10. ඛත්තිය සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි භොගාධිප්පායා යනු භොග පවත්වා ගැනීම සඳහා තබනලද අදහසයි, පැවැති අදහස්ය, පඤ්ඤුපවිචාරා යන ප්‍රඥාවන්තයෝ වන්නෙමුයි මෙසේ පැනවීමට පැවති විමසා බැලීම්ය, මේ විචාරයම ඔවුන්ගේ සිතෙහි හැසිරෙයි, බලාධිට්ඨානා යනු බලකාය පිළිබඳ අධිෂ්ඨානයෝයි, බලකාය ලද ඔවුහු ලබනලද පිහිටා ඇත්තෝ නම් වෙති, පඨවිභිනිවෙසා යනු පොළොවට හිමිකරුවෝ වන්නෙමුයි මෙසේ පොළව සඳහා කරන ද සිත පිවිසවීම්ය, ඉස්සරිය පරියොසානා යනු රාජ්‍යාභිෂේකය අවසන්කොට ඇත්තෝය. අභිෂේකයට පැමිණ ඔවුහු අවසානයට පත්වූවාහු නම් වෙත්, මේ ක්‍රමයෙන් සියලු තැන්හි අර්‍ත්‍ථය දතයුතුය,
මෙහි සෙසු පදයන්හි මේ අදහසයි, බමුණෝ වනාහි මන්ත්‍රයන් ලබමින් ලබනලද පිහිට ඇත්තෝ නම් වෙති, ගෘහපතීහු කිසියම් ශිල්පයක්, ස්ත්‍රීහු කුලදායාදයට හිමි පුතකු, සොරු යම්කිසි ආයුධ ශාස්ත්‍රයක්, ශ්‍රමණයෝ ශීලයෙහි පිරිපුන් වූවාහු ලබනලද පිහිට ඇත්තෝ නම් වෙත්, එහෙයින් මන්තාධිට්ඨානා යනාදිය කියන ලදි.
බමුණන්ගේ ද යාගය පුදන්නෙමුයි සිත යොමුවෙයි. බඹලොවට පැමිණි කල අවසානයට පත් වූවෝ නම් වෙත්, එහෙයින් ඔවුහු යඤ්ඤාභිනිවෙසා බ්‍රහ්මලොකපරියොසානා යි කියන ලද්දාහුය. කර්‍මාන්ත කිරීම සඳහා මනස මොවුනට පිවිසේනුයි කම්මන්තාභිනිවෙසා නමි, කටයුතු නිමි කල්හි අවසානයට පත්වූවෝ නම්වෙත්නුයි නිට්ඨිතකම්මන්තපරියොසානා නමි,
පුරිසාධිප්පායා යනු පුරුෂයන් කෙරෙහි පැවැති අදහස ඇත්තෝයි, අලංකාරය සඳහා සිත හැසිරෙන්නේ මොවුන්ගේනුයි අලංකාරූපවිචාරා නමි, අසපත්නියක (වෙනත් බිරියන් නොමැතියක) වී තනිවම ගෙදර වසන්නෙමැයි මෙසේ ඇයගේ සිත යොමුවේනුයි අසපත්තිවිනිවෙසා නමි, ගෙහි විසීමෙන් සම්පත් ලද විට අවසානයට පත්වූවාහු නම් වෙතැයි ඉස්සරියපරියොසානා නමි,
අනුන්ගේ භාණ්ඩ ගැනීමේ අදහස මොවුන්ගේනුයි ආදානාධිප්පායා නමි. ගැවසීගත් තන්හි සැගවුණු තැන්හි මොවුන්ගේ සිත හැසිරේනුයි ගහනුපවිචාරා නමි, අඳුර සඳහා මොවුන්ගේ සිත පිවිසේනුයි අන්ධකාරවිනිවෙසා නමි. නොදැක්මට පැමිණියාහු අවසානයට පත්වෙත්නුයි අදස්සනපරියොසානා නමි.
ඉවසීමේ ක්‍ෂාන්තියෙහි ද පිරිසුදු බව ඇති ශීලයෙහි ද අදහස මොවුන්ගේනුයි ඛන්තිසොරච්චාධිප්පායා නමි, කිසිවක් නැති බවෙහි අයිතියක් නැති බවෙහි මොවුන්ගේ සිත පිවිසේනුයි ආකිඤ්චඤ්ඤවිනිවෙස නමි, නිවනට පත් කල අවසානයට පත් වෙත්නුයි නිබ්බානපරියොසානා නමි.
