1. කේසි සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි කෙසී යනු ඔහුගේ නමයි, අසුන් දමනයෙහි ඇදුරු වූයේයි අස්සදම්මසාරථී නමි. සණ්හෙනපි දමෙති යනාදියෙහි ඔහුට සුදුසු වූ සත්කාරකොට මනා බොජුන් කවා මිහිරි පැන් පොවා මෘදු වචන කියා දමනය කරන්නේ සණ්හෙන දමෙති නමි, දණ (හිස) බැඳීම්, මුවබැඳීම් ආදියෙන් මෙන්ම කෙවිටෙන් විදීම් කසයෙන් තැලීම් ඵරුෂ වචන කීමෙන් ද දමනය කරන්නේ ඵරුසෙන දමෙති නමි, කලින් කලට මේ දෙකම කරන්නේ සණ්හඵරුසෙන දමෙති නමි.
2. අස්සාජානීය - ජව සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අජ්ජවෙන යනු සෘජු බවිනි, ජවෙන යනු පද වේගයෙනි, ඛන්තියා යනු ඉවසන ක්ෂාන්තියෙනි, සොරච්වෙන යනු පිරිසුදු බව ඇති ශීලයෙනි, පුද්ගල ගුණාංගයන්හි ජවෙන යනු ඥාන වේගයෙනි, මෙහි සෙස්ස පැහැදිලිමය.
3. අස්සාජානීය - පතොද සූත්‍ර වර්ණනාව
තුන්වැන්නෙහි පතොදච්ඡායං යනු විදීම සඳහා එසවූ කෙවිටේ සෙවනැල්ලයි, සංවිජ්ජති යනු මවිසින් වේගය ගතයුතු යයි සැලකීම් වශයෙන් තැතිගනියි, සංවෙගං ආපජ්ජති යනු වේගයට එළඹෙයි, ලොමවෙධවිද්ධො යනු කෙවිටි පහරින් රෝමකූපයෙහි විදිනු ලැබීමයි, චම්මවෙධ විද්ධො යනු සම සිඳින්නා වූ කෙවිටි පහරින් විදිනු ලද්දේයි, අට්ඨිවෙධ විද්ධො යනු ඇට බිදෙන විදීමෙන් විදින ලද්දේයි, කායෙන යනු නාමකායයෙනි, පරමසච්චං යනු නිවනයි, සච්ඡිකරොති යනු දකියි, පඤ්ඤාය යනු විදර්ශනා සහගතමාර්ග ප්‍රඥාවෙනි.
4. නාග සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි අට්ඨිකත්වා යනු දැනුම ඇත්තේ වීයි, තිණවනින්නාද සදදානං යන මෙහි තිණව යනු දෙණ්ඩිම බෙරයයි, නින්නාද සද්ද යනු සියල්ල එකට මුසුවූ ශබ්දයයි, ඩංසා යනාදියෙහි ඩංසා යනු ඇටමැස්සෝයි, මකසා යනු මැස්සෝමයි, ඛීප්පඤ්ඤෙව ගන්තා හොති යනු සීල, සමාධි, පඤ්ඤා, විමුත්ති, විමුක්තිඤාණදස්සනයන් සපුරා ඉක්මණින්ම යන්නේ වෙයි.
5. ඨාන සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි ඨානානි යනු කරුණුයි (හේතුයි); අනත්ථාය සංවත්තති යනු අහිත පිණිස අවැඩ පිණිස පවතියි. මෙහිදී පළමුවැන්න වලකැණීම, මසුන්බැඳීම, ගෙවල්බිඳීම යනාදී භේද ඇති දුක් සහිත උවදුරු සහිත පාපකර්මය දතයුතුය, දෙවැන්න සමදිවිපැවතුම් ඇති ගිහියන්ගේ කසළ ඉවතලීම ආදී කර්මය ද හුණු කෙටීම, ගෙපියසි අපිරිසුදු තැන් හැමදීම ආදී කර්මයයි ද දතයුතුයි, තෙවැන්න රහමෙර පානය සුවඳ විලවුන් මල්දම් පැලදීම ආදී කර්මය හා ආස්වාද වශයෙන් පවතින ප්‍රාණඝාතය ආදී කර්මයයි ද දතයුතුය, සිවුවැන්න දහම් ඇසීම සඳහා යන කල්හි පිරිසුදු වස්ත්‍ර හැඳීම මල් සුවඳාදිය රැගෙන යාම, චෛත්‍ය වන්දනාව, බෝධි වන්දනාව, මිහිරි දහම්කථා ඇසීම, පන්සිල් සමාදන්වීම යන මේ ආදියෙහි සොම්නසින් යුක්ත වූ කුශල කර්මයයි දතයුතුය, පුරිසත්ථාමෙ යනු පුරුෂයාගේ ඥාන ශක්තියේයි, සෙසු දෙක්හි ද මේ ක්‍රමයමයි:
6. අප්පමාද සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි යතො ඛො යනු යම් විටෙක යනුයි, සම්පරායිකස්ස යනු මෙය දේශනා මාත්‍රයකි, ක්ෂීණාශ්රවයා වනාහි පරලොවින් ද, ඉහාත්මයෙහි ද මරණයට බිය නොවෙයි, හෙතෙම මෙහි අදහස් කරන ලදි: ඇතමෙක් “සම්මාදිට්ඨි භාවිතා” යන වචනයෙන් සෝවාන් වූවහු ආදිකොට සියල්ලෙන්ම අදහස් කරන ලදහයි කියත්.