7-9. දුක්ඛානුපස්සී ආදි සූත්ර වර්ණනා
සත්වැන්නෙහි දුක්ඛානුපස්සී යනු පෙළෙන ආකාරය දුක්වශයෙන් දකින්නේයි, අටවැන්නෙහි අනත්තානුපස්සී යනු වශයෙහි නොපවතින ආකාරය දකින්නේයි, නවවැන්නෙහි සුඛානුපස්සී යනු සැපයයි මෙසේ නුවණින් දකින්නේයි.
10. නිද්දසවත්ථු සූත්ර වර්ණනාව
දසවැන්නෙහි නිද්දසවත්ථූනි යනු නිද්දසාදී වස්තූහුයි, නිද්දසවූ භික්ෂුව, නිබ්බීසවූ, නිත්තිංසවූ නිච්චත්තාලීසවූ නිප්පඤ්ඤාසවූ භික්ෂුවයි මෙසේ කීමට කරුණුවූයි, මේ ප්රශ්නය වනාහි අන්තොටු සමයෙහි උපන්නකි, තීර්ථකයෝ දසවස් කල්හි මියගිය නිගණ්ඨයකු නිද්දසයි කියත්, හෙතෙම වනාහි යළි දසවස් වූයේ නොවෙයි, හුදෙක් දසවස් වූයේ නොවනු පමණක් නොව නවවස් වූයේද එක්වස් වූයේ ද නොවෙයි, මේ ක්රමයෙන්ම විසිවස් ආදී කල්හි මියගිය නිගණ්ඨයා නිබ්බීසවූයේ නිත්කිංසවූයේ නිච්චත්තාලීසවූයේ නිප්පඤ්ඤාසවූයේයි කියත්. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ගමෙහි හැසිරෙන්නාහු එම කථාව අසා විහාරයට ගොස් භාග්යවතුන් වහන්සේට සැළ කළහ. භාග්යවතුන් වහන්සේ “ආනන්දය, තීර්ථකයන්ගේ පර්ය්යාය වචනයක් නොවේ, මගේ සසුනෙහි ක්ෂීණාශ්රවයාට මෙය පර්ය්යාය වචනයකි. ක්ෂීණාශ්රවයා දසවස් කල්හි පිරිනිවුනේ යළි දසවස් ඇත්තේ නොවෙයි, හුදෙක් දසවස් නොවූයේ පමණක් නොව නවවස් වූයේද -පෙ එක්වස් වූයේද හුදෙක් එක්වස් නොවූයේ පමණක් නොව එකොළොස් මස් ඇත්තේද -පෙ- එක්මස් වූයේ ද එක් මොහොතක් ඇත්තේ වූයේ ද නොවේමය. කුමක් හෙයින්ද යළි පිළිසිඳ ගැනීමක් නොමැති බැවිනියි වදාළ සේක. නිබ්බිසාදියෙහි ද මේ ක්රමයයි, මෙසේ භාග්යවතුන් වහන්සේ මගේ සසුනෙහි ක්ෂීණාශ්රවයාට මෙය පර්ය්යාය නමකියි පවසා යම් යම් කරුණින් නිද්දස වූයේ වෙයිද එය දැක්වීමට මේ දෙසුම ඇරඹූ සේක.
එහි ඉධ යනු මේ ශාසනයෙහියි, සික්ඛාසමාදානෙ තිබ්බච්ඡන්දෙ හොති යනු ශික්ෂාත්රය පිරීමෙහි දැඩි කැමැත්තේ වෙයි, ආයතිඤ්ච සික්ඛාසමාදානෙ අවිගතපෙමො යනු අනාගතයෙහි නැවත දිනාදියෙහි ද ශික්ෂා පිරීමෙහි පහනොවූ ප්රේමයෙන්ම යුක්තවූයේ වෙයි. ධම්මනිසන්ති යනු ධර්මයෙහි සැලකිල්ලෙන් කියාදීමයි. විදර්ශනාවට මෙය නමකි, ඉච්ඡාවිනයෙ යනු තෘෂ්ණාව දුරුකිරීමෙහියි, පටිසල්ලාණො යනු හුදෙකළා බවෙහියි, විරියාරම්හෙ යනු කායික චෛතසික වීර්යය සපිරීමෙහියි, සතිනෙපක්කෙ යනු සිහියෙන් මෙන්ම සමත් බවෙහිය, දිට්ඨිපටිවෙධෙ යන මාර්ග දර්ශනයෙහිය, සෙස්ස සියලු තැන්හි පැහැදිලිමය.
දෙවැනි අනුසය වර්ගයයි.
