2. සාරණීය වර්ගය
1. පඨමසාරණීය සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්‍ගයේ පළමු සූත්‍රයෙහි සාරාණීයා යනු සිහි කළයුතුදැයි, මෙත්තං කායකම්මං යනු මෙත් සිතින් කළයුතු කායකර්‍මයයි, වාග්කර්‍ම මනො කර්‍මයන්හි ද මෙසේමය, මේවා භික්ෂූන්ට වශයෙන් ආයේයි, ගිහියන් කෙරෙහි ද ලැබෙයි, භික්‍ෂූන්ට වනාහි මෙත් සිතින් ආභිසමාචාරික ධර්‍මය සපිරීම මෛත්‍රීකායකර්‍මය නමි, ගිහියන්ට සෑවැදීම සඳහා, බෝධිය වැදීම සඳහා සංඝයාට ඇරයුම් කිරීම සඳහා යාම, ගමට පිඬු පිණිස වැඩි භික්ෂුව දැක පෙරගමන් කිරීම, පාත්‍රය පිළිගැනීම, අසුන් පැනවීම, අනුගමනය කිරීම යන මේ ආදිය මෛත්‍රීකායකර්‍මය නමි,
භික්ෂූන්ට මෛත්‍රී සිතින් වත්පණත්හි හික්මවීම කමටහන් කීම, දම් දෙසුම ත්‍රිපිටක බුද්ධ ධර්‍මය මෛත්‍රි වාග් කර්‍මය නමි, ගිහියන්ට චෛත්‍ය වැඳීමට යමු බෝධි වන්දනාවට යමු, ධර්‍මය අසමු පහන්වැට මල්පිරීම් කරන්නෙමු. තුන් සුචරිතය පිළිගෙන පවතින්නෙමු ලහබත් ආදිය දෙන්නෙමු වැසි සළුව දෙන්නෙමු. අද සංඝයාට සිවුපසය දෙන්නෙමු. සංඝයා නිමන්ත්‍රණය කොට කෑ යුතු දෙය පිළියෙල කරවු, අසුන් පනවවු, පැන් එළවවු, සංඝයා පෙරගමන් ගොස් කැඳවවු, පැනවූ අසුන්හි හිඳවවු. කැමැත්ත ඇතිව උත්සාහවත්ව වතාවත් කරවු ආදී වචන කියන කාලයෙහි මෛත්‍රීවාග් කර්‍මය නමි,
භික්‍ෂූන්ට, උදයෙන්ම නැඟිට සිරුර පිළිදැගුම් සෑමළු හැමදීම් ආදිය ද කොට විවෙක අසුනක හිඳ මේ වෙහෙරෙහි භික්ෂූහු සුවපත් වෙත්වා වෛර නැත්තෝ ක්‍රෝධ නැත්තෝ වෙත්වායි සිතීම මෛත්‍රි මනොකර්‍මය නමි, ගිහියන්ට ආර්‍ය්‍යයෝ සුවපත් වෙත්වා, අවෛරී වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වායි සිතීම මෛත්‍රි මනොකර්‍මය නමි,
ආචි චෙව රහො ච යනු ඉදිරියෙහි හා (නැති තැන) පසුපසෙහියි, එහි නවකයන්ට චීවරකර්‍මාදියෙහි සහාය බවට යාම ඉදියෙහි (සම්මුඛා) කායකර්‍මය නමි, තෙරවරුන්ට, පාදෙවීම් පවන් සැලීම් ආදී භේද ඇති සියලු (පිළිසරදර කටයුතු) සාමීචිකර්‍මය සම්මුඛා කායකර්‍මය නමි, නවක ස්ථවිර යන දෙපාර්ශවය විසින්ම නොමනාසේ තැබූ දැව බඩු ආදිය (එසේ කළ) ඔවුනට අවඥා නොකොට තමන් තමන් නොමනා ලෙස තැබූ දෙය මෙන් පිළිවෙලට මනාව තැබීම පරාඞ්මුඛ මෛත්‍රි කායකර්‍මය නමි, දෙවතෙරණුවෝ, තිස්ස තෙරණුවෝයි මෙසේ ආදර වචනය සම්මුඛයෙහි මෛත්‍රී වාග් කර්‍මය නම් විහාරයෙහි නොවන්නකු ගැන අසන්නහුට, අපගේ දෙවතෙරණුවෝ කොහිද? අපගේ තිස්ස තෙරණුවෝ කොහිද කවදා නම්, එන්නෙහුදැයි මෙසේ හිතවත් වචනකීම පරාඞ්මුඛයෙහි මෛත්‍රී වාග්කර්‍මය නමි, මෙත් සෙනහසින් සිනිඳු වූ ඇස් හැර පහන් වූ මුවින් බැලීම සම්මුඛයෙහි මෛත්‍රී මනොකර්‍මය නමි, දෙවතෙරණුවෝ තිස්ස තෙරණුවෝ නීරෝගී වෙත්වා ක්‍රෛධ නැත්තෝ වෙත්වායි පැතීම පරාඞ්මුඛයෙහි මෛත්‍රී මනොකර්‍මය නමි.
ලාභා යනු සිවුරු ආදී ලබන ලද පුත්‍රයෝයි, ධම්මිකා යනු කුහකවීම ආදී භෙද ඇති වැරදි ජීවිකාව අතහැර දැහැමින් සෙමෙන් පිඬු හැසිරීමේ වතින් උපන් දෙයයි, අන්තමසො පත්තපරියාපන්නමත්තම්පි යනු යටත් පිරිසෙයින් පාත්‍රයෙහි පැවති පාත්‍රයට ඇතුළත් වූ හැඳි දෙකක් තුනක් පමණ වූ භික්‍ෂාව වුවද යනුයි, අප්පටිවිභත්තභොගී යනු මෙහි මෙපමණක් දෙමි, මෙපමණක් නොදෙමියි මෙසේ සිතින් බෙදීම නමි, අසුවලාට දෙමි අසුවලාට නොදෙමියි මෙසේ සිතින් බෙදීම පුද්ගල බෙදීම නමි, ඒ දෙකම නොකොට යමෙක් නොබෙදනලද දෙය වළඳයි ද මෙතෙම අප්පටිවිභත්තභොගී නම්වෙයි, සීලවන්තෙහි සබ්‍රහ්මචාරීහි සාධාරණභොගී මෙහි සාධාරණභොගීන්ගේ මේ ලක්ෂණයයි. ප්‍රණීත වූ යම් යම් දෙයක් ලබයිද ඒ ඒ දෙය ලාභයෙන් ලාභය වැඩිපුර බලාපොරොත්තුවෙන් ගිහියන්ට නොදෙයිද තමා නොබුදියි පිළිගන්නේ සංඝයාට සාධාරණයක් වේවායි ගෙන ගෙඩිය ගසා වැළදියයුතු දෙය සංඝසන්තක වුවක් ලෙස සිතයි.