5-6. පළමුවන පත්ථනා ආදි සූත්‍ර වර්ණනා
පස්වැන්නෙහි නෙගමජානපදස්ස යනු නියම්ගම් වැසිවූ ද රටවැසි වූද ජනයාගේයි, භත්‍ථිස්මිං යන ආදීන්ගෙන් ඇත් - අස් රිය අවි දුනු ලේඛන මුද්‍රා සංඛ්‍යා ආදී වූ සොළොස් මහා ශිල්පයෝ දක්වන ලද්දාහ. අනවයො යනු සමානයි, පිරිපුවූයේයි, මෙහි සෙස්ස යට කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය, සයවැන්නෙහි ඔපරජ්ජං යනු උපරජබවයි,
7. අප්පංසුපති සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි පුරිසාධිප්පායා යනු අසද්ධර්‍ම වශයෙන් පුරුෂයා කෙරෙහි උපන් අදහසය පුරුෂයන් පිළිබඳ අදහසය, ආදානාධිප්පායො යනු දැන් ගැනීමට හැකිවෙමි. දැන් හැකිවෙමියි මෙසේ ගැනීමේ අදහසයි, විසඤ්ඤොගාධිප්පායො යනු දැන් නිවනට පැමිණෙමි, දැන් පැමිණෙමියි මෙසේ නිවන පිළිබඳ අදහසයි.
8. භත්තාදක සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි භත්තාදකො යනු බත් කන්නායි, බොහෝ බත් බුදින්නායි අරුත්ය, ඔකාසඵරණො යනු ඉඩ පතුරුවා අනුන්ට බාධා කොට සිටීමෙන් අවකාශය පතුරුවන්නායි, ඒ ඒ තැන බෙටි දමයි, හෙලයිනුයි ලණ්ඩසාටනො නමි. මෙපමණ ඇත්තු යයි ගණින කල ලහ ගන්වානුයි සලාකගාහී නමි, හිඳීම් නිදීම් වශයෙන් ඇඳ පුටු මදියි යන්නෙන් පිඨමද්දනො නමි. භික්‍ෂූන් ගණින කල ලහ ගන්වන්නේනුයි සලාකගාගී නමි.
9. අක්ඛම සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි හත්‍ථිකායං යනු ඇත් සමුහයයි. සෙස්සෙහි ද මේ ක්‍රමයමැයි, සංග්‍රාමයෙහි හැසිරේනුයි සඞ්ගාමාවචරා යි, එකිස්සා වා තිණොදකදත්තියා විමානිතො යනු එක්දිනක එක් තණදිය දීමකින් අවමන් කරන ලද්දේයි, එක්දිනක් පමණ නොලද තණදිය ඇත්තේයි අරුත්ය. මෙයින් මත්තෙහි ද මේ ක්‍රමයයි. න සක්කොති චිත්තං සමාදහිතුං යනු අරමුණෙහි සිත මනාව තැබීමට නොහැකි වෙයි, මෙහි සෙස්ස පැහැදිලිමය, මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදැයි දතයුතුය.
10. සොතාර සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි දුරුත්තානං යනු නොමනාව කියන ලද්දවුන්ගේයි, දොස් වශයෙන් පැවති එරුෂ වචනයන්ගේයි, දුරාගතානං යනු දුක් උපදනා අයුරින් කන්දොරට පැමිණියවුන්ගේයි: වචනපථානං යනු වචනයන්ගේයි, දුක්ඛානං යනු දුක් ඇති කරනු ලබන්නවුන්ගේයි, තිප්පානං යනු බහුල වූවන්ගේයි, ඛරානං යනු රළු වූවන්ගේයි, කටුකානං යනු සූක්ෂම වූවන්ගේයි, අසාතානං යනු අමිහිරි වූවන්ගේයි, අමනාපානං යනු මනස නැඟීමට වැඩීමට අසමත් වූවන්ගේයි, පාණහරනං යනු දිවි පැහැර ගන්නවුන්ගේයි, යා සා දිසා යනු සියලු සංස්කාර සංසිදීම් ආදී වශයෙන් දක්නා ලැබේනුයි නිවන දිසායි දතයුතුය. යම්හෙයකින් එයට පැමිණ සියලු සංස්කාරයෝ සංසිදීමට යත්ද එහෙයින් සබ්බසංඛාරසමථො යි කියන ලදි, සෙස්ස සියලු තැන පැහැදිලිමය, මේ සූත්‍රයෙහි ශීල සමාධි ප්‍රඥාවෝ මිශ්‍රකව කියන ලදහ.
