5. උදකූපම පුග්ගල සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි උදකූපමා යනු මතුවීම ආදී ආකාර ගෙන දිය සමඟ සමාන කරන ලද්දාවූයි, සකිං නිම්මුග්ගො යනු එක්වරක් දියයට ගිලුණේයි, එකන්තකාළකෙහි යනු නියත මිථ්යාදෘෂ්ටිය සඳහා කියන ලදි: උම්මුජ්ජති යනු නැඟී සිටියි, සාධු යනු යහපත්ව ලබන ලද්දාවූයි, හායතිමෙව යනු පෙරහනෙහි (හිල් සහිත බඳුනක) දමන ලද දිය මෙන් පිරිහේමය, උම්මුජ්ජිත්වා විපස්සති විලොකෙති යනු නැඟිට යායුතු දිසාව බලයි, විමසයි. පතරති යනු යායුතු දෙසට මුහුණලා පිහිනයි නමි, පතිගාධප්පත්තො හොති යනු නැඟිට බලා තරණය කරමින් ගොස් එක් තැනක ප්රතිෂ්ඨාවට පැමිණියේ නම් වෙයි, සිටියි, යළි නොඑයි, තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති යනු සියලු කෙලෙසුන් මනාව තරණය කොට පරතෙරට ගොස් නිවන නමැති ගොඩබිමෙහි පිහිටියේ නම් වෙයි, මේ සූත්රයෙහි සසර හා නිවන කියන ලදි.
6. අනිච්චානුපස්සී සූත්ර වර්ණනාව
සවැන්නෙහි අනිත්යයයි මෙසේ නුවණින් පතුරුවමින් බලන්නේනුයි අනිච්චානුපස්සී නමි, අනිත්යයයි මෙසේ හැඟීම මොහුටනුයි අනිච්චසඤ්ඤී නමි. අනිත්යයයි මෙසේ නුවණින් මනාව දන්නා ලද්දේ මොහුටනුයි අනිච්චපටිසංවෙදි නමි. සතතං යනු සියලු කාලයයි, සමිතං යනු යම්සේ මුල් සිතෙන් පසු සිත සමකරන ලද්දේ එකට පමුණුවන ලද්දේ එක්කරන ලද්දේ වේද එසේයි: අබ්බොකිණ්ණං යනු නිරතුරු වූ අන්ය මනසින් නොමුසුවූයි, චෙතසා අධිමුච්චමානො යනු සිතෙන් මනාව නිමවනු ලබන්නේයි, පඤ්ඤාය පරියොගාහමානො යනු විදසුන් නුවණින් අනුපිවිසුවමිනි,
අපුබ්බං අචරිමං යනු පෙරපසු නොවී එක් කෙණෙහිම, මෙහි සමසීසී කියන ලද්දේය. හෙතෙම සිවුවැදෑරුම් වෙයි, රොගසමසීසී, වෙදනාසමසීසි, ඉරියාපථසමසීසී ජිවිතසමසීසී යනුවෙනි, කිසියම් රෝගයකින් පහරන ලද යමෙකුගේ රෝගය සංසිඳීමත් ආසවයන් ක්ෂයවීමත් එක්විටම සිදුවේද මෙතෙම රොගසමසීසී නමි, කිසියම් වේදනාවක් විදින්නා වූ යමෙකුගේ වේදනාව සංසිඳීමත් ආසවයන් ක්ෂය වීමත් එක්විටම සිදුවේද මෙතෙම වෙදනා සමසීසී නමි, සිටීමි ආදී ඉරියව් අතුරින් එකකින් යුක්තව විදසුන් වඩන යමෙකුගේ ඉරියව්වේ අවසානය ද ආසවයන්ගේ ක්ෂයවීමද එකවිටම සිදුවේද මෙතෙම ඉරියාපථසමසීසි නමි, උපක්රමයෙන් හෝ ස්වභාවයෙන් හෝ යමෙකුගේ දිවි කෙළවර වීමත් ආසවයන් ක්ෂය වීමත් එක්විටම සිදුවෙයිද මෙතෙම ජීවිත සමසීසී නමි. මෙහි මෙතෙම අදහස් කරන ලදි. එහි මාර්ග සිතෙන් ආශ්රවයන්ගේ අවසානයත් චුති සිතෙන් ජීවිතාවසානයත් වේයයි දෙකේම එකවිට සිදුවීමක් නම් නැත. යම් හෙයකින් වනාහි මොහුගේ ආශ්රවයන් ක්ෂය වූ කෙනෙහි ප්රත්යවෙක්ෂා වාරයෙන් අනතුරුවම ජීවිතාවශානයට යයිද අතරක් නොපැනෙයිද එහෙයින් මෙසේ කියන ලදි.
