8. දුතියතථාගතඅච්ඡරිය සූත්ර වර්ණනාව
අටවැන්නෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ඇලියයුතු යන අරුතින් ආලයො යන පඤ්චකාමගුණයෝ හෝ සියලුම සසරයි, මෙහි ඇලේයයි ආරාම නමි. ආලය ආරාමය මැයටනුයි ආලයරාමා නමි. ආලයෙහි ඇලුනාහුයි ආලයරතා නමි, ආලයෙහි බෙහෙවින් සතුටුවන ලදැයි ආලය සම්මුදිතා නමි, අනාලයෙ ධම්මො යනු ආලයට ප්රතිපක්ෂ වූ නිවන ඇසුරු කරන ලද ආර්යධර්මයෙහිය, සුස්සූසං යනු අසනු කැමැත්තේ වෙයි, සොතං ඔදහති යනු කණ යොමුව තබයි, අඤ්ඤාචිත්තං - උපට්ඨපෙති යනු දැනීම සඳහා සිත පිහිටුවයි, මානො යනු මඤ්ඤනාවයි, පරිකල්පනය කළයුතු යන අරුතින් සියලු සසරම හෝ වෙයි, මානවිනයෙ ධම්මෙ යනු මානය දුරුකරන ධර්මයේයි, උපසමය (සංසිඳීමට ප්රතිපක්ෂවූයේ අනුපසමෝයි, නොසංසිඳෙන අරුතින් සසරම අනුපසමොයි, ඔපසමිකෙ යනු සංසිඳීම ඇතිකරවන නිවන ඇසුරු වූ දෙයෙහියි, අවිද්යාවෙන් ගියේ යුක්තවූයේයි අවිජ්ජාගතා නමි. අවිද්යා නමැති අණ්ඩකොෂයෙන් වටකරන ලද බැවින් බිජුවටක් වැනි වූවෝයි අණ්ඩභූතා නමි. හාත්පසින් වසන ලද බැවින් පරියොනද්ධා යි. අවිජ්ජාවිනයෙ යනු අරහත්බව අවිජ්ජාවිනයයි කියනු ලැබේ, එය ඇසුරුවූ ධර්මය දෙසනවිටය යන අරුත්ය, මෙසේ මේ සූත්රයෙහි සතර තැනක සසර ද සතරතැනක නිවන ද කියන ලදි.
9. ආනන්දච්ඡරිය සූත්ර වර්ණනාව
නවවැන්නෙහි භික්ඛුපරිසා ආනන්දං දස්සනාය යනු යමෙක් භාග්යවතුන් වහන්සේ දකිනු කැමැතිව තෙරුන් වෙත එළඹෙත්ද ඔවුහු හෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ වනාහි හාත්පසින් පහදවන්නාහුය, මනා රූ ඇත්තාහුය, දැකුම්කලු වූහ, බොහෝ ඇසූපිරූ තැන් ඇතියහ, සංඝයා හොබවන්නාහු යයි තෙරුන්ගේ ගුණයන් අසා යමෙක් පැමිණෙත්ද ඔවුන් සඳහා භික්ඛුපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති යි කියන ලදි, සියලු තන්හි මේ ක්රමයමයි අත්තමනා යනු ඇසීමෙන් අපගේ දර්ශනයට ගැලපේයයි සියසිත ඇත්තාහු සතුටු සිතැත්තෝයි, ධම්මං යනු කිම ඇවැත්නි ඉවසිය හැකිද? කිම යැපිය හැකිද, කිම නුවණින් මෙනෙහි කිරීමේ යෙදෙන්නෙහුද? ආචාර්ය්ය උපාධ්යායවත් පුරන්නහුදැයි මෙබඳු වූ පිළිසඳර දහමයි, එහි භික්ෂුණීන් විෂයෙහි නැගනිවරුනි කෙසේද අෂ්ටගරුධර්මයන් සමාදන්ව වෙසෙන්නෙහුද යන මෙය වෙනස වෙයි. උපාසකයන් විෂයෙහි උවසුව, මනා පැමිණීමකි, ඔබගේ හිස හෝ අවයවයක් හෝ රිදුම් දේද? ඔබගේ පුත්තු සහෝදරවරු නීරෝගී වෙත්වායි මෙසේ පිළිසඳර නොකරයි, කෙසේද උවසුවරුනි, තෙරුවන් පන්සිල් රකින්නහුද? මසක පොහොය අට කරන්නහු ද? මවුපියනට උවටැන් වත්පුරන්නහුද? දැහැමි මහණ බමුණන් පිළිදැඟුම් කරන්නහුදැයි මෙසේ පිළිසඳර කරයි, උවැසියන් කෙරෙහිද මේ ක්රමයමයි.
