3. සික්ඛාපදානිසංස සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි ශික්ෂා ආනිසංශයෝ මෙහිනුයි සික්ඛානිසංසං නමි, විමුක්තිසාරය මෙහිනුයි විමුත්තිසාරං නමි, සිහියේ බලය මෙහිනුයි සතාධිපතෙය්‍යං නමි, ශික්ෂාපද සංඛ්‍යාත වූ මේ ආනිසංශාදිය සඳහා මෙසේයයි කියන ලද්දේ වෙයි, ආභිසමාචාරිකා යනු උතුම් සමාචාරයට අයත්දැයයි, වත්වශයෙන් පැනවුණු ශීලයට මෙය නමෙකි, තථා තථා සො තස්සා සික්ඛාය යනු ඒ ඒ අයුරින් ඒ ශික්ෂාකාමී භික්ෂුව එම ශික්ෂා පදයෙහියි,
ආදිබ්‍රහ්මචරියකා යනු මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ සතර මහා ශීලයන්ට මෙය නමෙකි, සබ්බසො යනු සර්‍වාකාරයෙනි, ධම්මා යනු සිවුසස් දහම්ය, පඤ්ඤාය සමවෙක්ඛිතා හොන්ති යනු විදර්‍ශනා සහිත මාර්‍ග ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දෝ වෙත්, විමුත්තියා ඵස්සිතා හොන්ති යනු අරහත්තඵල විමුක්තියෙන් ඥානස්පර්‍ශයෙන් ස්පර්‍ශ කරන ලද්දෝ වෙත්, අජඣත්තංයෙව සති සුපට්ඨිතා හොති යනු ස්වකීය අධ්‍යාත්මයෙහි සිහිය මනාව එළඹ සිටියේ වෙයි, පඤ්ඤාය අනුග්ගහෙස්සාමි යනු විදර්‍ශනා ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි, පඤ්ඤාය සමවෙක්ඛිස්සාමි යනු මෙහි වනාහි මාර්‍ග ප්‍රඥාවම අදහස් කරන ලදි.
4. සෙය්‍යා සූත්‍ර වර්ණනාව
සතරවැන්නෙහි කලුරිය කළාහු පෙතායි කියනු ලැබෙත්, උත්තානා සෙන්ති යනු ඔවුහු බොහෝ සෙයින් උඩුකුරුව නිදත්, නැතහොත් ප්‍රේත ආත්මභාවයෙහි උපන් ප්‍රේතයෝ නම් වෙති. ඔවුහු අල්ප වූ මස්ලේ ඇති බැවින් ඇටසැකිල්ලෙන් වෙළුනාහු එක් පසෙකින් හිදීමට නොහැකි වෙති, උඩුකුරුවූවාහුම හොවිති, අනත්තමනො හොති යනු සිංහ මෘගරාජ තෙම් තෙද වැඩි බැවින් ඉදිරි පා දෙක එක් තැනක ද පසු පා දෙක එක තැනක ද තබා නගුට කලවා අතරෙහි බහා ඉදිරි හා පසුපස හා නගුට පිහිටි තැන සලකා ඉදිරි පා දෙක මත්තෙහි හිස තබා නිදයි, දවසකුදු නිදා පිබිදෙන්නේ නැති නොගනිමින් පිබිදෙයි, හිස ඔසවා ඉදිරි පා ආදිය පිහිටි තැන සලකා ඉදින් කිසිතැනක් අත්හරින ලද්දේ වෙයිද (තැබූ තැන වෙනස්වී ඇත්ද) මෙය ඔබගේ ජාතියෙහි ශූරභාවයට නොසුදුසුයයි අසතුටුවූයේ එහිම නිදයි, ගොදුරු සඳහා නොයයි, මේ සඳහා “අනත්තමනො හොති”යි කියන ලදි. (තැන) නොහැර සිටි විට ඔබේ ජාතියට ද ශූරභාවයට ද මෙය සුදුසුයයි සතුටුවූයේ නැඟිට හිරිපොළා කෙසරුසලා තෙවරක් සිංහනාදය කොට ගොදුරු සඳහා යයි, එහෙයින් “අත්තමනො”යි කියන ලදි.
5. ථූපාරහ සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි රාජා චක්කවත්ති යනු මෙහි කුමක්හෙයින් භාග්‍යවතුන් වහන්සේ ගිහිගෙහි වැස කලුරිය කළ රජුට ස්තූපකරණය අනුදන්නා සේක්ද? සිල්වත් පෘථග්ජන භික්ෂුවට නොඅනුදත් සේක්ද? ආශ්චර්‍ය්‍යවත් බැවිනි, පෘථග්ජන භික්ෂූන්ට ස්තූපයන් අනුදන්නා කල්හි තම්බපණ්ණි දිවයිනෙහි (ලංකාවෙහි) ගම් පටුන්වල ඉඩ ද නැතිවන්නේය. අන් තැන්හිද එසේය, එබැවින් ඒවා ආශ්චර්යයවත් නොවන්නේයයි නොඅනුදනිති, එකම (සක්විති රජ කෙනෙක් උපදියි. එබැවින් ඔහුගේ ස්තූපය ආශ්චර්‍ය්‍යවත් වෙයි, පුහුදුන් සිල්වතාට පිරිනිවන් පෑ භික්ෂුවට මෙන් මහත්වූද සත්කාර කිරීමට වටනේමය, සවැනි සත්වැනි සූත්‍ර පැහැදිලි අරුත් ඇත්තේමය.
8. අනරියවොහාර සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි අනරියවොහාරා යනු අනාර්යයන්ගේ කථායි, සෙසු තැන්හි ද මේ ක්‍රමයයි.
පස්වැනි වූ ආපත්තිභය වර්‍ගයයි.
6. අභිඤ්ඤා වර්ගය
1. අභිඤ්ඤා සූත්‍ර වර්ණනාව
සවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අභිඤ්ඤා යනු ප්‍රඥාවෙන් මනාව දැනෙයි, සමථො ච විපස්සනා ච යනු සිතෙහි එකඟතාව හා සංස්කාරයන් විමසන විදර්‍ශනා ඥානයයි. විජ්ජා ච විමුත්ති ච යනු මාර්‍ගඥානවිද්‍යාව හා ඉතිරි සම්ප්‍රයුක්තක වූ ධර්‍මයෝයි.
2. පරියෙසනා සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අනරියපරියෙසනා යනු අනාර්‍යයන්ගේ සෙවීමයි, පර්යේෂණයයි, ජරාධම්මං යනු ජරා ස්වභාවයයි, සෙසෙහි ද මේ ක්‍රමයමැයි, තෙවැන්න පැහැදිලිමය.