8. රාජ සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි පබ්බාජෙන්ති යනු රටින් පිටුවහල් කරත්, යථා පච්චයං වා කරොන්ති යනු කැමැති පරිද්දෙන් අදහස් පරිද්දෙන් කරත්, තථෙව පාපකං කම්මං පවෙදයන්ති යනු ඔහු විසින් කරන ලද දෙය යම්සේද එය එසේම අනුන්ට සැලකරත් කියත්.
9. ගිහි සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි සංවුතකම්මෙනතං යනු වැසූ කර්මාන්තයයි, ආභිචෙතසිකානං යනු උතුම් සිත ඇසුරු කළවුන්ගේයි, දිට්ඨධම්මසුඛවිහාරානං යනු ප්‍රත්‍ය ධර්මයන් පවතින කෙණෙහි සැප විහරණ ඇත්තවුන්ගේයි, අරියකන්තෙහි යනු ආර්‍ය්‍යයන්ගේ සිත්ගන්නා මාර්ගඵල ශීලයන්ගෙනි,
අරියධම්මං සමාදාය යනු මෙහි ආර්ය්යධර්මය යන්නෙන් පන්සිල් කියන ලදි, මෙරයං වාරුණිං යනු සිවුවැදෑරුම් මෙරය ද පස් වැදෑරුම් සුරාව ද වේ, අනුචිතක්කයෙ යනු නව ලොවුතුරු දහම සිහිකිරීම් වශයෙන්ම විතර්කනය කරන්නේය, අබ්යාපජ්ඣං හිතං චිත්තං යනු නිදුක් වූ මෛත්‍රි ආදී බ්‍රහ්මවිහාර සිතයි, දෙවලොකාය භාවයෙ යනු බ්‍රහ්මලෝකය (ලැබීම) සඳහා වඩන්නේය, පුඤ්ඤත්ථස්ස ජිගිංසතො යනු පිනෙන් වැඩ ඇත්තාට, පින සොයන්නාටයි, සන්තෙසු යනු බුදු-පසේ බුදු තථාගත ශ්‍රාවකයන් කෙරෙහියි, විපුලා හොති දක්ඛිණා යනු මෙසේ දුන් දානය මහත්ඵලවෙයි, අනුපුබ්බේන යනු සිල්පිරීම් ආදියෙන් ක්‍රමයෙනි, සෙස්ස තික නිපාතයෙහි කියනලද අර්ත්ථ ඇත්තේමය.
10. ගවෙසී සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි සිතං පාත්වාකාසි යනු මහමගින් යන්නේ ඒ සල්වනය බලා මෙතැන්හි උපන්විරූ යහපත් කරුණක් ඇද්දැයි කාශ්‍යප බුදුන් සමයෙහි (සත්‍යය) සොයන්නාවූ උවසුවකු විසින් කරනලද යහපත් කරුණක් දුටුවේය. ඉක්බිති උන්වහන්සේට මෙසේ අදහසක් විය. “මේ යහපත් කරුණ භික්ෂු සංඝයාට අප්‍රකටය, සැඟවුණේය, ඒකාන්තයෙන්ම එය භික්ෂු සංඝයාට ප්‍රකට කරමි” යනුවෙනි, මාර්ගයෙන් බැස එක්තරා පෙදෙසක සිටියේම සිනහ පහළ කිරීමක් කළේය, උතුම් දත්අග දක්වා මඳ සිනහවක් පහළ කළේය, ලෞකික මනුෂ්‍යයෝ උදරයට ගසමින් කොහි කොහිදැයි (කහ් කහ් යන හඬින්?) යම්සේ සිනහසෙත්ද බුදුවරු එසේ නොවෙති, බුදුවරුන්ගේ සිනහව වනාහි තුටු පහටු බවම වෙයි,
මේ සිනහව තෙළෙස් සොම්නස් සහගත සිතින්ම වෙයි. එහි ලෞකික මහජනයා අකුශල වශයෙන් සතරකින් ද, කාමාවචර කුශල වශයෙන් සතරකින්දැයි සිත් අටකින් සිනහවෙයි: ශෛක්ෂයෝ අකුසල්වලින් දිට්ඨිසහගත සිත දෙක අතහැර සිත් සයකින් සිනහසෙත්, ක්ෂීණාශ්රවයෝ සහේතුක ක්‍රියා සිත් සතරින්ද එක් අහේතුක ක්‍රියා සිතකින්දැයි සිත් පසකින් සිනහසෙති, ඔවුන් කෙරෙහි ද බලවත් අරමුණ ආපාථගත වූ කල්හි ඥානසම්පයුත්ත සිත් දෙකකින් සිනහවෙත්, දුබල අරමුණ ඇති කල්හි ද්විහේතුක සිත් දෙකින් ද අහේතුක සිතෙන්දැයි සිත් තුනකින් සිනහසෙති, මෙතැන්හි වනාහි කියා අහෙතුක මනොවිඥානධාතු සොමනස්ස සහගත සිත භාග්‍යවතුන් වහන්සේට තුටු පහටුවූ ආකාරය පමණක්ම වූ සිනහව උපදවීය.
