙහි ද එසේම නොඇලෙයි, අත්‍ථුත්තරිං පදං සන්තං යනු ශ්‍රේෂ්ඨ වූ ශාන්ත වූ නිර්‍වාණ පදයක් නම් ඇත. සම්මප්පඤ්ඤාය පස්සති යනු එය විදර්‍ශනා සහිත මාර්‍ග ප්‍රඥාවෙන් මනාව බලයි, න සබ්බෙන සබ්බං යනු ඇතැම් කෙලෙසුන් දුරු නොවූ බැවින් සත්‍යය වසන්නා වූ අඳුර සර්‍වප්‍රකාරයෙන් නොවැනසූ බැවින් සියල්ලෙන් සියල්ල නොවේ. භඤ්ඤෙමානෙ යනු අඬුවෙන් ගෙන මිටියෙන් තලන විටයි, අන්තරාපරිනිබ්බායි යනු උපතට අනතුරුව පටන් ආයුෂයෙහි මධ්‍යය නොයික්මවා මේ අතර කාලයෙහි කෙලෙස් පිරිනිවුමෙන් පිරිනිවන්නේ වෙයි, අනුපහච්ච තලං යනු අහස්තලයෙහි නොගැටී නොඉක්මවා බිමට නොපැමිණ අහසෙහිම පිරිනිවන්නේයි මේ තුන් උපමාවන්ගෙන් අන්තරා පරිනිබ්බායී තිදෙනා දක්වන ලදහ.
උපහච්ච පරිනිබ්බායි යනු ආයුෂයෙහි මධ්‍යය ඉක්මවා පැසුළු කෙළවරට හෝ අවුත් පිරිනිවියේ වෙයි, උපහච්ච තලං යනු දිලිසෙමින් ගොස් අහස්තලය ඉක්මවා පොළෝතලය හෝ ගැටී පොළොවෙහි වැටුනු විටම පිරිනිවෙන්නේය, නොමෙහෙයවීමෙන් අප්‍රයෝගයෙන් කෙලෙසුන් ගෙවා පිරිනිවෙන්නේයි අසඞ්ඛාරපරිනිබ්බායි නමි, මෙහෙවීමෙන් ප්‍රයෝගයෙන් කෙලෙසුන් දුරුකොට පිරිනිවෙන්නේනුයි සසඞ්ඛාරපරිනිබ්බායී නමි, කච්ඡං යනු ආරක්ෂා රහිත අරණ්‍යයයි, දායං යනු ආරක්ෂා සහිතවූ අභය (බිය රහිත බව) සඳහා දෙන ලද අරණ්‍යයයි: සෙස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය. මේ සූත්‍රයෙහි ආර්‍ය්‍ය පුද්ගලයෝම කියන ලදහ.
3. තිස්සබ්‍රහ්ම සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි භික්ඛුනියො යනු මහාපජාපතියගේ පිරිවර වූ පන්සියයක් භික්ෂුණීහුයි, විමුත්තා යනු පස්වැදෑරුම් මිඳීම්වලින් මිදුනාවූයි, අනුපාදිසෙසා යනු උපාදාන ඉතිරිය නොගෙන පස්වැදෑරුම් මිදීම්වලින් ඉතිරි නැතිවම මිඳුනාවූයි, සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසො යනු උපාදාන ඉතිරිය සහිත පුද්ගලයා කෙරෙහි මෙතෙම උපාදාන ඉතිරිය සහිතවූයේයි යනුයි. සෙස්සෙහි ද මේ ක්‍රමයමයි: තිස්සො යනු තෙරුන්ගේ සද්ධිවිහාරික වූ බ්‍රහ්මයෙකි, අනුලොමිකානි යනු ප්‍රතිපත්තියට අනුලොම් වූ හුදෙකලා වූ අන්තිම කෙළවරට පත්වූයි, ඉන්ද්‍රීයානි යනු ශ්‍රද්ධාදීවූ විදර්‍ශනා ඉන්ද්‍රියෝයි, සමන්නානයමානො යනු එක්තැන් කිරීමෙහි තබමින්, නහි පන තෙ යනු මෙය කුමක් සඳහා ඇරඹියේද? සවැනි පුද්ගලයා දක්වනු සඳහායි, සත්වැනිවූ සද්ධානුසාරි පුද්ගලයා නොදක්වන ලදි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බලවත් විදර්‍ශනා ඇත්තෙකු වශයෙන් ඔහු දක්වමින් මෙසේ වදාළ සේක. එහි සබ්බනිමිත්තානං යනු සියලු නිත්‍ය නිමිතිවලයි, අනිමිත්තං යනු බලවත් විදර්‍ශනා සමාධියයි.
4. සීහසෙනාපති සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි මච්ඡරි යනු පස් මසුරුබවින් යුක්තවූයේයි, කදරියො යනු දැඩි මසුරා අනුන්ට දෙන දෙය ද වළක්වයි, අනුප්පදානරතො යනු නැවත නැවත දන් දෙමින්ම සතුටුවෙයි, අනුකම්පන්තා යනු කවරෙක් අද අප විසින් අනුග්‍රහ කළයුතුවෙයිද? කවරකුට දානවස්තුව පිළිගන්වන්නෙමුද? ධර්‍මය හෝ දෙසන්නෙමුදැයි මෙසේ සිතින් අනුකම්පා කරන්නාහුයි.
5. අරක්ඛෙය්‍ය සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි නිමිත්තං යනු ධර්‍ම නිමිත්ත ද පුද්ගල නිමිත්ත ද වේ. මෙතෙම වනාහි තමන්ට දෙසූ දහමෙහි නරකට කියනලද නිවනට නොමෙහෙයවන එක් පදයකුදු නොදන්නේ ධර්‍ම නිමිත්ත මනාව නොදකියි. ඔබ විසින් ධර්‍මය නරකට ප්‍රකාශ කරන ලදි, මනාව නොකියන ලදැයි නැගිට විරුද්ධ වන්නා වූ එක් පුද්ගලයකුදු නොදන්නේ පුද්ගල නිමිත්ත මනාව නොදකියි නමි. සෙසු දෙකෙහි ද මේ ක්‍රමයමයි.