1. චරන්ත සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්ගයේ පළමුවැනි සූත්‍රයේ අධිවාසෙති යනු සිතෙහි නංවා වාසය කරයි. න පජහති යනු අත් නොහරියි, න විනොදෙති යනු ඉවත් නොකරයි. න ව්යන්තිකරොති යනු පහවූ කෙළවර ඇති පිරිසිඳින ලද චක්‍රයක් නොකරයි. න අනභාවං ගමෙති යනු මුළුමනින් අභාවයට, නොවැඩීමට, විනාශයට නොයවයි. චරම්පි යනු හැසිරෙන්නේ ද යනුයි. අනාතාපි යනු වීර්ය නැත්තේයි. අනොත්තාපී යනු දොෂාරොපනයට බියරහිත වූයේයි. සත්තං යනු නිතරයි. සමිතං යනු නිරතුරුවයි. මෙසේ සියලු තැන අර්ථය දැන පුන්‍ය පක්ෂයෙහි කියන ලද්දට වෙනස් අයුරින් අර්ථය දතයුතුය.
ගාථාවන්හි ගෙහනිස්සිතං යනු කෙලෙස් ඇසුරු කළාවූයි. මොහනෙය්යස්සු යනු මුළාව දනවන අරමුණුවලයි. අභබ්බො යනු බඳුන් නොවූයේයි. පුට්ඨුං සම්බොධිමුත්තමං යනු අරහත් මාර්ග සංඛ්‍යාත උතුම් ඤාණය ස්පර්ශ කිරීමටය.
2. ශීල සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි සම්පන්නසීලා යනු පිරිපුන්සිල් ඇත්තෝයි. සම්පන්නපාතිමොක්ඛා යන පිරිපුන් පාමොක් ඇත්තාහුයි. පාතිමොක්ඛසංවරසංවුතා යනු ප්රාතිමොක්ෂ සංවර සීලයෙන් සංවර වූවාහු වසන ලද්දාහු යුක්ත වූවාහු වී වාසය කරවු. ආචාරගොචර සම්පන්නා යනු හැසිරීමෙන් ද ඇවතුම් පැවතුමෙන් ද යුක්ත වූවාහු එළඹුනාහු වෙවු. අණුමත්තෙසු වජ්ජෙසු යනු සුළු වූද දොෂයන්හියි. භයදස්සාවිනො යනු ඒ සුළු වූ වැරදි බියෙන් දක්නාසුලුවූයි. සමාදාය සික්ඛථ සික්ඛාපදෙසු යනු සියලු ශික්ෂා කොටස්වල ඒ ඒ සමාදන් වියයුතු දෙය සමාදන්ව රැගෙන හික්මෙවු. “සම්පන්න සීලානං -පෙ- සික්ඛා පදෙසා” යනුවෙන් මෙපමණ වූ දහම් විස්තර කිරීමකින් සමාදන් කරවා මෙන්ම ලබන ලද ගුණයන්හි ද පැසසීම කොට. දැන් මත්තෙහි කළ යුතු දෙය දක්වන සේක් “කිමස්ස” යනාදිය කී සේක. එහි- කිමස්ස යනු කුමක් වන්නේ ද යනුයි.
