8. උස්සූරභත්ත සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි උස්සුරභත්තෙ යනු ඉතා දහවලෙහි පිසින බතෙහිය, න කාලෙන පටිපූජෙන්ති යනු කැඳ කාලයෙහි කැඳ ද කැවිලි කාලයෙහි කැවිලි ද භොජන කාලයෙහි බොජුන් ද නොපිසන්නාහු සුදුසුකාලය ඉක්මවීමෙන් සුදුසු කල්හි නොපුදත්, තමන්ගේ සිතෙන්ම දෙති නම් වෙත්. ඉක්බිති ඔවුන් තමන්ගේ නිවසට ආවිට එසේම කරත්. කුල ප්‍රවේණියෙන් පැමිණි බිලි පිළිගන්නා දෙවියෝ ද සුදුසු කාලයෙහි ලාභ ලබමින් ම රකිති ආරක්ෂා කරති, පීඩාවට පත්ව නොකල්හි ලබන්නාහු මොවුහු අප කෙරෙහි ආදර නැත්තෝය ආරක්ෂාව නොකරති,
මහණ බමුණෝ ද මොවුන්ගේ ගෙහි හොජන කාලයෙහි බොජුන් නැත. සිටි මද්දහනෙහි දෙතියි මඟුල් අවමඟුල්වල දී කළයුතු දේ නොකරත්. විමුඛා කම්මං කරොන්ති යනු උදයෙහි කිසිවක් නොලබමු සයින් පෙළුනාහු කටයුතු කිරීමට නොහැක්කෝ වෙමුයි කටයුතු අතැර හිඳිත්. අනොජවන්තං හොති යනු නොකල්හි කෑ දෙය ඔජස් ඇතිකිරීමට නොහැකිවෙයි. යහපත් පැත්ත කියන ලද්දට විරුද්ධ ලෙසින් දතයුතුය.
9. ප්‍රථම කණ්හසප්ප සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි සභීරූ යනු නිදි සහිතවූයේ මහත් නින්දක් නිදයි, සප්පටිභයො යනු එය නිසා බියක් උපදියි, එහෙයින් බියසහිත වූයේයි, මිත්තදූහි යනු කෑම්බීම් දෙන මිත්‍රයාට වුවද ද්වෙශ කරයි, හිංසා කරයි: මාතුගාමෙ යන්නෙහි ද මේ ක්‍රමයමයි.
10. ද්විතීය කණ්හසප්ප සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි ඝොරවිසො යනු දරුණු විසයි, දුජිව්හො යනු දෙකට බිඳුණු දිව ඇත්තේයි. ඝොරවිසතා යනු දරුණු විස ඇති බැවිනි, සෙසු දෙකෙහි එම ක්‍රමයමැයි.
තෙවැනි වර්‍ගයයි.
4. ආවාසික වර්ගය
1. අභාවනීය සූත්‍ර වර්ණනාව
සිවුවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි න ආකප්පසම්පන්නො යනු ශ්‍රමණ ආකල්පයෙන් යුක්ත නොවූයේයි, අභාවනීයො හොති යනු වර්‍ධනීය වූයේ වෙයි, දෙවැන්න පැහැදිලිමය.
3. සොභන සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි පටිබලො යනු කායබලයෙන් ද ඥානබලයෙන් ද යුක්තවූ බැවින් ප්‍රතිබල වූයේයි.
4. බහූපකාර සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි ඛණ්ඩඵුල්ලං වැටුණු තැන්ද බිඳුණු තැන් ද යනුයි, සංඛරොති යනු ප්‍රකෘතිමත් කරයි: ආරොචෙති යන මෙය පැවරූ කුලයන්ගේ වශයෙන් කියන ලදි.
5. අනුකම්පක සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි අධිසීලෙසු යනු පන්සිල්හියි, ධම්මදස්සනෙ නිවෙසෙති යනු සිවුසස් දහම් දැක්මෙහි පිහිටුවයි, අරහග්ගතං යනු සියලු සත්කාරයන්ට සුදුසු වූ තෙරුවනෙහිම ගියාවූ, තුන්වස්තුන්හි ගරුබුහුමන උපදවායි අරුත්ය. සයවැන්න පැහැදිලිමය.
