9. උජ්ජාය සූත්‍ර වර්ණනාව
නවවැනි සූත්‍රයෙහි සංඝාතං ආපජ්ජන්ති යනු වධයට මරණයට පැමිණෙති යනුයි. නිච්චදානං යනු සලාක බතයි. අනුකූලයඤ්ඤං යනු අපගේ පියවරුන් විසින් මුත්තණුවරුන් විසින් දෙන ලද බැවින් මෙසේ කුලයෙන් කුලයට වශයෙන් යාග කළ යුතුය, දිය යුතුය යන අර්‍ත්‍ථයි. අස්සමෙධං යනාදියෙහි මෙහි අශ්වයාම මේධය (යාග පුජාව) වේනුයි අස්සමෙධ නමි. විශේෂ යාග දෙකකින් පිදියයුතු, එකුන්විසි යාග කණු ඇති, බිම ද මිනිසුන් ද හැර ඉතිරි සියලු සම්පත් හා දක්ෂිණාව ඇති යාගයට මෙය නමෙකි. මෙහි පුරුෂයා පූජා භාණ්ඩය වේ යයි පුරිසමෙධ නමි. විශේෂ යාග සතරකින් යැදිය යුතු බිම සමඟ අශ්වමෙධයෙහි කියන ලද සම්පත් හා දක්ෂිණා ඇති යාගයට මේ නමෙකි. මෙහි සම්මය (යාග උපකරණයක්) පාසය වූයේනුයි සම්මාපාසොයි දිනපතා සම්මය විසිකොට (දමා ගසා) එය වැටුණු තැන ඉවත්කළහැකි යාග කණු ආදියෙන් වේදිකාව තනා සරස්වතී නදියෙහි ගිලෙන තැන සිට පිළිලොම්ව යන්නහු විසින් යැදිය යුතු සියලු යාගයට මෙය නමෙකි. මෙහි ශක්තිය බොත්නුයි වාජපෙය්‍යං නමි. එක් උත්කෘෂ්ට යාගයකින් ද සතුන් සතළොස් දෙනෙකුගෙන් ද යැදිය යුතු වූ, බෙලි (යාග) කණුව ඇති, සතළොස, සතළොස බැගින් වූ දක්ෂිණා ද ඇති යාගයට මේ නමකි. මෙහි අගුල් නැත්තේනුයි නිරග්ගළො නමි. උත්කෘෂ්ට යාග නවයකින් යැදිය යුතු වූ, බිම සහ පුරුෂයන් ද සමග අස්සමෙධයෙහි කියන ලද සම්පත් හා දක්ෂිණා ඇති සබ්බමෙධ නම් වූ පර්‍ය්‍යාය නාමය ඇති අශ්වමෙධ විකල්පයට මේ නමෙකි. මහාරම්හා යනු මහත් කෘත්‍ය, මහත් කළයුතුදැයි. සත්ත්ව ඝාතනයේ මහත්බව නිසා ද මහාරම්හා යනු වේ. න තෙ හොන්ති මහප්ඵලා යනු මෙහි ඉතිරි නැති යන අරුත්හි ඉතිරි සහිත බවින් කරන ලදි. එබැවින් යහපත් ප්‍රතිඵලයෙන් නිෂ්පල වෙත්මැයි අර්‍ත්‍ථයි. මෙය ද පරපණ නැසීම අරභයාම කියන ලදි. එහි අතරතුර යම් දානයක් දෙනු ලැබේද මේ සත්ත්ව ඝාතනයෙන් නැසුණු බැවින් මහත්ඵලයක් නොවෙයි. අඩු ප්‍රතිඵලයක් වේ යයි අරුත්ය. හඤ්ඤරෙ යනු විනාශ කරති. යජන්ති අනුකූලං සදා යනු යමෙක් වෙනත් අනුකූල වූ යාගයක් කරත්ද පූර්‍වපුරුෂයන් විසින් යාගකරන ලද බැවින් පශ්චිම පුරුෂයෝ ද යාග කරතියි අර්‍ත්‍ථයයි. සෙය්‍යො හොති යනු විශේෂයක්ම වෙයි. න ජාපියො යනු කිසි පවක් නොවෙයි.
