2. දෙවැනි සම්මත්තනියාම සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අනඤ්ඤාතෙ අඤ්ඤාතමානී යනු නොදන්නා ලද දෙයෙහි මෙය මවිසින් දැනගන්නා ලදැයි මෙසේ මාන ඇත්තේයි.
3. තුන්වැනි සම්මත්තනියාම සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි මක්ඛි ධම්මං සුණාති යනු (ගුණ) මකුවෙක් වී ගුණ යටපත් කරන සිතෙන් ධර්‍මය අසයි, උපාරම්හචිත්තො යනු නින්දා රෝපන සිතැත්තේයි, රන්ධගවෙසි යනු ගුණ සිදුර ගුණ හිදැස සොයන්නේයි.
4. පළමුවැනි සද්ධම්මසම්මොස සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි න සක්කච්චං ධම්මං සුණන්ති යනු යොමුකළ කන් ඇත්තෝව මනාව කළ කටයුතු කරන්නෝ වී නො අසත්, න පරියාපුණ්නති යනු අසන ලද අයුරින් ධර්‍මය පිළිපදින්නෝ වුවද මනාකොට නොපිළිපදිති. පස්වැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
6. තුන්වැනි සද්ධම්මසම්මොස සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි අප්පටිසාරිණො යනු ප්‍රතිෂ්ඨා නැත්තේයි, ආචාර්‍යවරු සූත්‍රාන්තයට පිළිසරණ නම් වෙති, ඔවුන්ගේ අභාවයෙන් පිළිසරණ නැත්තේ වෙයි, මෙහි සෙස්ස යට කියන ලද ආකාර ඇත්තේමය.
7. දුක්කථා සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි පුග්ගලං උපනිධාය යනු ඒ ඒ පුද්ගලයා තබා, සාක්ෂ්‍ය කොටැයි අරුත්ය, කච්ඡමානාය යනු කියනු ලබන්නාවූයි, මෙහි සෙස්ස ද අටවැන්න ද පැහැදිලි අරුත් ඇත්තේමය.
9. උදායී සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි ආනුපුබ්බිකථං කථෙස්සාමි යනු දානයට අනතුරුව ශීලයයි, ශීලයට අනතුරුව ස්වර්‍ගයයි මෙසේ දේශනා පිළිවෙළ කථාව හෝ යම් යම් සූත්‍ර පදයක් හෝ ගාථා පදයක් හෝ ඉදිරිපත් කරන ලද්දේ වේ ද ඒ ඒ දෙයට සුදුසු කථාවක් හෝ කියන්නෙමැයි සිත උපදවා අනුනට ධර්‍මය දේශනා කළයුතුය, පරියායදස්සාවී යනු ඒ ඒ අර්‍ත්‍ථයට ඒ ඒ කරුණ දක්වන්නේයි, මෙහි කාරණයට පරියායයි කියනු ලැබේ. අනුද්දයතං පටිච්ච යනු මහත් සම්බාධයකට පත් සත්ත්වයන් ඒ සම්බන්ධයෙන් මුදවන්නෙමැයි අනුකම්පාවට පැමිණෙයි, න ආමිසන්තරො යනු ආමිෂය හේතුකොට ගෙන කටයුතු නොකරන්නේයි, තමන්ගේ සිවුපස ලැබීම බලාපොරොත්තු නොවන්නේයි අරුත්ය, අත්තානඤ්ච පරඤ්ච අනුපහච්ච යනු තමන් උසස්කොට සැලකීම අනුන් පහත්කොට සැලකීම ආදී වශයෙන් තමන් ද අනුන් ද ගුණ නැසීමෙන් නොනසයි.
10. දුප්පටිවිනොදය සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි දුප්පටිවිනොදයා යනු යම් සිනහසීම් ආදී කටයුතු ඇති කිරීමට (සුදුසු) තැන් වේ ද ඒවා නිමාවට නොපත්කල්හි අතරතුරදීම නොමනාව ඉදිරිපත් කරන්නේ නොමනාව යටපත් කරන්නේ වෙයි, පටිභානං යනු කියනු කැමැත්තයි, මේ කරුණු පස දුරුකිරීමට දුෂ්කරය, දුරුකිරීම පහසු නොවේ, උපාය කාරණයෙන් සුදුසු වූ ප්‍රත්‍යවෙක්ෂණ අනුශාසනා ආදියෙන් දුරු කිරීමට හැකිය.
පළමුවැනි වර්‍ගයයි.
