5. අග්ගපඤ්ඤත්ති සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි අග්ගපඤ්ඤතතියො යනු උතුම් පැනවීම්ය, අත්තභාවිනං යනු ආත්මභාව ඇත්තවුන්ගේයි, යදිදං රාහු අසුරින්දො යනු යම් මේ රාහු අසුරෙන්ද්රයෙක් වේ ද, හෙතෙම අග්රය, රාහු අසුරෙන්ද්රයා, වනාහි යොදුන් සාරදහස් අටසියයක් උස්ය. ඔහුගේ බාහු අතරත යොදුන් දොළොස් සියයකි. අත්තල පාදතලයන්ගේ මහත්බව යොදුන් තුන්සියයකි. ඇගිලි පුරුක් යොදුන් පණසකි. බැම අතර යොදුන් පණසකි. නලළ යොදුන් තුන්සියයකි. හිස යොදුන් නවසියයකි. කාමභොගින යදිදං මන්ධාතා යනු යම් මේ මන්ධාතු නම් රජෙක් වේ ද මෙතෙම දිව්යමයවූද මානුෂිකවූද කාමයන් පරිභොග කරන සත්ත්වයන් අතුරෙන් අග්ර නම් වෙයි. මෙතෙම අසංඛ්ය ආයුෂ ඇති මිනිසුන් අතර ඉපිද කැමති කැමති විට රන්වැසි වස්වන්නේ මානුෂික කාමයන් බොහෝ කලක් වින්දේය. දෙව්ලොවෙහි ඉන්ද්රයන් (ශක්රයන්) සතිසකගේ ආයුෂ ප්රමාණය යම්තාක් වේ ද ඒතාක් කාමයන් පරිභොග කළේ යයි කාමභෝගීන් අතුරෙහි අග්රයා නම් වූයේය. ආධිපතෙය්යානං අධිපතිතැන දෙටුතැන කරන්නවුන්ගේයි, තථාගතො අග්ගමක්ඛායති යනු ලෞකික ලෝකෝත්තර ගුණයන්ගෙන් තථාගතයන් වහන්සේ අග්රය, ශ්රේෂ්ඨය, උත්තම යයි කියනු ලැබේ.
ඉද්ධියා යසසා ජලං යනු දිව්ය සම්පත්තීන්ගේ සමෘද්ධියෙන් ද පරිවාර සංඛ්යාත යසසින් ද බබලන්නවුන්ගේයි, උද්ධං තිරියං අපාචිනං යනු මත්තෙහි, මැද හා යටයි, යාවතාජගතො ගති යනු යම්තාක් ලොව හටගැනීම වේ ද (ඒතාක්ය).
6. සොඛුම්ම සූත්ර වර්ණනාව
සයවැන්නෙහි සොබුම්මානි යනු සියුම් ලකුණු අවබෝධ කරන්නා වූ ඥානයෝයි, රූපසොබුම්මෙන සමන්නාගතො හොති යනු රූපයෙහි සිනිදු සියුම් ලකුණු විමසන්නා වූ නුවණින් යුක්තවූයේ වෙයි. පරමෙන යනු උතුම් වූ දෙයිනි, තෙන ච රූපසොබුම්මෙන යනු අනුලොම්බව දක්වා පැමිණි සියුම් ලකුණු විමසන ඒ ඥානයෙනි, න සමනුපස්සති යනු නැති බැවින්ම නොදකියි. න පත්ථෙති යනු නැති බැවින්ම නොපතයි. වෙදනා සොබුම්මාදියෙහි ද මේ ක්රමයමැයි,
රූපසොබුම්මතං ඤත්වා යනු රූපස්කන්ධයේ සිනිඳු සියුම් ලකුණු විමසන්නා වූ ඥානයෙන් සියුම්බව දැනයි: වෙදනානං ච සම්භවං යනු වේදනාස්කන්ධයේ ද හටගැනීම දැනයි, සඤ්ඤා යතො ච සමුදෙති යනු යම් කරුණකින් සංඥා ස්කන්ධය හටගනියිද උපදියිද එයද දැනයි. අත්ථං ගච්ඡති යත්ථ ච යනු යම්තැනක නිරුද්ධවේද එයද දැනයි, සංඛාරෙ පරතො ඤත්වා යනු සංස්කාරස්කන්ධය අනිත්ය බැවින් විනාශවන ස්වභාවයෙන් අන්යත්වයෙන් දැනයි, මේ පදයෙන් අනිච්චානුපස්සනාව කියන ලදි, දුක්ඛතො නො ච අත්තතො යන මෙයින් දුක්ඛ, අනත්ත අනුපස්සනා කියන ලදි. සන්තො යනු කෙලෙස් තැවුලෙන් ශාන්ත වූයේයි. සන්තිපදෙ රතො යනු නිවනෙහි ඇළුණේයි. මෙසේ සූත්රාන්තයෙහි සිවුතැනක විදර්ශනාවම කියන ලදි. ගාථාවන්හි ලෝකෝත්තර ධර්මය ද (කියන ලදි).
7-9. අගති ආදි සූත්ර වර්ණනා
සත්වැන්නෙහි අගතිගමනානි යනු ගතියට නොයෑම්ය, ඡන්දාගතිං ගච්ඡති යනු ඡන්දයෙන් අගතියට යයි, නොකළයුත්තක් කරයි. සෙස්සෙහි ද මේ ක්රමයමැයි, ඡන්දා දොසා භයා මොහා යනු ඡන්දයෙන් ද්වේශයෙන්, බියෙන් හා මුළාවීමෙනි, අතිවත්තති යනු ඉක්මවයි, අටවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය, නවවැන්නෙහි එසේ අවබෝන්ධ කරන්නන්ගේ වශයෙන් ක්රම දෙකකින් කියන ලදි.
10. භත්තුද්දෙසක සූත්ර වර්ණනාව
දසවැන්නෙහි භත්තුද්දෙසකො යනු ලහබත් ආදිය උදෙසන්නායි. කාමෙසු අසංයතා යනු වස්තුකාම ක්ලේශ කාමයන්හි අසංවර වූවෝයි, පරිසක්කසාවො ච පනෙස වුච්චති යන මෙය ද මෙබඳු වූ යම් පිරිසක් වේ ද එය පිරිස් කසල නමැයි කියනු ලැබේය යන අර්ත්ථයයි. සමණෙන යනු බුද්ධ ශ්රමණයා විසිනි, පරිසාය මණ්ඩො පනෙස වුච්චති යන මෙය මෙබඳු වූ පිරිස පසන් බැවින් පරිසමණ්ඩ යයි කියනු ලැබේ.