8. අනරියවොහාර සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි අනරියවොහාරා යනු අනාර්යයන්ගේ කථායි, සෙසු තැන්හි ද මේ ක්‍රමයයි.
පස්වැනි වූ ආපත්තිභය වර්‍ගයයි.
6. අභිඤ්ඤා වර්ගය
1. අභිඤ්ඤා සූත්‍ර වර්ණනාව
සවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අභිඤ්ඤා යනු ප්‍රඥාවෙන් මනාව දැනෙයි, සමථො ච විපස්සනා ච යනු සිතෙහි එකඟතාව හා සංස්කාරයන් විමසන විදර්‍ශනා ඥානයයි. විජ්ජා ච විමුත්ති ච යනු මාර්‍ගඥානවිද්‍යාව හා ඉතිරි සම්ප්‍රයුක්තක වූ ධර්‍මයෝයි.
2. පරියෙසනා සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අනරියපරියෙසනා යනු අනාර්‍යයන්ගේ සෙවීමයි, පර්යේෂණයයි, ජරාධම්මං යනු ජරා ස්වභාවයයි, සෙසෙහි ද මේ ක්‍රමයමැයි, තෙවැන්න පැහැදිලිමය.
4. මාලුඞ්ක්‍යපුත්ත සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි මාලුඞ්ක්‍යපුත්තො යනු මාලුඞ්ක්‍ය බැමිණියගේ පුතායි, එත්‍ථ යනු මේ ඔබගේ ඔවදන් ඉල්වීමෙහිය, මෙයින් තෙරුන් හෙළා දකියි ද ඔසවා තබයි ද වේ. කෙසේදයත්? මෙතෙම කුඩා අවදියෙහි ප්‍රත්‍යයන්හි ඇලී සිට පසුව මහලු කල්හි අරණ්‍යවාසය කැමතිවන්නේ කමටහන් අයදියි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙහි බාලයන්ට කුමක් කියමුද මාලුඞ්ක්‍ය පුත්‍රයා මෙන් නුඹලා ද තරුණ කාලයෙහි ප්‍රත්‍යයන්හි ඇලී මහලු කල්හි අරණට පිවිස මහණදම් කරන්නහුද යන අදහසින් කියන සේක් තෙරුන් හෙළාදකියි නමි. යම් හෙයකින් තෙරණුවෝ මහලූකල අරණට පිවිස මහණදම් කරනු කැමැත්තෝ ද එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙහි බාලයන්ට කුමක් කියමුද? මේ නුඹලාගේ මාලුඞ්ක්‍ය පුත්‍රතෙමේ මහලු කල්හි ද අරණට පිවිස මහණදම් කරනු කැමැත්තේ කමටහන් අයදියි නුඹලා වනාහි තුරුණු කල්හි ද වීර්ය නොකරන්නහුදැයි යන මේ අදහසින් කියන සේක් තෙරුන් ඔසවා තබයි නමි යනුවෙන් යෙදිය යුතුය.
5-10. කුල ආදි සූත්‍ර වර්ණනා
පස්වැන්නෙහි ආධිපච්චෙ ඨපෙන්ති යනු භාණ්ඩාගාරික තනතුරෙහි තබත්, සයවැන්නෙහි වණ්ණසම්පන්නො යනු ශරීර වර්‍ණයෙන් යුක්තවූයේයි, බලසම්පන්නො යනු කායබලයෙන් යුක්තවූයේයි, භික්ඛුවණ්ණසම්පන්නො යනු ගුණ පැහැයෙන් යුක්ත වූයේයි. බලසම්පන්නො යනු වීර්‍ය්‍යබලයෙන් යුක්තවූයේයි, ජවසම්පන්නො යනු ඥාන ජවයෙන් යුක්තවූයේයි, සත්වැන්නෙහි ද මේ ක්‍රමයමැයි, මෙහි පැහැදිලිමය.
සවැනි වූ අභිඤ්ඤා වර්‍ගයයි
7. කම්මපථ වර්ගය
කර්‍මපථ වර්‍ගයෙහි දතකර්‍මපථයෝ ද ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවම කියන ලද්දාහ.
8. රාගපෙය්‍යාලය
රාගපෙය්‍යාලය (රාගය අතහැර දැක්වීම) රහත්බවට පමුණුවා කියන ලදි. සෙස්ස හැමතැන්හි පැහැදිලිමය.
මනොරථපූරණී නම්වූ අඞ්ගුත්තර නිකායට්ඨ කථාවෙහි
චතුක්ක නිපාත වර්‍ණනාව නිමි.