9. චඞ්කමානිසංස සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි අද්ධානක්ඛමො හොති යනු දුර වූ ඈත මග යන්නේ ඉවසයි, ඉවසීමට හැකිවෙයි, පධානක්ඛමො යනු පධන් වීර්යය ඉසිලීමට හැකිවන්නායි, චඞ්කමාධිගතො සමාධි යනු සක්මන ඉටන්නා විසින් ලබනලද අටවැදෑරුම් සමවත්වලින් එක් සමාධියකි, චිරට්ඨිතිකො හොති යනු බොහෝ කලක් සිටියි, සිටියහු විසින් ගන්නා ලද නිමිත්ත හුන්නහුගේ නසයි, හුන්නහු විසින් ගන්නා ලද නිමිත්ත වැද හොත්තහුගේ නසයි, සක්මන ඉටන්නහු විසින් සෙලවුණු නිමිත්තෙහි ගත් අරමුණ සිටියහුගේ ද හුන්නහුගේද හොවින්නහුගේ ද නොනසයි.
10. නාගිත සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි උඩට නැගුණු බැවින් උස්වූත් ගොඩගැසීම් වශයෙන් ද මහා ශබ්දය මොවුන්ගේනුයි උච්චාසද්දමහාසද්දා නමි. ඒ නැගී ආ නැගී ආ ක්‍ෂත්‍රිය මහාසාල බ්‍රාහ්මණ මහාසාලාදීන් මහත් සත්කාර ගෙන ආකල්හි අසුවලාට ඉඩ දෙන්න අසුවලාට ඉඩ දෙන්නැයි කීකල අපි පළමුව ආවෙමු, අපි පළමුව ආවෙමු ඉඩක් නැතැයි මෙසේ ඔවුනොවුනට කියන්නවුන්ගේ ශබ්දය උස්වූයේත් මහත් වූයේත් විය. කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙ යනු මසුන් මැරීමෙහිදී කෙවුලන් මෙනි, මාළු පැස ගෙන ආවාවූ ඔවුනට විකුණන තැන මට දෙව මට දෙවයි කියන මහජනයාගේ මෙබඳුවූ ශබ්දයක් වෙයි, මීළහ සුඛං යනු අසුචි සුඛයයි, මිද්ධසුඛං යන නිදිසුවයයි, ලාභසක්කාරසිලොක සුඛං යනු ලාභසත්කාර ද ගුණකීම ද නිසා උපන් සුවයයි,
තන්නින්නාව භවිස්සන්ති යනු භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ ඒ ඒ තැනට යන්නෙමි, ලුහුබඳින්නෙමැයි කියන ලද්දේ වෙයි. තථා හි භන්තෙ භගවතො සීලපඤ්ඤාණං යනු යම්හෙයකින් මෙබඳු වූ නුඹවහන්සේන්ගේ ශීලය ද ඥානය ද යන අර්‍ත්‍ථයි, මා ව මයා යසො යනු මා සමඟ කීර්තිය ද නොඒවායි, එසො තස්ස නිස්සන්දො යනු මෙය ඔහුගේ නිෂ්පත්තියයි, පියානං යනු ප්‍රියජනකවූවන්ගේයි, එසො තස්ස නිස්සන්දො යනු මේ ප්‍රියභාවයාගේ නිෂ්පත්තියයි, අසුභනිමිත්තානුයොගං යනු අසුභ කර්‍මස්ථානයට අනුයෝගවූයි. සුභනිමිත්තෙ යනු රාගයට කරුණු වූ ඉෂ්ටාරම්මණයෙහිය, එසො තස්ස නිස්සන්දො යනු මෙය ඒ අසුභ නිමිත්තානුයෝගයේ නිෂ්පත්තියයි, මෙසේ මේ සූත්‍රයෙහි මේ පස් තැන්හි විදර්‍ශනාවම කියන ලදි.
තුන්වැනි වූ පඤ්චඞ්ගික වර්‍ගයයි.
