8. ඉන්ද්‍රියසංවර සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි හතුපනිසං හොති යනු නසනලද හේතු ඇත්තේ වෙයි, සීලවිපන්නස්ස යනු විනාශ වූ සිල් ඇත්තහුගේයි, යථාභූතං ඤාණදස්සනං යනු තරුණ විදර්‍ශනා ඥානයයි, නිබ්බිදා විරාගො යනු මෙහි නිර්වේදය බලවත් විදර්‍ශනාවයි, විරාගය යනු ආර්ය මාර්‍ගයයි, විමුත්තිඤාණදස්සනං යනු මෙහි විමුත්ති යනු අරහත් ඵලයයි, ඤාණදස්සන යනු ප්‍රත්‍යවෙක්ෂා ඥානයයි, උපනිස්සයසම්පන්නං හොති යනු සැපැමිණි හේතු ඇත්තේ වෙයි, මේ සූත්‍රයෙහි සීලානුරක්ඛණ ඉන්ද්‍රිය සංවරය කියන ලදි.
9. ආනන්ද සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි කිත්තාවතා යනු කොපමණකින්දයි, අස්සුතඤ්චෙව යනු අන් කලෙක නොඇසූ විරූයි, න සම්මොසං ගච්ඡන්ති යනු විනාශයට නොයති, චෙතසා සම්පුට්ඨපුබ්බා යනු සිතෙන් ස්පර්‍ශ කළවිරූයි. සමුදාචරන්ති යනු මනොද්වාරයෙහි හැසිරෙති, අචිඤ්ඤාතඤ්ච විජානාති යනු අන් කලෙක නොදත් කරුණ දනියි, පරියාපුණාති යනු පවසයි කියයි, දෙසෙති යනු ප්‍රකාශ කරයි, පරං වාවෙති යනු අන්‍යයාට උගන්වයි,
ආගතාගමා යනු දීඝාදීන් අතුරෙහි යම්කිසි ආගම (නිකාය) ක් පැමිණියේ මොවුනටනුයි ආගතාගමා නමි. ධම්මධරා යනු සූත්‍ර පිටකය දරන්නෝයි, විනයධරා යනු විනය පිටකය දරන්නෝයි මාතිකාධාරා යනු පාමොක් දෙක දරන්නෝයි, පරිපුච්ඡති යනු පෙරපසු ගැලපීම විමසයි, පරිපඤ්හති යනු මෙය ද මෙය ද අසමියි සමාන කරයි පිරිසිඳියි, ඉදං භන්තෙ කථං යනු ස්වාමිනී, මේ ගැලපීම පෙරපසු කෙසේ වේදැයි අසයි, ඉමස්ස ක්වත්‍ථො යනු මේ කියන ලද්දෙහි අර්‍ත්‍ථය කුමක්දැයි අසයි, අවිවටං යනු විවරනොවූ දෙයයි, විවරන්ති යනු ප්‍රකට කරත්, කඞ්බාට්ඨානීයෙසු යනු සැකයට කරුණු වූ තැන්හියි. එහි යම් ධර්‍මයක සැක උපදියිද එයම කඞ්ඛාට්ඨානීය නමැයි දතයුතුය.
10. ඛත්තිය සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි භොගාධිප්පායා යනු භොග පවත්වා ගැනීම සඳහා තබනලද අදහසයි, පැවැති අදහස්ය, පඤ්ඤුපවිචාරා යන ප්‍රඥාවන්තයෝ වන්නෙමුයි මෙසේ පැනවීමට පැවති විමසා බැලීම්ය, මේ විචාරයම ඔවුන්ගේ සිතෙහි හැසිරෙයි, බලාධිට්ඨානා යනු බලකාය පිළිබඳ අධිෂ්ඨානයෝයි, බලකාය ලද ඔවුහු ලබනලද පිහිටා ඇත්තෝ නම් වෙති, පඨවිභිනිවෙසා යනු පොළොවට හිමිකරුවෝ වන්නෙමුයි මෙසේ පොළව සඳහා කරන ද සිත පිවිසවීම්ය, ඉස්සරිය පරියොසානා යනු රාජ්‍යාභිෂේකය අවසන්කොට ඇත්තෝය. අභිෂේකයට පැමිණ ඔවුහු අවසානයට පත්වූවාහු නම් වෙත්, මේ ක්‍රමයෙන් සියලු තැන්හි අර්‍ත්‍ථය දතයුතුය,
මෙහි සෙසු පදයන්හි මේ අදහසයි, බමුණෝ වනාහි මන්ත්‍රයන් ලබමින් ලබනලද පිහිට ඇත්තෝ නම් වෙති, ගෘහපතීහු කිසියම් ශිල්පයක්, ස්ත්‍රීහු කුලදායාදයට හිමි පුතකු, සොරු යම්කිසි ආයුධ ශාස්ත්‍රයක්, ශ්‍රමණයෝ ශීලයෙහි පිරිපුන් වූවාහු ලබනලද පිහිට ඇත්තෝ නම් වෙත්, එහෙයින් මන්තාධිට්ඨානා යනාදිය කියන ලදි.
බමුණන්ගේ ද යාගය පුදන්නෙමුයි සිත යොමුවෙයි. බඹලොවට පැමිණි කල අවසානයට පත් වූවෝ නම් වෙත්, එහෙයින් ඔවුහු යඤ්ඤාභිනිවෙසා බ්‍රහ්මලොකපරියොසානා යි කියන ලද්දාහුය. කර්‍මාන්ත කිරීම සඳහා මනස මොවුනට පිවිසේනුයි කම්මන්තාභිනිවෙසා නමි, කටයුතු නිමි කල්හි අවසානයට පත්වූවෝ නම්වෙත්නුයි නිට්ඨිතකම්මන්තපරියොසානා නමි,
පුරිසාධිප්පායා යනු පුරුෂයන් කෙරෙහි පැවැති අදහස ඇත්තෝයි, අලංකාරය සඳහා සිත හැසිරෙන්නේ මොවුන්ගේනුයි අලංකාරූපවිචාරා නමි, අසපත්නියක (වෙනත් බිරියන් නොමැතියක) වී තනිවම ගෙදර වසන්නෙමැයි මෙසේ ඇයගේ සිත යොමුවේනුයි අසපත්තිවිනිවෙසා නමි, ගෙහි විසීමෙන් සම්පත් ලද විට අවසානයට පත්වූවාහු නම් වෙතැයි ඉස්සරියපරියොසානා නමි,
අනුන්ගේ භාණ්ඩ ගැනීමේ අදහස මොවුන්ගේනුයි ආදානාධිප්පායා නමි. ගැවසීගත් තන්හි සැගවුණු තැන්හි මොවුන්ගේ සිත හැසිරේනුයි ගහනුපවිචාරා නමි, අඳුර සඳහා මොවුන්ගේ සිත පිවිසේනුයි අන්ධකාරවිනිවෙසා නමි. නොදැක්මට පැමිණියාහු අවසානයට පත්වෙත්නුයි අදස්සනපරියොසානා නමි.
ඉවසීමේ ක්‍ෂාන්තියෙහි ද පිරිසුදු බව ඇති ශීලයෙහි ද අදහස මොවුන්ගේනුයි ඛන්තිසොරච්චාධිප්පායා නමි, කිසිවක් නැති බවෙහි අයිතියක් නැති බවෙහි මොවුන්ගේ සිත පිවිසේනුයි ආකිඤ්චඤ්ඤවිනිවෙස නමි, නිවනට පත් කල අවසානයට පත් වෙත්නුයි නිබ්බානපරියොසානා නමි.