7. ද්විතීය අවණ්ණාරහ සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි ආවාසපලිගෙධී යනු බලවත් ගිජබව වශයෙන් ආවාසය ගිලගෙන මෙන් සිටියේයි, සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
සිවුවැනි වර්‍ගයයි.
5. දුච්චරිත වර්ගය
1. දුච්චරිත සූත්‍ර වර්ණනාව
පස්වැනි වර්‍ගයෙහි පළමු සුත්‍රයේ දුච්චරිතෙ සුචරිතෙ යනු මෙය භේදරහිතව කියන ලදි. කායදුච්චරිතෙ යනාදිය කායද්වාරාදීන්ගේ වශයෙන් භේදයෙනි, සද්ධම්මා යනු දශකුශලකර්‍මපථ ධර්‍මයෙනි, අසද්ධම්මෙ යනු අකුශල කර්‍මපථ සංඛ්‍යාත අසධර්‍මයෙහියි,
9. සිවථික සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි සීවථිකාය යනු සොහොනෙහියි, ආරොදනා යනු හඬන තැනයි, අසුචිනා යනු පිළිකුල් දෙයිනි.
10. පුග්ගලප්පසාද සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි පුග්ගලප්පසාදෙ යනු එක් පුද්ගලයකු කෙරෙහි උපන් පැහැදීමෙහියි, අන්තෙ නිසීදාපෙති යනු භික්ෂූන්ගේ අසුන් කෙළවර හින්දෙව්වේය. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
පස්වැනි පණ්ණාසකයයි.
6. සවන පණ්ණාසකය
1. උපසම්පදා වර්ගය
1-3. උපසම්පාදෙතබ්බ ආදි සූත්‍ර වර්ණනා
සවැනි පණ්ණාසකයේ පළමු සූත්‍රයෙහි උපසම්පාදෙතබ්බං යනු උපාධ්‍යායවරයකු වී උපසම්පදා කළයුතුය, දෙවැන්නෙහි නිස්සයො දාතබ්බො යනු ආචාර්‍ය්‍යවරයකු වී නිස දියයුතුය, තෙවැන්නෙහි සාමණෙරො උපට්ඨාපෙතබ්බො යනු උපාධ්‍යායයකු වී හෙරණෙක් ගතයුතුය, මේ සූත්‍ර තුනම ප්‍රථම බෝධියෙහි ක්ෂීණාශ්‍රව වශයෙන් කියන ලදි.
4. මච්ඡරිය සූත්‍ර වර්ණනාව
සිවුවැන්න ආදිය පදයෙන් පදය වර්‍ණනා කිරීම් වශයෙන් පැහැදිලි අරුත් ඇත්තේමය,
වර්ගාතිරෙක සූත්‍ර
භත්තුද්දෙසකාදීන්ගේ විනිශ්චය කථාව සමන්තපාසාදිකා විනයට්ඨකථාවෙහි කියනලද ක්‍රමයෙන්ම දතයුතුය. සම්මතො න පෙසෙතබ්බො යනු ප්‍රකෘතියෙන් සම්මත වූයේ යව, බත් උදෙසවයි නොයැවිය යුතුය,
සාටියගාහාපකො යනු වැසිසළුව ගන්වන්නායි, පත්තගාහාපකො යනු “යො ච තස්සා භික්ඛුපරිසාය පත්තපරියන්තො සො තස්ස භික්ඛුනො පදාතබ්බො”යි මෙහි කියන ලද පාත්‍රය ගන්වන්නායි,
ආජීවකො යනු නග්න පිරිවැජියායි, නිගණ්ඨො යනු මුල් කොටස වසන ලද්දේයි, බුඩ්ඪසාවකො යනු නිගණ්ඨ ශ්‍රාවකයායි, ජටිලකො යනු තවුසායි, පරිබ්බාජකො යනු වැසුණු පිරිවැජියායි, මාගන්දිකා යනාදීහු ද තීර්ථකයෝමයි, මොවුන්ගේ ශීලයන් සම්පුර්‍ණ කිරීමේ අභාවයෙන් යහපත් අංශය නොගන්නා ලදි. සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
මනොරථපූරණී නම්වූ අංගුත්තරනිකායට්ඨ කථාවෙහි
පඤ්චක නිපාත වර්‍ණනාව නිමියේයි.