4. සුමනා වර්ගය
1. සුමනා සූත්‍ර වර්ණනාව
සිවුවැනි වර්ගයේ පළමු සූත්‍රයෙහි සුමනාරාජකුමාරී යනු මහත් සත්කාර කොට පැතුම් පතා මෙසේ ලබන ලද නම් ඇති රජකුමරියකි. විපස්සී සම්මා සම්බුදුන් වහන්සේගේ සමයෙහි නුවර වැසියන් යුද්ධ ද කොට ශාස්තෲන් වහන්සේ අපට ගන්නෙමුයි සෙන්පතියා නිසා බුදුපාමොක් සඟන ලබා පිළිවෙළින් පින් කිරීමට පටන්ගත් විට සියල්ලන්ට පළමු දිනය සෙන්පතියාට විය, එදවස සෙන්පතිතෙමේ මහදන් පිළියෙල කරවා අද යම්සේ අන් කිසිවෙක් එක් භික්ෂුවකට පවා නොදෙයි ද එසේ රැකවල් තබවුයි හාත්පස පුරුෂයන් තැබීය, එදවස සිටු බිරිඳ කුමාරිකාවන් පන්සියයක් සමඟ කෙළි සෙල්ලම කොට පැමිණි දියණියට හඬමින් මෙසේ කීවාය: “ඉදින් දරුව, ඔබේ පියා ජීවත්ව සිටියේ නම් අද මම පළමුව දශබලයන් වහන්සේ වළඳවන්නෙමි” දියණිය ඇයට මෙසේ කීවාය. “මෑණියනි, නොසිතන්න, යම්සේ බුදු පාමොක් සඟන පළමුව අපගේ දානය වළඳන්නේද මම එසේ කරමි”, ඉක්බිති ලක්ෂයක් වටිනා රන්තලියෙහි දිය නුමුසු පායාසය පුරවා ගිතෙල්, මී, සකුරුවලින් සරසා අනෙක් තලියකින් වසා එය සමන්මල් සමූහයෙන් වටකොට මල්ගුළාවක් මෙන් කොට භාග්‍යවතුන් වහන්සේ ගමට පිවිසෙන වේලාවෙහි තමාම ඔසවාගෙන දැසි සමූහයා විසින් පිරිවරන ලද්දී ගෙයින් නික්මුණාය,
අතරමග සෙන්පතියාගේ උපස්ථායකයෝ දරුව මෙතැන් සිට නොඑවයි කියති. මහ පිනැත්තෝ නම් සිත්ගන්නාසුලු කථා ඇත්තෝ වෙති. ඔවුන් නැවත නැවත කියන විට පිළිකෙවු කිරීමට නොහැකි වෙයි, ඕ තොමෝ “සුළුපියාණෙනි, මහණෙනි, මයිළණුවෙනි, කුමක් නිසා නුඹලා යාමට නොදෙවුදැයි ඇසුවාය” දරුව සෙන්පතිතුමා විසින් අන්කිසිවකුට කෑ යුතු බිඳියයුතු දෑ දීමට ඉඩ නොදෙව්යයි තැබුවෝ වෙමු.” ඔවුහු කීහ. “කිම, මා අත කෑයුතු බිදිය යුතු දෑ දකීවිද?”, “මල් ගුළක් දකිමු”, කිම නුඹලාගේ සෙන්පති මල්පිදීමට ද නොදෙයි ද?”, “දරුව දෙයි”, එසේ නම් ඉවත් වෙව්යි කියා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්ස, මල් ගුළාව ගනු මැනවයි කීවාය, භාග්‍යවතුන් වහන්සේ සෙන්පතිගේ එක් උපස්ථායකයකු බලා මල්ගුළාව ගැන්වූ සේක. ඕතොමෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ, භාග්‍යවතුන් වහන්ස, මට සසර උපතෙහිදී සිහි තැතිගන්වන ජීවිතයක් නම් නොවේවා! මේ සමන්මල් මෙන් උපනුපන් තැන ප්‍රියජනක වූවාම වෙමි, නමින් ද සුමනා වෙමැයි පතා ශාස්තෲන් වහන්සේ විසින් සුවපත් වේවායි කියන ලද්දී වැඳ පැදකුණු කොට ගියාය.