3. දෙවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි අකතඤ්ඤදුතා අකතවෙදිතා යනු කෙළෙහි ගුණ නොදත්බැවින් ද කෙළෙහිගුණ නොසලකන බැවින් ද යනුයි, මේ දෙකම අර්ත්ථ වශයෙන් එකක්මය, යහපත් පක්ෂයෙහි ද ක්රමයමයි,
4-10. තෙවන නිරය - සග්ග නික්ඛිත්ත ආදි සූත්ර වර්ණනා
සතරවැන්න සතර කර්ම ක්ලේශයන්ගේ ද ඒවාට ප්රතිපක්ෂ වීම් වශයෙන් ද කියන ලදි: පස්වැන්න යහපත් පැත්තට අයත් වූවන්ගේ මුලින් සතර මිථ්යා කරුණු වශයෙනි. සයවැන්න සෙසු සතර කරුණු වශයෙනි, සත්වැන්න ආර්ය්ය අනාර්ය ව්යවහාරයන් වශයෙනි, එසේම අටවැනි නවවැනි හා දසවැනි සූත්රයෝ යහපතට ප්රතිපක්ෂ වූ අසද්ධර්මයන් වශයෙන් කියන ලදි, සියලු සූත්රයන්හි ශුක්ලපක්ෂයට අයත් ධර්මයෝ ලෞකික ලෝකෝත්තර මිශ්රකවම කියන ලද්දාහ. සූත්ර නවයෙහි ස්වර්ගයෙහි කිසිවක්”යි කියන ලද්දේ ද මාර්ග තුනත් ඵලතුනත් ලබත්මැයි.
දෙවැනි වූ පරිසසොභන වර්ගයයි.
3. සුචරිත වර්ගය
1-10. වචීසුචරිත ආදි සූත්ර වර්ණනා
තෙවැනි වර්ගයෙහි පළමු සූත්රාදිය පැහැදිලි අරුත් ඇත්තේමය, දසවැන්නෙහි යමෙක් සිතා කාව්ය කරයිද මෙතෙම චින්තාකවි නමි, යමෙක් අසා කාව්ය කරයි ද මෙතෙම සුතකවි නමි, යමෙක් එක් අර්ථයක් නිසා කාව්යය කරයි ද මෙතෙම අත්ථකවි නමි, යමෙක් එකෙණෙහිම වංගීස තෙරුන් මෙන් තමන්ගේ ප්රතිහානයෙන් කාව්ය කරයිද මෙතෙම පටිභාන කවි නමි.
තෙවැනි වූ සුචරිත වර්ගයයි.
4. කර්ම වර්ගය
1. ප්රථම කර්ම සූත්ර වර්ණනාව
සිවුවැනි වර්ගයේ පළමු සූත්රයෙහි කණ්හං යනු කළු (කිලිටි) දශ අකුශල කර්ම පථකර්මයයි, කණ්හවිපාකං යනු අපායෙහි උපදනා බැවින් කිළිටි විපාකයයි, සුක්කං යනු සුදුවූ කුශලකර්මපථකර්මයයි, සුක්කවිපාකං යනු ස්වර්ගයෙහි උපදනා බැවින් සුදු විපාකයයි, කණ්හසුක්කං යන මිශ්ර වූ කර්මයයි, කණ්හසුක්කවිපාකං යනු සුඛ දුක්ඛ විපාකයයි, මිශ්රක කර්මයක් කොට අකුසලයෙන් තිරිසන් යෝනියෙහි මඟුල් ඇත් තැන් ආදියෙහි උපන්නේ කුසල බලයෙන් ප්රවෘත්ති විපාකයෙහි සැපවිඳියි, කුශලයෙන් රාජකුලයෙහි උපන්නේද අකුශල බලයෙන් ප්රවෘත්තියෙහි දුක් විඳියි, අකණ්හං අසුක්කං යනු කර්මක්ෂය කරන්නා වූ සිවුමඟ නුවණ අදහස් කරන ලදි. එය ද ඉදින් පාපය වන්නේ ද පාප විපාකය දෙන්නේය, ඉදින් කුශලය වන්නේ ද කුශල විපාකය දෙන්නේය, විපාක දෙකම නොදෙන බැවින් අකණ්හ අසුක්කය යනු මෙහි අර්ත්ථයයි.