11. අප්පමාද සූත්‍ර වර්ණනාව
එකොළොස්වැන්නෙහි සමධිග්ගය්හ යනු මනාව ගෙනයි, ජඞ්ගමානං පාණානං යනු පොළොතලයෙහි හැසිරෙන පා සහිත ප්‍රාණින්ගේයි. පදජාතානි යනු පාදයෝයි: සමොධානං ගච්ඡන්ති යනු තැබීමට යොමු කිරීමට යති, අග්ගමක්ඛායති යනු ශ්‍රේෂ්ඨයයි සලකයි, බබ්බජලායකො යනු බබුස්තණ කපන්නායි, ඔධුනාති යනු යටිකුරුව සොලවයි, නිද්ධුනාති යනු දෙපසින් සොලවයි, නිච්ඡෙදෙති යනු උළුවස්සෙහි හෝ ගසෙහි හෝ පහරදෙයි, අම්බපිණ්ඩියා යනු අඹ පොකුරෙහියි, වණ්ටුපනිබන්ධනා යනු නටුවෙහි බඳනා ලද්දාවූයි, නටුවෙන් හෝ තබන ලද්දාහුයි, තදන්චයානි භවන්ති යනු නටුවට අනුව පවතින්නාහු වෙත්, අඹ පොකුරේ නටුවට අනුව පවත්නාහු වෙතැයි අරුත්ය. කුඩ්ඩරාජානො යනු කුඩා රජවරු හෝ ප්‍රකෘති රජවරුයි.
12. ධම්මික සූත්‍ර වර්ණනාව
දොළොස්වැන්නෙහි සබ්බසො යනු සියල්ලෙහියි, සත්තසු විහාරෙසු යනු පිරිවෙන් සතෙහියි, පරිභාසති යනු පරිභව කරයි, බිය පහළ කරයි, විහිංසති යනු වෙහෙසයි, චිතුදති යනු විදියි, රොසෙති වාචාය යනු වචනයෙන් ගටයි, පක්කමන්ති යනු දිශාවන්ට යති, න සණ්ඨහන්ති යනු නොපිහිටුවත්, රිඤ්චන්ති යනු ඉවතට දමන, අත්හැර දමත්, පබ්බාජෙය්‍යාම යනු පිටමං කරන්නෙමුයි, හන්ද යනු නිශ්චයාර්‍ත්‍ථයෙහි නිපාතයෙකි, අලං යනු ඔහු පිටමං කරති යන යමක් වේ ද එය සුදුසුයි යනුයි, කින්තෙ ඉමිනා යනු මේ ජාති භූමියෙහි විසීමෙන් ඔබට කවර වැඩක්ද යනුයි, තීරදස්සිං සකුණං යනු දිශා දක්වන කවුඩකුයි, මුඤ්චන්ති යනු දිශා දැක්වීම සඳහා මුදාහරිති, සාමන්තා යනු නුදුරෙහිය, සමන්තා යනු ද පාඨයි, හාත්පසින් යන අරුත්ය, අභිනිවෙසො යනු පැතිරී සිටි අතුවල විසීමයි, මූලසන්තානකානං යනු මුල්වල වාසයයි,
ආළ්හකත්‍ථාලිකා යනු සහල් ආළ්හකයක බත් පිසින තලියයි, ඛුද්දං මධුං යනු කුඩා (මී) මැස්සන් විසින් කරනලද දඬුවැල්බෑ මීයයි, අනෙලකං යනු නිදොස් වුවයි, න ච සුදං අඤ්ඤමඤ්ඤස්ස ඵලානි හිංසන්ති යනු ඔවුනොවුන්ගේ කොටස්වලට අයත් ගෙඩිවලට හිංසා නොකරත්, තමන්ගේ කොටසෙහි මුල හෝ පොත්ත හෝ කොළ හෝ සිඳින්නෙක් නම් නැත. තම තමන්ගේ අතුවල යටට වැටුණු දේම පරිභොග කරති. අනෙකකුගේ කොටසින් වෙනත් කෙනකුගේ කොටසට පෙරලී ගිය දේ වුව ද අපගේ අත්තේ ගෙඩියක් නොවේයයි දැන නොකති, යාවදත්‍ථං භක්ඛිත්වා යනු උගුර පමණට කායි, සාඛං භඤ්ජිත්වා යනු ඡත්‍රයක් පමණ වූ තැනක් සිඳ සෙවනැල්ලක් කොට ගියේය, යත්‍ර හි නාම යනු යම්කිසිවෙක් නම් යනුයි. පක්කමිස්සති යනු යන්නේයි. නාදාසි යනු දෙවතාවාගේ ආනුභාවයෙන් පල නොගත්තේය, මෙසේ ඕතොමෝ අදිටන් කළාය,