10. උදායී සූත්‍ර වර්ණනාව
දසවැනි සූත්‍රයෙහි අභිසඞ්ඛතං යනු රැස්කරන ලදයි. නිරාරම්හං යනු ප්‍රාණඝාත රහිතවූයි. යඤ්ඤං දෙය්‍යධර්‍මය (දාන වස්තුව) යි. එය යැදියයුතු බැවින් යඤ්ඤ යයි කියනු ලැබේ. කාලෙන යනු සුදුසු කාලයෙනි. උපසංයන්ති යනු එළඹෙත්. කාලංගතිං යනු සංසාර කාලය මෙන්ම සංසාර ගතියද ඉක්මවන ලද්දාවූයි. පුඤ්ඤස්ස කොවිදා යනු චතුභූමික පුණ්‍යයෙහි දක්ෂ වූවෝයි. යඤ්ඤෙ යනු ප්‍රකෘති දානයෙහියි. සද්ධෙ යනු මතක දානයෙහියි, භව්‍යං කත්වා යනු යාග කළයුතු දෙයසනධර්‍මය පිරිනමායි. සුඛෙත්තෙ බ්‍රහ්මචාරීසු යනු බ්‍රහ්මචාරී සංඛ්‍යාත වූ මනා ක්ෂෙත්‍රයෙහිය යන අරුතය. සුප්පත්තං යනු මනාව පැමිණියි. දක්ඛිණෙය්‍යෙසු යං කතං යනු දක්‍ෂිණාවට සුදුසුවූවන් කෙරෙහි පිරිනමන ලද යමක් වේ ද එය මනාව හෝමකළ මනාව යාගකළ මනාව පැමිණි දෙයකැයි අරුත්ය. සද්ධො යනු බුද්ධ, ධම්ම, සංඝ ගුණ අදහන බැවින් ශ්‍රද්ධාව ඇත්තේයි. මුත්තෙන චෙතසා යනු අත්හළ සිතෙනි. මෙයින් ඔහුගේ ඉවත් වූ ත්‍යාගවත් බව දක්වයි.
සතරවැනි චක්ක වර්‍ගයයි.
5. රොහිතස්ස වර්ගය
1. සමාධිභාවනා සූත්‍ර වර්ණනාව
පස්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි ඤාණදස්සනපටිලාභාය යනු දිබ්බචක්ඛු ඥානදර්‍ශනය ලැබීම සඳහායි. දිවාසඤ්ඤං අධිට්ඨාති යනු දහවල්ය යන මෙබඳු සංඥාවක් අදිටන් කළේය. යථා දිවා තථා රත්තිං යනු යම්සේ දහවලෙහි අලෝක සංඥාව මෙනෙහි කරන ලදද එසේත්ම එම රැය ද මෙනෙහි කරයි. දෙවැනි පදයෙහි ද මෙම ක්‍රමයමැයි. සප්පභාසං යනු දිබ්බචක්ඛුඤාණාලොකය සමඟ වූ ආලෝකයයි. ආලෝකයට සමාන වූ කිසිවක් කරන ලදැයි යන අර්‍ත්‍ථය මෙහිදී නොසැලකිය යුතුය. මෙහිදී දිබ්බචක්ඛුඤාණාලොකයම අදහස් කරන ලදි.
විදිතා යනු ප්‍රකටවීයි. කෙසේනම් වේදනාවෝ ප්‍රකටව උපදිත් ද ප්‍රකටව නැතිවෙත්ද? මෙහිදී භික්ෂුව (අරමුණට නිසි ) වස්තුව ගනියි. අරමුණ ගනියි, ඔහුට හාත්පසින් ගන්නා ලද වස්තු හා අරමුණු ඇති බැවින් ඒ වේදනාවෝ මෙසේ ඉපිද මෙසේ සිට මෙසේ නිරුද්ධ වෙතැයි ප්‍රකටව උපදිත් ප්‍රකටව සිටිත් ප්‍රකටව දුරුවෙත් නමි. සංඥාවිතර්‍කයන්හි ද මේ ක්‍රමයමයි.
උදයබ්බයානුපස්සී යනු හටගැනීම ද විනාශය ද දකින්නේයි. ඉතිරූපං යනු රූපය මෙබඳු රූපය මෙපමණකි මෙයින් මත්තෙහි නැත යනුයි. ඉති රූපස්ස සමුදයො යනු රූපයේ හටගැනීම මෙසේය යනුයි. අත්ථගමො යනු විනාශය අදහස් කරයි. වේදනාදියෙහි ද මෙම ක්‍රමයමයි. ඉදඤ්ච පන මෙතං භික්ඛවෙ සන්ධාය භාසිතං යනු මහණෙනි, මා විසින් පුණ්ණක ප්‍රශ්නයෙහිදී “සඞ්ඛාය ලොකස්මිං” ආදිය කියන ලද්දේ ද එය මෙම ඵලසමාපත්තිය සඳහා කියන ලදැයි අර්ථයි.