2. ආඝාත වර්ගය
1. පළමුවන ආඝාතපටිවිනය සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි ආඝාතය (වෛරය) දුරුකරත් සංසිඳවත් යන්නෙන් ආඝාතපටිවිනයා නමි, යත්‍ථ භික්ඛුනො උප්පන්නො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බො යනු යම් අරමුණෙක භික්ෂුවට තරහක් උපන්නේ වේද එහිදී ඒ සියල්ල මේ පස් කරුණින් දුරුකළ යුතුයයි අරුය, මෙත්තා තස්මිං පුග්ගලෙ භාවෙතබ්බා යනු ත්‍රික චතුෂ්කධ්‍යාන වශයෙන් මෛත්‍රිය වැඩිය යුතුය, කරුණාව පිළිබඳව ද මේ ක්‍රමයමයි, උපෙක්ෂාව වනාහි චතුර්ථ ධ්‍යාන වශයෙන් වැඩිය යුතුය, යම්හෙයකින් යම් පුද්ගලයකු දකින්නාගේ සිත නොනිමෙයි ද ඔහු කෙරෙහි මුදිතාව නොපිහිටයි, එබැවින් එය නොකියන ලදි, අසති අමනසිකාරො යනු යම් සේ ඒ පුද්ගලයා ඉදිරියෙහි නොසිටී ද බිත්ති ආදියෙන් පිටත සිටින්නේ මෙන් වේද මෙසේ ඔහු නොමැති විට අමනසිකාරයට එළඹිය යුතුය. සෙස්ස යට කියන ලද ක්‍රමය ඇති බැවින් පැහැදිලිමය.
2. දෙවැනි ආඝාතපටිවිනය සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි ආඝාතය මොවුන් කෙරෙහි දුරුකළයුත්තේයයි ආඝාතපටිවිනයා නමි, ආඝාතය මොවුන් විසින් දුරු කළ යුත්තේය යන්නෙන්ද, ආඝාතපටිවිනයා නමි, පටිවිනයො යනු දුරුකළයුතු වස්තූන්ට ද දුරුකරන කරුණුවලට ද මේ පර්යාය වචනයකි, මෙහි ඒ දෙකම වටියි, පුද්ගලයෝ පස්දෙනෙක් දුරුකරන කරුණුවලට වස්තු වෙති, උපමා පසකින් ප්‍රතිපත්ති පස දුරුකරන කරුණුයි, ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං යනු කලින්කල සමථ විදර්‍ශනා සිතේ උපදින අවකාශ සංඛ්‍යාත වූ විවරය ද ශ්‍රද්ධාවෙන් ප්‍රසන්නභාව සංඛ්‍යාත වූ ප්‍රසාදය ද ලබයි,
රථියාය යනු අතුරු වීදියෙහියි, නන්තකං යනු වැරහැලිකඩයි, නිග්ගහෙත්වා යනු මැඬයි, යො තත්‍ථ සාරො යනු එහි යම් ස්ථිර තැනකි, තං පරිපාටෙත්වා යනු එය ඇද දමායි, එවමෙව ඛො යනු මෙහි පාංශුකූලිකයා මෙන් මෛත්‍රියෙන් වෙසෙන්නා දැක්විය යුතුය, වීදියෙහි වැරහැලි කැබැල්ල මෙන් වෛරි පුද්ගලයායි, දුර්‍වලතැන මෙන් අපරිසිදුකාය සමාචාර ඇති බවයි, ස්ථිර තැන මෙන් පිරිසුදු වාග් සමාචාර ඇති බවයි, දුර්‍වල තැන හැරදමා ස්ථිර තැන ගෙන ගොස් මසා පඬු පොවා පෙරව හැසිරෙන කාලය මෙන් අපිරිසුදු කාය සමාචාරවත් බව මෙනෙහි නොකොට පිරිසුදු වචී සමාචාරවත් බව මෙනෙහි කොට වෛරී පුද්ගලයා කෙරෙහි සිත ඉපදීම නිවා පහසුවෙන් වෙසෙන කාලය දැක්විය යුතුය,
සෙවාලපණකපරියොනද්ධා යනු සෙවලින් ද ජලජ පැලෑටිවලින් ද වැසුණාවූයි, සම්මපරෙතො යනු ග්‍රීෂ්මයෙන් මැඬුණාවූයි, කිලන්තො යනු මාර්‍ගයෙහි වෙහෙසුණේයි, තසිතො යනු තෘෂ්ණාවෙන් මැඬුණේයි, පිපාසිතො යනු පැන් බොනු කැමැත්තේයි, අපබ්බුහිත්වා යනු ඉවත් කොටයි. පිචිත්වා යනු පහන්දිය බීයි, එවමෙව ඛො යනු මෙහි ග්‍රීෂ්මයෙන් තැවුණු පුරුෂයා මෙන් මෛත්‍රියෙන් වෙසෙන්නා දැක්විය යුතුය, සෙවල හා දිය පැලෑටි මෙන් අපිරිසුදු වාග් සමාචාරවත් බවයි, පහන්දිය මෙන් පිරිසුදු කායසමාචාරවත් බවයි, සෙවල හා දිය පැලෑටි ඉවත්කොට පහන්දිය බී යාම මෙන් අපිරිසුදු වාග් සමාචාරවත්බව මෙනෙහි නොකොට පිරිසුදු කායසමාචාරවත් බව මෙනෙහි කොට වෛර ඇත්තා කෙරෙහි සිත ඇතිවීම නිසා පහසුවෙන් වෙසෙන කාලය දැක්විය යුතුයි,