සිවුවැනි වර්‍ගයයි.
5. තිකණ්ඩකී වර්ගය
1. අවජානාති සූත්‍ර වර්ණනාව
පස්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි සංවාසෙන යනු එක්ව විසීමෙනි, ආදිය්‍යමුඛො යනු පිළිගැනීමේ දොරටුව, ගැනීමේ දොරටුව යන අරුත්ය, තමෙනං දත්වා අවජානාති යනු මෙතෙම දුන්දුන් දෙය පිළිගැනීමට පමණක් දනියි යනුවෙන් අවමන් කරයි, තමෙනං සංවාසෙන අවජානාති යනු කිසියම් සුළු දෙයක් නිසා කිපී “ඔබ විසින් කරන ලද දෙය මම දනිමි. මෙපමණ කලක් මම කුමක් කරමින් විසූයෙම්ද නුඹගේම කළනොකළ දෑ විමසමින් නොවේදැ”යි ආදිය කියන්නේ වෙයි, ඉක්බිති අනෙකා ‘මගේ කිසි දොසක් වන්නේය’යි කිසිවක් පැවසීමට නොහැකි වෙයි, තං ඛිප්පංයෙව අධිමුච්චිතා හොති යනු ඒ ගුණ වැණුම හෝ දොස් නැගීම ඉක්මණින්ම අදහයි, ඇදහීම් අරුතින් පිළිගැනීමෙන් මෙතෙම ආදිය්‍යමුඛො යි කියන ලදි, ආධිය්‍යමුඛො යනු පෙළෙහි වනාහි තබනලද මුව ඇත්තේයි අරුත්ය, පාරෙහි සෑරුණු වළක් ඊට ආ ආ දිය පිළිගන්නාක් මෙන් ගුණයක් හෝ අගුණයක් හෝ විශ්වාස කිරීම් වශයෙන් පිළිගැනීමට තබන ලද මුවකැයි (විවරයකැයි) කියන ලද්දේ වෙයි,
ඉත්තරසද්ධො යන අඩ සැදැහැ ඇත්තේයි, කුසලාකුසලෙ ධම්මෙ න ජානාති යනාදියෙහි කුශලධර්‍මයෙහි මේ කුශලයෝයි ද අකුශල ධර්‍මයෙහි මේ අකුශලයෝයි ද නොදනියි, එසේම වැරදි සහිත දොස් සහිත ධර්‍මයන්හි වේවා වැරදි සහිතයයි ද වැරදි රහිත නිදොස් දහම්හි මේවා අනවද්‍යයයි ද පහත් ධර්‍මයන්හි පහත්යයිද උසස් ධර්‍මයන්හි උසස්යයි ද කණ්හසුක්ක සප්පටිභාගයන්හි මේ පාපධර්‍ම යහපත් ධර්‍ම යටපත් කොට සිටි බැවින් සප්පටිභාගයෝ යයි ද මේ යහපත් ධර්‍ම පාපධර්‍මයන් යටපත් කොට සිටි බැවින් සප්පටිභාගයෝයි ද නොදනිත්.
2. ආරම්භති සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි ආරභති ච විප්පටිසාරී ච හොති යනු ඇවැත් ඉක්මවීම වශයෙන් අරඹයි (නසයි?) මෙන්ම ඒ හේතුවෙන් විපිළිසරද වෙයි, චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යනු අරහත්ත සමාධිය මෙන්ම අරහත් ඥානය ද වේ, නප්පජානාති යනු අවබෝධ නො කළ බැවින් නොදනියි, ආරභති න විප්පටිසාරි හොති යනු ඇවතට පැමිණෙයි, එයින් නැඟී සිටි බැවින් විපිළිසර නොවෙයි, නාරභති විප්පටිසාරී හොති යනු වරක් ඇවතට පැමිණ එයින් නැඟී සිට පසුව කිසි ඇවතකට නොපැමිණෙයි, විපිළිසර බව දුරු කිරීමට නොහැකි වෙයි, නාරභති න විප්පටිසාරී හොති යනු ඇවතට පැමිණෙන්නේත් නොවේ විපිළිසර වන්නේත් නොවේ, තඤ්ච චෙතොවිමුත්තිං - පෙ- නිරුජ්ඣති යනු රහත්බවට නොපැමිණියේ වෙයි, පස්වැන්නෙන් ක්ෂීණාශ්‍රවයා කියන ලදි.