3. වජ්ජිසත්තක වර්ගය
1. සාරන්දද සූත්ර වර්ණනාව
තෙවැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි සාරන්දදෙ චෙතියෙ යනු මෙසේ නම් ඇති විහාරයෙහියි, තථාගතයන් වහන්සේ එළැඹි කල්හි එහි සාරන්දද යක්ෂයාගේ නිවාසස්ථානය චෛත්යයක් වූයේය, ඉක්බිති මෙහි භාග්යවතුන් වහන්සේට වෙහෙරක් කරවූහ. එය සාරන්දද චෙතියයි ප්රසිද්ධියට ගියේය. යාවකීචඤ්ච යනු යම් පමණ වූ කාලයක් යනුයි, අභිණ්හං සන්තිපාතා යනු දිනකට තෙවරක් රැස්වන්නාහු ද අතරතුර රැස් වන්නාහු ද නිතර රැස්වන්නෝමය, සන්නිපාතබහුලා යනු ඊයේත් කලින් දිනයේත් රැස්වූවෝ වෙමු. (යළි) අද කුමක් සඳහා රැස්වන්නෙමුදැයි අවසානයකට නොපැමිණීමෙන් රැස්වීම් බහුලවූවෝයි, වුද්ධියෙව ලිච්ඡවි වජ්ජිනං පාටිකංඛා නො පරිහානි යනු නිතර රැස්නොවන්නාහු ඒ ඒ දිශාවන්ගෙන් පැමිණි හසුන් (පණිවුඩ) නොඅසත්, එයින් අසුවල් ගම් සීමාව හෝ අසුවල් නියම්ගම් සීමාව අවුල්ය, අසුවල් තැන්හි සොරු නැගී සිටියාහුය නොදනිත්, සොරුද රජවරු පමා වූවෝයයි දැන ගම්නියම්ගම් පහරමින් දනව් වනසති, මෙසේ රජුන්ගේ පිරිහීම වෙයි, නිතර රැස්වන්නාහු එම පුවත් අසති, එයින් බලසෙන් යවා සතුරු මැඬීම කරති, සොරු ද රජවරු උනන්දුය රොද බැඳ හැසිරීමට අපට නොහැකියයි වෙන් වී පළායති. මෙසේ රජවරුනට අභිවෘද්ධිය වෙයි. “වුද්ධියෙව ලිච්ඡවි වජ්ජිනං පාටිකංඛා නොපරිහානි”යි එහෙයින් කියන ලදි.
සමග්ගා යනාදියෙහි රැස්වීම් දන්වන බෙර හඬ නික්මුණු විට අද අපට වැඩක් ඇත. මඞගල්යයක් ඇතැයි වියවුල් බවක් කරමින් සමඟියෙන් රැස් නොවෙත් නමි, බෙරහඬ අසාම බුදිනු ලබන්නෝ ද සැරසෙන්නාහු ද ඇඳුම් අඳින්නාහු ද අඩක් අනුභව කළෝ ද අඩක් සැරසුණාහු ද ඇඳුම් හඳිමින්ම රැස්වන්නාහු සමගියෙන් රැස්වෙති නමි, රැස් වූවාහු සිතා මතා කළයුත්ත කොට එක්ව නොනැඟිටින්නාහු සමඟියෙන් නොනැඟීසිටිත් නමි, මෙසේ නැගිටි කල්හිද, යමෙක් පළමුව යත්ද ඔවුන්ට මෙසේ අදහස් වෙයි. “අප විසින් බැහැර කථාම අසන ලදි. දැන් තීරණාත්මක කථාව වන්නේය”. එක්ව නැඟී සිටින්නාහු වනාහි සමඟියෙන් නැඟී සිටිත් නමි, තවද අසුවල් තැන ගම්සීමාව හෝ නියම්ගම් සීමාව වියවුල්ය, සොරු හෝ නැඟී සිටියාහුයි අසා කවරෙක් ගොස් සතුරන් මැඬීම කරන්නේදැයි කී කල්හි පළමුව මමයි පළමුව මමයි කියා යන්නාහු ද සමඟියෙන් නැඟී සිටිත් නමි. කෙනෙකුගේ කටයුත්තක් ඇතිවිට සෙස්සෝ පුතුන් සොහොයුරන් යවා ඔහුගේ කටයුත්තට උදවුවන්නාහු ද අසවලාගේ ගෙට යන්න අසවලාගේ ගෙට යන්නැයි නොකියා සියල්ලෝ එක්ව ආගන්තුක රජවරුනට සලකන්නාහුද එකෙකුට මඟුලක් හෝ අසනීපයක් හෝ එබඳු වෙන යම්කිසි සුවදුක් ඇතිවිට සියල්ලෝ එහි සහාය බවට යන්නාහු ද සමඟියෙන් වජ්ජීන්ගේ කටයුතු කරත් නමි.