4. දුස්සීල සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි හතුපනිසො යනු නැසූ උපනිශ්‍රය ඇත්තේ නැසූ කරුණු ඇත්තේයි. යථාභූතං ඤාණදස්සනං යනු නාමරූප පරිච්ඡෙද ඥානය ආදි කොට ඇති තරුණ අවස්ථාවෙහි වූ විදර්‍ශනාවයි. නිබ්බිදාවිරාගො යනු කළකිරීම හා අතහැරීමයි, එහි නිබ්බිදාව බලවත් විදර්‍ශනාවයි, විරාගය වූ කලී මාර්‍ගයයි, විමුත්තිඤාණදස්සනං යනු ඵලවිමුක්තිය හා ප්‍රත්‍යවෙක්ෂණ ඥානයයි.
5. අනුග්ගහිත සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි සම්මාදිට්ඨි යනු විදර්‍ශනා සම්‍යග්දෘෂ්ටියයි, චෙතොවිමුත්තිඵලා යනාදියෙහි චෙතොවිමුත්ති යනු මාර්‍ගඵලසමාධියයි, පඤ්ඤාවිමුත්ති යනු ඵලඥානයයි, සීලානුග්ගහිතා යනු ශීලයෙන් අනුග්‍රහ කරන ලද්දේ රක්නා ලද්දේයි, සුතානුග්ගහිතා යනු බහුශ්‍රැතභාවයෙන් රක්නා ලද්දේයි, සාකච්ඡානුග්ගහිතා යනු ධර්‍ම සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන ලද්දේයි, සමථානුග්ගහිතා යනු සිතෙහි එකඟ බවින් රක්නා ලද්දේයි,
මේ කරුණ ප්‍රකටවීම සඳහා මිහිරි අඹ ඇටයක් සිටුවා හාත්පස සීමාව බැඳ කලින් කලට දිය ඉස, කලින් කලට මුල් පිරිසුදු කොට කලින් කලට වැටුණු පණුවන් ඉවත් කොට කලින් කලට මකුළුදැල් හැර අඹ පිළිදැගුම් කරන පුරුෂයෙක් දැක්විය යුත්තේය, එම පුරුෂයාගේ මිහිරි අඹ ඇටය සිටුවීම මෙන් විදර්‍ශනා සම්‍යක් දෘෂ්ටිය දැක්විය යුතුය, සීමා බැඳීම මෙන් ශීලයෙන් ආරක්ෂා කිරීම දැක්විය යුතුය, දියවත්කිරීම මෙන් ධර්‍මය ඇසීමෙන් ආරක්ෂා කිරීමයි, මුල් පිරිසුදු කිරීම මෙන් ධර්‍ම සාකච්ඡාවෙන් ආරක්ෂා කිරීමයි, පණුවන් ඉවත් කිරීම මෙන් ධ්‍යාන විදර්‍ශනාවන්ට අනතුරු ඉවත්කිරීම් වශයෙන් සමථයෙන් ආරක්ෂා කිරීමයි, මකුළුදැල් මිදවීම මෙන් බලවත් විදර්‍ශනා වශයෙන් විදර්‍ශනාවෙන් අනුග්‍රහ කිරීමයි, මෙසේ රක්නාලද ගස් ඉක්මණින් වැඩී ගෙඩි ගෙනදීම මෙන් මේ ශීලාදියෙන් රක්නාලද මූලසම්‍යග් දෘෂ්ටියෙන් ඉක්මණින්ම මාර්‍ග වශයෙන් වඩා චෙතොවිමුත්ති පඤ්ඤාවිමුත්ති ඵල ලබාදීම දතයුතුය.
6. විමුත්තායතන සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි විමුත්තායතනානි යනු මිදීම ඇතිකරන කරුණුයි, යත්‍ථ යනු යම් විමුක්තිය ඇතිකරන කරුණුවලයි, සත්‍ථා ධම්මං දෙසෙති යනු සිවුසස් දහම් දෙසන සේක, අත්‍ථපටිසංවෙදිනො යනු පෙළ අරුත දන්නහුගේයි, ධම්මපටිසංවෙදිනො යනු පෙළ දන්නහුගේයි, පාමුජ්ජං යනු තරුණ ප්‍රීතියයි, පීති යනු සතුටු ආකාරය ඇත්තා වූ බලවත් ප්‍රීතියයි, කායො යනු නාමකායයයි, පස්සමහති යනු සංසිදීමට පැමිණෙයි, සුඛං වෙදෙති යනු සුවය ලබයි, චිත්තං සමාධියති යනු අරහත් ඵල සමාධියෙන් එකඟතාවට පැමිණෙයි, ඒ ධර්‍මය අසන්නා වූ මෙතෙම පැමිණි පැමිණි තැන ධ්‍යාන විදර්‍ශනා මාර්‍ගඵල දනියි, එසේ දන්නාවූ ඔහුට ප්‍රීතිය උපදියි, හෙතෙම ප්‍රීතියෙන් අනතුරුව පහතට වැටීමට නොදෙමින් උපචාර කර්‍මස්ථානිකයෙක් වී විදසුන් වඩා රහත් බවට පැමිණෙයි, ඒ සඳහා “චිත්තං සමාධියති”යි කියන ලදි. සෙස්සෙහි ද එම ක්‍රමයමයි, මෙහි මේ විශේෂයයි, සමාධිනිමිත්තං යනු අරමුණු තිස් අට අතුරෙන් එක්තරා සමාධියක්ම සමාධි නිමිත්තයි, සුග්ගහිතං හොති යනාදියෙහි ඇඳුරුවරයාගේ සමීපයෙහි කමටහන් උගන්නහු විසින් මනාව ගන්නා ලද්දේ වෙයි, මනාව මෙනෙහි කරන ලද්දේ මනාව මතකයෙහි තබන ලද්දේ වෙයි, සුප්පටිවිද්ධං පඤ්ඤාය යනු ප්‍රඥාවෙන් මනාව ප්‍රත්‍යක්‍ෂ කරන ලදි, තස්මිං ධම්මෙ යනු ඒ කමටහන් පෙළදහමෙහිය, මෙසේ මේ සූත්‍රයෙහි පස් විමුත්තායතනයෝ රහත් බවට පමුණුවා කියන ලද්දාහුය.