2. දෙවන කර්ම සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි සව්යාපජ්ඣං යනු ද්වේෂ සහගතවූයි, කායසංඛාරං යනු කායද්වාරයෙහි චෙතනාවයි, අභිසඞ්කරොති යනු රැස්කරයි, එකතුකරයි, සෙසු දෙකෙහි ද මේ ක්රමයමැයි, සව්යාපජ්ඣං ලොකං යනු දුක්සහිත ලෝකයයි, සව්යාජඣා ඵස්සා යනු දුක්සහිතවූ විපාක ස්පර්ශයයි, සව්යාපජ්ඣං වෙදනං වෙදියති යනු ආබාධ සහිත විපාක වේදනාව විඳියි, එකන්තදුක්ඛං යනු ඒකාන්තයෙන්ම දුකයි, සුවමුසුවූවක් නොවේ. සෙය්යථාපි සත්තා නෙරයිකා යනු මෙහි සෙය්යථාපි යනු නිදර්ශනාර්ථයෙහි නිපාතයෙකි, එයින් හුදෙක් නිරාගත සතුන් දක්වයි, ඊට සමාන වූ වෙනත් අය නම් නැත. මේ ක්රමයෙන් සියලු තැන අර්ථය දතයුතුයි, සෙය්යථාපි මනුස්සා යනාදියෙහි මිනිසුන්ට කලෙක සුඛවේදනාව උපදියි, කලෙක දුක්ඛවේදනාව උපදියි, එකච්වෙව දෙවා යනු මෙහි කාමාවචර දෙවිවරු දැක්විය යුත්තාහ, ඔවුනට වනාහි මහෙසාඛ්යතර වූ දෙවියන් දැක හුන් අසුනෙන් නැගිටීම, පෙරවූ උතුරු සළුව පහත හෙළීම, ඇඳිලි බැඳීම ආදි වශයෙන් කලෙක දුක් උපදියි, දිව සැපත් විඳින්නවුනට කලෙක සැපයයි, එකච්වෙ ව විනිපාතිකා යනු මෙහි විමාන ප්රේතයෝ දැක්විය යුත්තාහ, ඔවුහු නිරන්තරයෙන්ම එක් කලෙක සැපය ද එක් කලෙක දුක ද විඳිත්, නාග සුපර්ණ හස්ති අශ්වාදීහු මිනිසුන්ගෙන් මිශ්ර වූ සුවදුක් ඇත්තෝම වෙති, පහානාය යා චෙතනා යනු මෙහි නිර්වාණගාමී මාර්ගචෙතනාව දතයුතුය, එය කර්මක්ෂය සඳහා පවතියි.
3. තෙවන කර්ම සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි සිඛාමොග්ගල්ලානො යනු හිස මැද පිහිටි මහත් සිළුවකින් යුක්ත වූ මොග්ගලාන ගොත්රයෙහි වූ බමුණායි, පුරිමානි යනු අතීතයට අනතුරු දිනයෙහි පටන් පුරිමානි (මුලින්වූ) නමි, දෙවැනි දින ආදියෙහි සිට පුමතරානි යි දතයුතුය, සොනකායනො යනු ඔහුත්ම අතවැසියායි, කම්මසච්චායං භො ලොකො යනු භවත්නි, මේ ලෝකය කර්මය ස්වභාවකොට ඇත්තේය, කම්මසමාරම්හට්ඨායි යනු කර්මය ඇරඹීමෙන් සිටියි, කර්මය රැස්කරන්නේම සිටියි, රැස් නොකරන්නේ විනාශ වේ යයි දක්වයි. සෙස්ස යට කියන ලද ක්රමය ඇත්තේමය,
4. සිවුවන කර්ම සූත්ර වර්ණනාව
සතරවැන්න ආදිය ද පැහැදිලි අරුත් ඇත්තේමය, මාර්ගාඞ්ගයන්හි වනාහි යම්හෙයකින් සිහියෙන් එළවා ප්රඥාවෙන් පිරිසිඳියි ද එහෙයින් දෙකම කර්මයයි, සෙස්සෝ අංගයෝම වෙති, කර්ම නොවෙතියි කියන ලදි, බොධ්යංගයන්හි මේ ක්රමයමයි, අභිධර්මයෙහි වනාහි මේ සියල්ල අවිශේෂයෙන් චේතනා සම්ප්රයුක්ත කර්මයකැයි වර්ණිතය.