4. දුතියපුග්ගල සූත්ර වර්ණනාව
සිවුවැන්නෙහි රූපයම රූපගතං නමි, සෙසු පදයන්හි ද මේ අයුරුමයි, අනිච්චතො යනාදියෙහි ආභාවාර්ථයෙන් අනිත්ය බැවිනි, ආබාධාර්ථයෙන් රොගතො නමි, ඇතුළත දුෂ්යවීමේ අර්ත්ථයෙන් ගණ්ඩතො නමි, ඇතුළට පිවිසීමේ අරුතින් සල්ලතො නමි, දුක් සහිතය යන අරුතින් අඝතො නමි, පෙළීම් සහිතය යන අරුතින් ආබාධතො නමි, අකීකරුය යන අරුතින් පරතො නමි. බිඳෙන අරුතින් පලොකතො නමි. සත්ත්වයකු නැත යන අරුතින් සුඤ්ඤතො යි වසඟයෙහි නොපවතින අරුතින් අනත්තතො යි, මෙහි අතිච්චතො, පලොකතො යන පද දෙකින් අනිත්ය ලක්ෂණය කියන ලදි, සුඤ්ඤතො අනන්තතො යන දෙපදයෙන් අනිත්ය ලක්ෂණය ද සෙසු පදයන්ගෙන් දුක්ඛ ලක්ෂණය ද කියන ලදැයි දතයුතුය, සමනුපස්සති යනු නුවණින් දකියි, මෙසේ පංචස්කන්ධයෙන් තිලකුණු නංවා බලන්නේ තුන්මග තුන්ඵල ප්රත්යක්ෂ කරයි, සුද්ධාවාසාතං දෙවාතං සහව්යතං උප්පජ්ජති යනු එහි සිටියේ චතුර්ථ ධ්යනය වඩා උපදියි.
5-6. තතියපුග්ගල ආදි සූත්ර වර්ණනා
පස්වැනි සූත්රයෙහි ප්රථම ධ්යානයෙන් මෛත්රිය ද ද්විතීය ධ්යානාදි වශයෙන් කරුණා ආදිය ද දක්වන ලදි, සවැනි සූත්රය සිවුවැන්නෙහි කියන ලද ක්රමයෙන් දතයුතුය,
7. තථාගත අච්ඡරිය සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි පාතුභාවා යනු පහළ වීමෙනි, කුච්ඡිං ඔක්කමති යනු මෙහි කුසට පිවිසෙන්නේ වේයයි අරුත්ය, එහි බස්නාවිටම මෙසේ වෙයි, බසිනු ලබන විට නොවේ. අප්පමාණො යනු වැඩුණු ප්රමාණයයි, බොහෝ වූ යන අරුත්ය, උළාරො යනු ඊටම නමෙකි, දෙවානං දෙවානුභාවං යනු මෙහි මේ දෙවියන්ගේ ආනුභාවයයි, ඇඳගත් ඇඳුමෙහි පැහැය දොළොස් යොදුනක් පැතිරෙයි, එසේම සිරුරේ ද එසේම විමනේ ද එය ඉක්මවා (පැහැය පැතිරේය) යි අරුත්ය, ලොකන්තරිකා යනු සක්වල තුනකින් තුනකින් අතුරෙහි එක් ලොකාන්තරිකයක් වෙයි, එකිනෙක ගැටෙන සේ තබන ලද රියසක් තුනක් ද හෝ පාත්ර තුනක් මැද මැද අවකාශය මෙනි, ඒ ලෝකාන්තරික නිරය වනාහි පරිමාණයෙන් යොදුන් අටදහසක් වෙයි, අසා යනු නිරතුරුව විවරවූයේයි, අසංවුතා යනු යටද නොපිහිටියේයි, අන්ධකාරා යනු අඳුරුයි, අන්ධකාරාතිම්සා යනු චක්ඛුවිඤ්ඤාණ උත්පත්තිය වළකන බැවින් අන්ධභාවය ඇතිකරන අඳුරෙන් යුක්තවූයේයි, එහි වනාහි චක්ෂුර් විඥානය නොඋපදියි, එවං මහිද්ධිකානං යනු සඳහිරු එකපහරින්ම දිවයින් තුනෙහි පැනෙයි, මෙසේ මහා සෘද්ධි ඇත්තෝයි, එක් එක් දිශාවෙහි යොදුන් නවලක්ෂයක් බැගින් වූ අන්ධකාරය දුරුකොට ආලෝකය දක්වත්, මෙබඳු මහානුභාවය ඇත්තෝයි, ආසානානුභොන්ති යනු දීප්තිය නොපොහොනේය. ඔවුහු සක්වල පව්වේ මැදින් යත් සක්වළ පව්ව ද ඉක්මවා ලෝකාන්තරික නිරයෝයි, එහෙයින් එහි ඔවුන්ගේ දීප්තිය නොපොහොනේය.
