1. චක්ක සූත්‍ර වර්ණනාව
සිවුවැනි වර්‍ගයෙහි පළමුවැනි සුත්‍රයෙහි චක්කානි යනු සම්පත්තීහුය. චතුචක්කං වත්තති යනු සතර සම්පත්ති චක්‍ර ඇත, පවතී, ගැටෙයි යනුම අර්‍ත්‍ථයි. පතිරූපදෙසවාසො යනු යම්තැනක සිවු පිරිස දක්නා ලැබේද එබඳුවූ සුදුසු දෙසෙක විසීමයි. සප්පුරිසුපස්සයො යනු බුද්ධාදී සත්පුරුෂයන්ගේ ඇසුරු කිරීමයි, සේවනය කිරීමයි. අත්තසම්මාපණිධි යනු තමා මනාව පිටුවීමයි. ඉදින් පෙර අශ්‍රද්ධාදියෙන් යුක්තවූයේ වෙයිද ඒවා අතහැර ශ්‍රද්ධාදීන්හි පිහිටුවීමයි. පුබ්බෙ ච කතපුඤ්ඤතා යනු පෙර රැස්කළ කුසල් ඇති බවයි. මෙහි මෙයම ප්‍රමාණවත්ය. යමකු විසින් ඥානසම්ප්‍රයුක්ත සිතකින් කුශල කර්‍මයක් කරන ලද්දේ වේද, ඒ කුශලයම එම පුද්ගලයා සුදුසු දෙසෙකට පමුණුවයි. සත්පුරුෂයන් ඇසුරු කරවයි. ඒ පුද්ගලයාම තමා මනාව පිහිටුවයි. පුඤ්ඤකතො යනු කරන ලද පින් ඇත්තේයි. සුඛඤ්වෙත්‍ථ අධිවත්තති යනු සැපය ද එම පුද්ගලයා වෙත පැමිණෙයි. පතුරුවා සිටියේ යන අර්‍ත්‍ථයයි.
2. සඞ්ගහවත්ථු සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි සඞ්ගහවත්ථුති යනු සංග්‍රහ කරවන්නා වූ (සැලකුම් ඇති කරවන්නා වූ) කරුණුයි. දානඤ්ච යනාදියෙහි ඇතමෙක් දානයෙන්ම සැලකිය යුත්තේ වෙයි. ඔහුට දානයම දියයුතුය. පෙය්‍යවජ්ජං යනු ප්‍රිය වචනයයි. ඇතමෙක් වනාහි “මෙතෙම දියයුත්තනම් දෙයි. එක් එක් වචනයෙන් සියල්ල තවරා වනසයි මොහුගේ දානය කිමෙක්දැ”යි කියන්නේ වෙයි. ඇතමෙක් “මෙතෙම කිසිදු දානයක් නොදෙයි, කියන්නේ තෙලෙන් මෙන් තවරයි. මෙතෙම දේවා හෝ නොදේවා මොහුගේ වචනයම දහසක් අගීය”යි කියන්නේ වෙයි. මෙබඳු වූ පුද්ගලයා දානය නොකැමති වෙයි. ප්‍රියවචනම කැමති වෙයි. ඔහුට ප්‍රියවචනයම කිවයුතුය. අත්‍ථචරියා යනු යහපත (වැඩ) වඩවන කථාවයි. ඇතමෙක් වනාහි දානය ද ප්‍රිය වචනය ද කැමති නොවෙයි. තමන්ට හිතවැඩ සලසන කථාවම කැමති වෙයි. මෙබඳු වූ පුද්ගලයාට මෙය ඔබ විසින් කළයුතුය මෙය නොකළයුතුය මෙබඳු පුද්ගලයා ඇසුරු කළ යුතු ය. මෙබඳු පුද්ගලයා නොසෙවිය යුතුයයි මෙසේ හිතවැඩ සලසන කථාවම කිවයුතුය. සමානත්තතා යනු සමවු සුවදුක් ඇති බවයි. ඇතමෙක් වනාහි දානාදිය අතුරෙන් එකක්වත් කැමති නොවෙයි. ඒකාසනයෙහි හිඳීම, එක් පළඟක නිදීම, තනිව බොජුන් ගැනීම යයි මෙසේ සමාන සුවදුක් ඇතිබවම කැමතිවෙයි. හෙතෙම ඉදින් ජාතියෙන් (උපතින්) ගිහියකුට ශීලයෙන් පැවිද්දෙකුට සමාන වෙයිද, ඔහුට මෙම සමානත්තතාව කළයුතුය. තත්‍ථ තත්‍ථ යථාරහං යනු ඒ ඒ ධර්‍මයන්හි කැමැති පරිද්දෙන් සමානාත්මතාවය යන අර්‍ත්‍ථයයි. රථස්සාණීව යායතො යනු යම්සේ යන්නාවූ රියට කඩ ඇණය සඞ්ග්‍රහයක් වේද රියට උපකාරවත් වේද එසේ මෙම සංග්‍රහයෝ ලෝකයට උපකාර වෙත්. න මාතා පුත්තකාරණා යනු ඉදින් මව මෙම සංග්‍රහයන් පුතුට නොකරයි ද පුතු කරණ කොටගෙන බුහුමනක් හෝ පිදීමක් නොලබන්නේය. සඞ්ගහා එතෙ යනු එක්කිරීම් (උපයොග) අර්‍ත්‍ථයෙන් කර්‍මවිභක්ති වචනයි. සඞ්ගහෙ එතෙ යනුද පාඨයි. සමවෙක්ඛන්ති යනු මනාව බලත්, පාසංසා ච භවන්ති යනු පැසසිය යුතුද වෙත්.