10. චක්කවත්තිඅච්ඡරිය සූත්ර වර්ණනාව
දසවැන්නෙහි ඛත්තිය පරිසා යනු අබිසෙස් කළ හෝ නොකළ ක්ෂත්රියයෝයි, ඔවුහු වනාහි සක්විති රජතෙමේ නම් මනාරූ ඇත්තෙකි, පහදවනසුලුය, අහසින් යන්නේ රාජ්යය අනුශාසනා කරයි, ධාර්මිකය. ධර්මරාජයැයි ඔහුගේ ගුණකථාව අසා ඇසීමෙන් දැක්මෙහි ගැලපීම් ඇතිවිට සතුටු සිත් ඇත්තෝ වෙති. භාසති යනු කෙසේද දරුවනි, රාජධර්මය පුරන්නහුද? පෙළපත රක්නහුදැයි පිළිසඳර කරයි, බමුණන් විෂයෙහි වනාහි ඇදුරුවරුන් කෙසේද, මන්ත්ර කියවන්නහුද? අතැවැස්සෝ මන්ත්ර උගනිත්ද? දක්ෂිණාව හෝ වස්ත්ර හෝ කපිලය අග්නි පූජාව හෝ ලබහුදැයි මෙසේ පිළිසඳර කරයි, ගෘහපතියන් කෙරෙහි කෙසේද දරුවනි, තොපට රාජකුලයෙන් හෝ දඬුවමින් හෝ අයබද්දෙන් හෝ පීඩාවක් ඇත්ද? මනාව වැසි දහර ලැබේද? ශෂ්ය සැපයෙත්දැයි මෙසේ පිළිසඳර කථා කරයි, ශ්රමණයන් කෙරෙහි කෙසේද ස්වාමීනි, පැවිදි පිරිකර සුලබද ශ්රමණ ධර්මයන්හි නොපමාවනු මැනවැයි මෙසේ පිළිසඳර කරයි.
තෙවැනි වූ භයවර්ගයයි.
4. පුග්ගල වර්ගය
1. සංයොජනපුග්ගල සූත්ර වර්ණනාව
සතරවැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි උප්පත්තිපටිලාභීයානි යනු යම් දෙයකින් අනතුරු උපත ලබයිද ඒවායි, භවපටිලාභියානි යනු උත්පත්ති භවය ලැබීමට ප්රත්යයෝයි, සකදාගාමිස්ස යන මෙය ප්රහීන නොවූ සංයෝජන ඇති ආර්ය්යයන් කෙරෙහි උපරිමයෙන් ගන්නා ලදි. යම් හෙයකින් අන්තරා පරිනිබ්බායී ආර්ය්යයාට අනතුරු උපතක් නැත්ද හෙතෙම එහි යම් ධ්යානයකට සමවදියි ද එය දක්ෂභාවයෙන් උත්පත්තිභවයට ප්රත්යයයි පිළිගැනීමට පැමිණෙයි, එබැවින් ඔහුට උත්පත්ති ප්රතිලාභය ඇතිකරවන්නා වූ සංයෝජනයෝ ප්රහීන වූවාහුය, භවප්රතිලාභය ඇති කරවන්නා වූ සංයෝජනයෝ ප්රහීන නොවූවාහුයයි කියන ලදි. ඔරම්භාගියයන් අතුරෙහි ප්රහීන නොවූ දෙය ගෙන සකෘදාගාමී ආර්ය්යයාගේ අවිශේෂයෙන් ඕරම්භාගිය සංයෝජනයෝ ප්රහීන නොවූහයි කියන ලදි. මෙහි සෙස්ස පැහැදිලිමය.