අන්තරාපරිනිබ්බායී යනු පඤ්ච සුද්ධාවාසයන් අතුරෙහි යම්කිසි තැනක උපන් යමෙක් උපන් කෙණෙහි හෝ මඳ වේලාවක් ඉක්මවා හෝ අතරමැද හෝ සිට රහත්බවට පැමිණෙයිද ඔහුට මේ නමයි, උපහච්චපරිනිබ්බායී යනු යමෙක් එහිදීම ආයුෂ මැද ඉක්මවා රහත්බවට පැමිණෙයි ද හෙතෙමේයි, අසංඛාරපරිනිබ්බායි යන යමෙක් ඒ ඒ පුද්ගලයන්ගේ නොමෙහෙයවීමෙන් නොපෙළඹවීමෙන් කෙලෙසුන් ක්ෂය කරයිද හෙතෙමේයි. සසංඛාරපරිනිබ්බායී යනු යමෙක් මෙහෙයවීම් සහිතව පෙළඹවීම් සහිතව කෙලෙසුන් ගෙවා දමයිද හෙතෙමේයි. උද්ධංසොතො අකනිට්ඨගාමි යනු යමෙක් යට සිවු සුද්ධාවාසයන්හි යම්කිසිතැනක ඉපිද එයින් සැම පිළිවෙලින් අකනිටාවෙහි ඉපිද රහත්බවට පැමිණෙයිද හෙතෙමේයි.
7-9. දුක්ඛානුපස්සී ආදි සූත්ර වර්ණනා
සත්වැන්නෙහි දුක්ඛානුපස්සී යනු පෙළෙන ආකාරය දුක්වශයෙන් දකින්නේයි, අටවැන්නෙහි අනත්තානුපස්සී යනු වශයෙහි නොපවතින ආකාරය දකින්නේයි, නවවැන්නෙහි සුඛානුපස්සී යනු සැපයයි මෙසේ නුවණින් දකින්නේයි.
10. නිද්දසවත්ථු සූත්ර වර්ණනාව
දසවැන්නෙහි නිද්දසවත්ථූනි යනු නිද්දසාදී වස්තූහුයි, නිද්දසවූ භික්ෂුව, නිබ්බීසවූ, නිත්තිංසවූ නිච්චත්තාලීසවූ නිප්පඤ්ඤාසවූ භික්ෂුවයි මෙසේ කීමට කරුණුවූයි, මේ ප්රශ්නය වනාහි අන්තොටු සමයෙහි උපන්නකි, තීර්ථකයෝ දසවස් කල්හි මියගිය නිගණ්ඨයකු නිද්දසයි කියත්, හෙතෙම වනාහි යළි දසවස් වූයේ නොවෙයි, හුදෙක් දසවස් වූයේ නොවනු පමණක් නොව නවවස් වූයේද එක්වස් වූයේ ද නොවෙයි, මේ ක්රමයෙන්ම විසිවස් ආදී කල්හි මියගිය නිගණ්ඨයා නිබ්බීසවූයේ නිත්කිංසවූයේ නිච්චත්තාලීසවූයේ නිප්පඤ්ඤාසවූයේයි කියත්. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ගමෙහි හැසිරෙන්නාහු එම කථාව අසා විහාරයට ගොස් භාග්යවතුන් වහන්සේට සැළ කළහ. භාග්යවතුන් වහන්සේ “ආනන්දය, තීර්ථකයන්ගේ පර්ය්යාය වචනයක් නොවේ, මගේ සසුනෙහි ක්ෂීණාශ්රවයාට මෙය පර්ය්යාය වචනයකි. ක්ෂීණාශ්රවයා දසවස් කල්හි පිරිනිවුනේ යළි දසවස් ඇත්තේ නොවෙයි, හුදෙක් දසවස් නොවූයේ පමණක් නොව නවවස් වූයේද -පෙ එක්වස් වූයේද හුදෙක් එක්වස් නොවූයේ පමණක් නොව එකොළොස් මස් ඇත්තේද -පෙ- එක්මස් වූයේ ද එක් මොහොතක් ඇත්තේ වූයේ ද නොවේමය. කුමක් හෙයින්ද යළි පිළිසිඳ ගැනීමක් නොමැති බැවිනියි වදාළ සේක. නිබ්බිසාදියෙහි ද මේ ක්රමයයි, මෙසේ භාග්යවතුන් වහන්සේ මගේ සසුනෙහි ක්ෂීණාශ්රවයාට මෙය පර්ය්යාය නමකියි පවසා යම් යම් කරුණින් නිද්දස වූයේ වෙයිද එය දැක්වීමට මේ දෙසුම ඇරඹූ සේක.