3. පධාන සූත්‍ර වර්ණනාව
තුන්වැන්නෙහි සම්මප්පධානානි යනු මනා (සොඳුරු) උත්සාහයෝ, උතුම් වීර්යයෝයි. සම්මප්පධානා යනු පිරිපුන් වීර්ය ඇත්තාහුයි, මාරෙධෙය්‍යාධිභූනො යනු ත්‍රෛභූමික සංසාර සංඛ්‍යාත මාරවසඟය මැඩපවත්වා ඉක්මවා සිටියාහුයි. තෙ අසිතා යනු ඒ ක්ෂීණාශ්‍රවයෝ අනිස්සිත (අසුරු නොකළහ) නම් වෙති. ජාතිමරණභයස්ස යනු උපත ද මරණය ද නිසා උපදනා බියේයි. ජාතිමරණ සංඛ්‍යාතවූම බියේ හෝයි. පාරගු යනු එතෙරට ගියාහුයි, නෙ තුසිතා යනු ඒ රහතන් වහන්සේලා සතුටුවූවාහු නමි. ජෙත්වා මාරං ස වාහනං යනු සේනාව සහිත මාරයා පරදා සිටියාහුයි, තෙ අනෙජා යනු ඒ රහතන් වහන්සේලා තෘෂ්ණා සංඛ්‍යාත වූ මෙහෙයවීමෙන් නොමුළාවූවාහු නිශ්චල වූවාහු නමි. නමුවිබලං යනු මාර බලයයි. උපාතිවත්තා යනු ඉක්මවූවාහුයි. තෙ සුඛිතා යනු ඒ රහතන් වහන්සේලා ලෝකෝත්තර සුවයෙන් සුවපත් වූවාහු නමි. එහෙයින්ම කීය.
රහතන් වහන්සේලා ඒකාන්තයෙන්ම සුවපත් වූවාහු ය, උන්වහන්සේලාගේ තෘෂ්ණාව නොදක්නා ලැබේ. අස්මිමානය සිඳිණ. මෝහය නැමැති දැල පුපුරුවා හරින ලදි.
4. සංවරප්පධාන සූත්‍ර වර්ණනාව
සතරවැන්නෙහි පධානාති යනු වීර්යයෝයි. සංවරප්පධානං යනු ඇස් ආදිය සංවර කරන්නහුට උපන් වීර්යයයි. පහානප්පධානං යනු කාම විතර්කාදීන් අත්රින්නහුට උපන් වීර්යයයි. භාවනාපධානං යනු බොධ්‍යංගයන් වඩන්නහුට උපන් වීර්යයයි. අනුරක්ඛනප්පධානං යනු සමාධි නිමිත්ත ආරක්ෂා කරන්නහුට උපන් වීර්යයයි.
විවෙකනිස්සිතං යනාදියෙහි විවෙක, විරාග, නිරොධ යන තුනම නිවනට නමිය. නිවන වනාහි කෙලෙසුන්ගෙන් වෙන්වීම බැවින් විවේකයයි. ඊට පැමිණ රාගාදීහු නොඇලෙතියි විරාග නමි. නිරුද්ධ වෙත්නුයි නිරෝධයයි. එබැවින් විවෙකනිස්සිතං යනාදියෙහි අරමුණු වශයෙන් හෝ වටහාගතයුතු වශයෙන් හෝ නිවන ඇසුරු කොට ඇත යන අර්ථයයි.