යතං වරෙ යනු යම්සේ හැසිරෙන්නේ සංවර වූවෙක් සංයත වූවෙක් වන්නේ ද එසේ හැසිරෙන්නේය. සියලු තන්හි මේ ක්‍රමයයි. අච්ඡෙ යනු හිඳින්නේය. යතමෙනං පසාරයෙ යනු යම් අඟපසඟක් දික්කරන්නේ ද එය සංවර වූවක් සංයම වූවක් කොට (දික් කරන්නේය). පතුරුවන්නේය. උද්ධං යනු මත්තෙහියි, තිරියං යනු මැදයි, අපාචිනං යනු යටයි, මෙපමණකින් අතීත වර්තමාන අනාගත පඤ්චස්කන්ධයෝ කියන ලද්දාහ. යාවතා යනු පිරිසිඳීමේ වචනයකි. ජගතො ගති යනු ලොව හටගැනීමයි. සමවෙක්ඛිතා ච ධම්මානං ඛන්ධානං උදයබ්බයං යනු සියලු ලොව අතීතාදී භේද ඇති මේ පඤ්චස්කන්ධ ධර්මයන්ගේ හටගැනීමද විනාශයද මනාව බලන ලද්දාහුයි. පඤ්චස්කන්ධයන්ගේ හටගැනීම බලන්නේ පස්විසි ලකුණු දකියි. විනාශය දකින්නේ පස්විසි ලකුණු දකී යයි කියන ලද්දා වූ සමපණස් ලකුණුවලින් මනාව දක්නා ලද්දාහු වෙත්. චෙතොසමථසාමීචිං යනු චිත්ත සමාධියට සුදුසු ප්‍රතිපදාවයි. සික්ඛමානං යනු පිළිපදිනු ලබන, පුරනු ලබන යන අර්ථයයි. පහිතත්තො යනු යවන ලද්දේයි. ආහු යනු කියත්, මෙහි සෙස්ස පැහැදිලිමය. මේ සූත්‍රයෙහි ශීල මිශ්‍රකය කියා ගාථාවන්හි ක්ෂීණාශ්රවයන් වහන්සේ කියන ලදී.
3. පධාන සූත්‍ර වර්ණනාව
තුන්වැන්නෙහි සම්මප්පධානානි යනු මනා (සොඳුරු) උත්සාහයෝ, උතුම් වීර්යයෝයි. සම්මප්පධානා යනු පිරිපුන් වීර්ය ඇත්තාහුයි, මාරෙධෙය්යාධිභූනො යනු ත්‍රෛභූමික සංසාර සංඛ්‍යාත මාරවසඟය මැඩපවත්වා ඉක්මවා සිටියාහුයි. තෙ අසිතා යනු ඒ ක්ෂීණාශ්රවයෝ අනිස්සිත (අසුරු නොකළහ) නම් වෙති. ජාතිමරණභයස්ස යනු උපත ද මරණය ද නිසා උපදනා බියේයි. ජාතිමරණ සංඛ්යාතවූම බියේ හෝයි. පාරගු යනු එතෙරට ගියාහුයි, නෙ තුසිතා යනු ඒ රහතන් වහන්සේලා සතුටුවූවාහු නමි. ජෙත්වා මාරං ස වාහනං යනු සේනාව සහිත මාරයා පරදා සිටියාහුයි, තෙ අනෙජා යනු ඒ රහතන් වහන්සේලා තෘෂ්ණා සංඛ්‍යාත වූ මෙහෙයවීමෙන් නොමුළාවූවාහු නිශ්චල වූවාහු නමි. නමුවිබලං යනු මාර බලයයි. උපාතිවත්තා යනු ඉක්මවූවාහුයි. තෙ සුඛිතා යනු ඒ රහතන් වහන්සේලා ලෝකෝත්තර සුවයෙන් සුවපත් වූවාහු නමි. එහෙයින්ම කීය.
රහතන් වහන්සේලා ඒකාන්තයෙන්ම සුවපත් වූවාහු ය, උන්වහන්සේලාගේ තෘෂ්ණාව නොදක්නා ලැබේ. අස්මිමානය සිඳිණ. මෝහය නැමැති දැල පුපුරුවා හරින ලදි.
4. සංවරප්පධාන සූත්‍ර වර්ණනාව
සතරවැන්නෙහි පධානාති යනු වීර්යයෝයි. සංවරප්පධානං යනු ඇස් ආදිය සංවර කරන්නහුට උපන් වීර්යයයි. පහානප්පධානං යනු කාම විතර්කාදීන් අත්රින්නහුට උපන් වීර්යයයි. භාවනාපධානං යනු බොධ්‍යංගයන් වඩන්නහුට උපන් වීර්යයයි. අනුරක්ඛනප්පධානං යනු සමාධි නිමිත්ත ආරක්ෂා කරන්නහුට උපන් වීර්යයයි.