යෙපි තත්ථ සතතා යනු ඒ ලෝකාන්තරික මහා නිරයෙහි යම් සත්ත්වයෝ උපන්නාහුද ඔවුහුයි, කවර නම් කර්මයක්කොට එහි උපදිත්ද? බැරෑරුම් කර්මයක් කරන ලදි, මව්පියන් ධාර්මික ශ්රමණ බ්රාහ්මණයන් මත්තෙහි අපරාධද දිනපතා වෙනත් ප්රාණඝාතාදි කර්මයක් ද කොට උපදිත්, තම්බපණ්ණි දිවයිනෙහි අභයචෝර, නාගචොරාදීන් මෙනි, ඔවුන්ගේ ආත්මභාවය තුන්ගව් ඇත්තේ වෙයි. වවුලන්ගේ මෙන් දිගු නිය ඇත්තේ වෙයි, ඔවුහු ගසෙහි වවුලන් මෙන් සක්වල පවු පාමුල එල්ලෙත්, යම්විටෙක බඩගා යත්ද ඔවුනොවුන්ගේ අත්පසයට ගියාහු වෙති, ඉක්බිති කෑමට දෙයක් අපට නොලැබුණේ යයි හඟිමින් එහි නියැලුණාහු කරකැවී ලොව දරන ජලයෙහි වැටෙත්, වාතයෙහි ගැටෙන විට මීගෙඩි මෙන් සිඳී දියෙහි වැටෙත්. වැටෙන විටම අතිශයින් ක්ෂාර වූ ජලයෙහි පිටි පිඬුවක් මෙන් ඇකිලී යති, අඤ්ඤෙපිකිර සො සන්ති සත්තා යනු එම්බල, යම්සේ අපි මහා දුකක් විඳිමුද මෙසේ වෙනත් සත්ත්වයෝ ද මේ දුක විඳීම සඳහා මෙහි උපන්නාහු යයි එදවස බලත්, මේ ආලෝකය වනාහි එක් කැඳ කටක් බොන තරම්වත් කාලයක් නොතිබෙයි, නිදා පිබිඳුනෙක් යම්කලෙකින් අරමුණක් පහළ කරයිද, එපමණ කාලයක් වෙයි, දීඝභාණකයෝ වනාහි අසුරු සණක් පමණම විදුලිය එලියක් මෙන් නික්ම මේ කිමෙක්දැයි සලකත්දීම අතුරුදහන් වේයයි කියති.
8. දුතියතථාගතඅච්ඡරිය සූත්ර වර්ණනාව
අටවැන්නෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ඇලියයුතු යන අරුතින් ආලයො යන පඤ්චකාමගුණයෝ හෝ සියලුම සසරයි, මෙහි ඇලේයයි ආරාම නමි. ආලය ආරාමය මැයටනුයි ආලයරාමා නමි. ආලයෙහි ඇලුනාහුයි ආලයරතා නමි, ආලයෙහි බෙහෙවින් සතුටුවන ලදැයි ආලය සම්මුදිතා නමි, අනාලයෙ ධම්මො යනු ආලයට ප්රතිපක්ෂ වූ නිවන ඇසුරු කරන ලද ආර්යධර්මයෙහිය, සුස්සූසං යනු අසනු කැමැත්තේ වෙයි, සොතං ඔදහති යනු කණ යොමුව තබයි, අඤ්ඤාචිත්තං - උපට්ඨපෙති යනු දැනීම සඳහා සිත පිහිටුවයි, මානො යනු මඤ්ඤනාවයි, පරිකල්පනය කළයුතු යන අරුතින් සියලු සසරම හෝ වෙයි, මානවිනයෙ ධම්මෙ යනු මානය දුරුකරන ධර්මයේයි, උපසමය (සංසිඳීමට ප්රතිපක්ෂවූයේ අනුපසමෝයි, නොසංසිඳෙන අරුතින් සසරම අනුපසමොයි, ඔපසමිකෙ යනු සංසිඳීම ඇතිකරවන නිවන ඇසුරු වූ දෙයෙහියි, අවිද්යාවෙන් ගියේ යුක්තවූයේයි අවිජ්ජාගතා නමි. අවිද්යා නමැති අණ්ඩකොෂයෙන් වටකරන ලද බැවින් බිජුවටක් වැනි වූවෝයි අණ්ඩභූතා නමි. හාත්පසින් වසන ලද බැවින් පරියොනද්ධා යි. අවිජ්ජාවිනයෙ යනු අරහත්බව අවිජ්ජාවිනයයි කියනු ලැබේ, එය ඇසුරුවූ ධර්මය දෙසනවිටය යන අරුත්ය, මෙසේ මේ සූත්රයෙහි සතර තැනක සසර ද සතරතැනක නිවන ද කියන ලදි.