3. සීහ සූත්‍ර වර්ණනාව
තෙවැනි සූත්‍රයෙහි සීහො යනු තිණසීහ, කාළසීහ, පණ්ඩුසීහ හා කෙසරසීහ යනුවෙන් එන සිවුවැදෑරුම් සිංහයෝයි, ඔවුනතුරින් තිණ සිංහයා පරෙවි පැහැය ඇති දෙනක සමාන වූයේ තණ බුදියි. කාළ සිංහයා කලුදෙනක සමානවූයේ තණ බුදින්නේම වෙයි. පණ්ඩු සිංහයා, පරඬලාපත් පැහැය ඇති දෙනක සමාන වූයේ මස් බුදියි. කේසර සිංහයා, ලතු පිරියම් කළාක් මෙන් වූ මුවින් ද නගුට අගින් ද සිවුපා කෙළවරින් ද යුක්ත වූයේයි. ඔහුගේ හිසමත්තේ සිට ලතු පින්සලෙන් කළාක් මෙන් වූ රේඛා තුනක් පිටමැදින් ගොස් කලවා අතරෙහි දකුණට කැරකී සිටියේ වෙයි. ඔහුගේ කඳෙහි ලක්ෂයක් වටිනා කම්බිලියකින් වටකළාක් මෙන් වූ කෙසුරුබර වෙයි. සෙසුතැන් පිරිසුදු හැලිපිඬු සක්සුණු පිඬු පැහැය ඇත්තේ වෙයි. මේ සිවුවැදෑරුම් සිංහයන් අතුරෙහි මෙහිදී මෙම කේසර සිංහයා අදහස් කරන ලදි.
මිගරාජා යනු සියලු මෘග සමුහයාගේ රජුයි. ආසයා යනු රන් ගුහාවෙන් හෝ රිදීමැණික් පළිඟු මනොසිලා ගුහාවෙන් හෝ වසන තැනින් නික්මේ යයි කියන ලද්දේ වෙයි. මෙතෙම (ගුහාවෙන්) නික්මෙන්නේ කරුණු සතරකින් නික්මෙයි. අඳුරෙන් පෙළුණේ ආලෝකය සඳහා හෝ මළමූවලින් පෙළුණේ ඒවා ඉවතලනු සඳහා හෝ කුසගින්නෙන් පෙළුණේ ගොඳුරු සඳහා හෝ කාමයෙන් පෙළුණේ මෙවුන්දම් සෙවුනා සඳහා හෝ යනුවෙනි. මෙහි වනාහි ගොදුරු සඳහා නික්මෙන කේසර සිංහයා අදහස් කරන ලදි.
විජම්හති යනු රත් තලාවක හෝ රිදී මැණික් පළිඟු මනෝසිලා තලාවන්ගෙන් එකෙක හෝ පසු පා දෙක සමව පිහිටුවා ඉදිරිපා දෙක ඉදිරියට දික්කොට සිරුරේ පසුකොටස ඇද ඉදිරි කොටසට ගෙන පිට නමා ගෙල ඔසවා ගෙන හඬක් කරන්නාක් මෙන් නාස්පුඬු පොලා සිරුරෙහි ලැගුණු දූවිලි ගසා දමමින් කෙසරු සලයි. කෙසරු සලන බිමෙහි ද තරුණ වස්සකු මෙන් ඔබමොබ දුවයි. දුවන්නා වූ ඔහුගේ සිරුර අඳුරෙහි කැරකෙන ගිනිපෙනෙල්ලක් මෙන් හැඟෙයි.
අනුචිලොකෙති යනුවෙන් කුමක්නිසා වටපිට බලයිද අනුන් කෙරෙහි දයාව නිසාය. ඔහු සිංහනාදය නගනවිට පර්‍වත තටාකාදී වූ විස්මස්ථානයන්හි හැසිරෙන ඇත් ගෝණ මීහරක් ආදීවූ ප්‍රාණීහු ප්‍රපාතයෙහි ද ආවාටයෙහි ද වැටෙත්. ඔවුනට දයාවෙන් හාත්පස බලයි. කිම, අනුන්ගේ මස්බුදින රුදුරු වූ මොහුගේ දයාවක් නම් ඇත්ද? එසේය ඇත. මරණ ලද බොහෝ දෙනාගෙන් මට කවර වැඩක්දැයි (සිතා) ගොදුරු සඳහා ද කුඩා ප්‍රාණින් නොගනියි. මෙසේ දයාව දක්වයි. මෙය කියන ලද්දේ වෙයි. “මම විසමස්ථානයන්හි වූ කුඩා සතුන් මරණයට පත් නොකෙළෙමි” යනුවෙනි.