වොස්සග්ගපරිනාමිං යන මෙහි පරිච්චාග වොස්සග්ගය ද පක්ඛන්දන වොස්සග්ගය ද යනුවෙන් වොස්සග්ග දෙකකි. එහි විදර්‍ශනා තදංග වශයෙන් කෙලෙසුන් ද ස්කන්ධයන් ද අත්හරියි ද එය පරිච්චාග වොස්සග්ගයයි. මාර්ගය අරමුණු වශයෙන් නිවනට පනී (එළඹේ) නුයි පක්ඛන්ධන වොස්සග්ගයයි. එහෙයින් වොස්සග්ගපරිනාමිං යනු යම්සේ වඩනු ලබන සති සම්බොධ්‍යංගය වොස්සග්ගය (අත්හැරීම) සඳහා මුහුකුරා යයි ද විදර්‍ශනා බවට හා මාර්‍ග බවට පැමිණෙයි ද මෙසේ එය වඩයි යනු මෙහි අර්‍ත්‍ථයයි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි, භද්දකං යන ලබන ලදයි, අට්ඨික සංඥාදි වශයෙන් එළැඹි සමාධියම සමාධිනිමිත්තංයි කියනු ලැබේ. අනුරක්ඛති යනු පරිච්චාග වොස්සග්ගය සමාධියට බාධාකර ධර්‍මයන් වූ රාග, දෝස, මෝහයන් පිරිසිදු කරමින් ආරක්ෂා කරයි. මෙහිද අට්ඨික සංඥාව ආදී සංඥා පසම කියන ලදි. මෙතැන්හිදී දස අසුභයන් ද විස්තර කොට කිවයුතුය. ඔවුන්ගේ විස්තරය විසුද්ධිමග්ගයෙහි කියන ලද්දේමය. ගාථාවෙහිදී සංවරාදි නාමයෙන් සංවරාදිය උපදවන්නා වූ වීර්‍ය්‍යයම කියන ලදි. ඛයං දුක්ඛස්ස පාපුණෙ යනු දුක් නැතිකිරීම් සංඛ්‍යාත රහත්බවට පමුණුවන්නේය.
5. අග්ගපඤ්ඤත්ති සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි අග්ගපඤ්ඤතතියො යනු උතුම් පැනවීම්ය, අත්තභාවිනං යනු ආත්මභාව ඇත්තවුන්ගේයි, යදිදං රාහු අසුරින්දො යනු යම් මේ රාහු අසුරෙන්ද්‍රයෙක් වේ ද, හෙතෙම අග්‍රය, රාහු අසුරෙන්ද්‍රයා, වනාහි යොදුන් සාරදහස් අටසියයක් උස්ය. ඔහුගේ බාහු අතරත යොදුන් දොළොස් සියයකි. අත්තල පාදතලයන්ගේ මහත්බව යොදුන් තුන්සියයකි. ඇගිලි පුරුක් යොදුන් පණසකි. බැම අතර යොදුන් පණසකි. නලළ යොදුන් තුන්සියයකි. හිස යොදුන් නවසියයකි. කාමභොගින යදිදං මන්ධාතා යනු යම් මේ මන්ධාතු නම් රජෙක් වේ ද මෙතෙම දිව්‍යමයවූද මානුෂිකවූද කාමයන් පරිභොග කරන සත්ත්වයන් අතුරෙන් අග්‍ර නම් වෙයි. මෙතෙම අසංඛ්‍ය ආයුෂ ඇති මිනිසුන් අතර ඉපිද කැමති කැමති විට රන්වැසි වස්වන්නේ මානුෂික කාමයන් බොහෝ කලක් වින්දේය. දෙව්ලොවෙහි ඉන්ද්‍රයන් (ශක්‍රයන්) සතිසකගේ ආයුෂ ප්‍රමාණය යම්තාක් වේ ද ඒතාක් කාමයන් පරිභොග කළේ යයි කාමභෝගීන් අතුරෙහි අග්‍රයා නම් වූයේය. ආධිපතෙය්‍යානං අධිපතිතැන දෙටුතැන කරන්නවුන්ගේයි, තථාගතො අග්ගමක්ඛායති යනු ලෞකික ලෝකෝත්තර ගුණයන්ගෙන් තථාගතයන් වහන්සේ අග්‍රය, ශ්‍රේෂ්ඨය, උත්තම යයි කියනු ලැබේ.