අල්පමාත්‍ර වූ ද ඒ සිනහව තෙරුන්ට ප්‍රකට විය. කෙසේද? එබඳු කල්හි තථාගතයන් වහන්සේගේ සතර දළඳාවන්ගෙන් සතර දිවයිනෙහි විහිදෙන මහ වළාවකින් නික්මෙන විදුලියක් මෙන් බබළන මහ තල්කඳක් පමණ වූ රැස්වළලු පැනනැඟී තෙවරක් සිරස පැදකුණු කොට දළදා අගෙහිම අතුරුදහන් වෙයි. ඒ හැඟවීමෙන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් යන්නෝ වුවද සිනහ පහළවීම දනිති.
ඉද්ධං යනු සමෘද්ධ වූයේයි, පිතං යනු සියල පිපුණු මල් ගොඩක් මෙන් අතිශයින් සමෘද්ධ වූයේයි: ආකිණ්ණමනුස්සං යනු ජනයාගෙන් ගැවසුනාවූයි: සීලෙසු අපරිපූරකාරි යනු පන්සිල්හි අසමත්වූයේයි, පටිදෙසිතානි යනු උවසුබව පිහිටවූයි, නැංවූයි, සරණයෙහි පිහිටවූයි, යන අර්‍ත්‍ථයි, ඉච්චෙතං සමසමං යනු මෙසේ මේ කරුණ සියලු ආකාරයෙන් සමබවින් සමයි, එක් අංශයකින් නොවේ, නත්ථි කිඤ්චි අතිරෙකං යනු මගේ මේවායින් කිසි අතිරේකයක් නැත, හන්ද යනු තීරණාර්ත්ථයෙහි නිපාතයෙකි, අතිරෙකාය යනු විශේෂ කාරණයක් සඳහා පිළිපදිමියි අරුත්ය, සීලෙසු පරිපූරකාරිං ධාරෙථ යනු පන්සිල්හි සමත්ව කරන්නෙකැයි දනිවු, මෙපමණකින් මෙයින් පන්සිල් සමාදන්වන ලද්දාහු නම් වෙති, කිමඞ්ග පන න මයං යනු අපි වනාහි කවර කරුණකින් සම්පූර්ණ කරන්නෝ නොවන්නෙමුද? මෙහි සෙස්ස පැහැදිලිමය.
තෙවැනි වර්ගයයි.
4. අරඤ්ඤක වර්ගය
1-10. ආරඤ්ඤක ආදි සූත්‍ර වර්ණනා
සිවුවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි මන්දත්තා මොමුහත්තා යනු සමාදන් වීම නොදනියි, ආනිශංසය නොදනියි, තමාගේ මෝඩ බවින් මුළාවට පත්වීමෙන්, නොදන්නා කරුණින්ම ආරණ්‍යකයෙක් වෙයි, පාපිච්ඡො ඉච්ඡාපකතො යනු අරණෙහි වසන්නහුට, මෙතෙම ආරණ්යකයෙකැයි සිවුපස සත්කාරය කරන්නහුය, මෙතෙම විවේකයෙහි යෙදුණු ලජ්ජි භික්ෂුවකැයි යනාදී ගුණයන්ගෙන් ගරු කරන්නහුයැයි මෙබඳුවූ පවිටු කැමැත්තෙහි සිට ඒ කැමැත්තෙන්ම මැඬුනේ වී ආරණ්‍යකයෙක් වෙයි, උමතුවීම් වශයෙන් අරණට පිවිස වසන්නේ වනාහි උම්මාදො චිත්තක්ඛෙපා ආරඤ්ඤකො යි නම් වෙයි, වණ්ණිතං යනු මේ ආරණ්‍යකාංගය බුදුවරුන් විසින් ද බුදුසව්වන් විසින් ද වණන ලදී. පසස්නා ලදැයි ආරණ්‍යකයෙක් වෙයි. ඉදමට්ඨිතං යනු මේ යහපත් වූ පිළිවෙතෙහි අර්ත්ථය මොහුටනුයි ඉදමට්ඨියි, ඉදමට්ඨින්ගේ ස්වභාවය ඉදමට්ඨිතා නමි, ඒ ඉදමට්ඨියයි, එය නිසාම අන්කිසි ලෝකාමිෂයක් නැතැයි අරුත්ය, මෙහි සෙස්ස ද මෙයින් මත්තෙහි ද පැහැදිලි අරුත් ඇත්තේමය.