5. අනුසෝත සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි ස්රෝතය අනුව යන්නේනුයි අනුසොතගාමී නමි. කෙලෙස් වසයෙන් ඔහුගේ විරුද්ධ ප්රතිපත්තියෙන් ප්රතිස්රෝතසට යන්නේනුයි පටිසොතගාමී නමි. ඨිතතෙනා යනු පිහිටි ස්වභාවය ඇත්තේයි. තිණ්ණො යනු සැඩපහර තරණයකොට සිටියේයි. පාරංගතො යනු පරතෙරට ගියේයි. ථලෙ තිට්ඨති යනු නිවන්තලයෙහි සිටියි. බ්රාහ්මණො යනු ශ්රේෂ්ඨ වූයේ නිර්දෝෂ වූයේයි. ඉධ යනු මෙලොවෙහියි. කාමෙ ච පටිසෙවති කිලෙසකාමයෙන් වස්තුකාමයන් ඇසුරු කරයි. පාපඤ්ච කම්මං කරොති යනු පරපණ නැසීම් ආදී පාපකර්මය ද කරයි. පාපඤ්ච කම්මං න කරොති යනු වෛරකර්ම පස (පස්පවු) නොකරයි. අයං වුච්චති භික්ඛවෙ ඨිතත්තො යනු මේ අනාගාමී පුද්ගලයා එලොවින් යළි පිළිසිඳ ගැනීම් වශයෙන් නොපැමිණීම් වශයෙන් සිටියේ නමි.
තණ්හාධිපන්නා යනු තෘෂ්ණාවට පිවිසියේ, ඇතුළත් වූයේයි හෝ තෘෂ්ණාවට පිවිසියේ ඇතුළත් වූයේයි. පරිපුණ්ණසෙඛො යනු ශික්ෂා සපිරීමෙහි සිටියේයි. අසහානධම්මො යනු නොපිරිහුණු ස්වභාවයයි. වෙතොවසිප්පත්තො යනු සිතෙහි වසඟ බවට පැමිණියේයි. මෙබඳු වූ ක්ෂීණාශ්රවයෙක් වෙයි. මෙහි වනාහි අනාගාමි පුද්ගලයා කියන ලදි. සමාහිතින්ද්රියො යනු මනාව පිහිටුවන ලද ඉඳුරන් සය ඇත්තේයි. පරොවරා යනු උසස් පහත් උතුම්ලාමක කුසල් අකුසල්ය යන අර්ථයයි. සමෙව්ව යනු නුවණින් එක්වීයි. විධූපිතා යනු විනාශ කරනලද හෝ දවන ලද්දාවූයි. වුසිතබ්රහ්මචරියො යනු මග බඹසර වැස සිටියේයි. ලොකන්තගු යනු තෙවැදෑරුම් ලෝකයේ කෙළවරට ගියේයි. පාරගතො යනු සය අයුරකින් පරතෙරට ගියේයි. මෙහි ක්ෂීණාශ්රවයන් වහන්සේම කියන ලදහ. මෙසේ සූත්රයෙහි ද ගාථාවන්හි ද සසර හා නිවනම කියනලදී.
6. අප්පස්සුත සූත්ර වර්ණනාව
සයවැන්නෙහි අනුප්පන්නො යනු නොපැමිණියේයි. සුත්තං යනාදියෙහි උභතොවිභංග, නිද්දෙස, ඛන්ධක, පරිවාර, සුත්තනිපාත, මංගලසුත්ත, රතනසුත්ත, නාලකසුත්ත, තුවටක යන සුත්රයෝ ද අන්ය වූ සුත්ර නාමය ඇති බුද්ධ වචනය සුත්ත යයි දතයුතුය. සියලුම ගාථා සහිත වූ සූත්ර ගෙය්ය යයි දතයුතුය. විශේෂයෙන් සංයුත්ත නිකායෙහි සගාථක වර්ගයයි. සියලු අභිධර්ම පිටකය ද ගාථා නැති සූත්රය ද අංග අටෙහි සංග්රහ නොවූ යම් වෙනත් බුද්ධ වචනයක් වේ ද, එය වෙය්යාකරණ යයි දතයුතුය. ධම්මපද ථෙරගාථා, ථෙරීගාථා සුත්ත නිපාතයෙහි නොසුත්ත නම් දරන සුද්ධික ගාථා ද ගාථා යයි දතයුතුය. සොමනස්ස ඤාණමය ගාථාවන්ගෙන් යුක්ත වූ දෙඅසූවක් සූතාන්තයෝ උදානයැයි දතයුතුය. වුත්තමිදං භගවතා යනාදී ක්රමයෙන් පැවති එකසිය දහයක් සූත්රාන්තයෝ ඉතිවුත්තක යයි දතයුත්තාහ. අපණ්ණක ජාතක ආදී වූ පන්සිය පණසක් ජාතකයෝ ජාතක යයි දතයුත්තාහ. චත්තාරොමෙ භික්ඛවෙ අච්ඡරියා අබ්භූතා ධම්මා ආනන්ද යනාදි ක්රමයෙන් පැවති සියලුම ආශ්චර්ය අද්භූතධර්ම ප්රතිසංයුත්ත වූ සූත්රාන්තයෝ අබ්භූත ධම්ම යැයි දතයුත්තාහ. චුල්ලවේදල්ල, මහාවේදල්ල, සම්මාදිට්ඨි, සක්කපඤ්හ, සංඛාරහාජනිය, මහාපුණ්ණම සූත්රාදියද දැනීම ද සතුට ද ලබමින් අසනලද සියලු සූත්රාන්තයෝ ද වේදල්ල යැයි දතයුතුය. න අත්ථමඤ්ඤාය න ධම්මමඤ්ඤාය යනු අර්ත්ථ කථාත් පාළියත් නොදැනයි. ධම්මානුධම්මපටිපන්නො යනු නව ලොවුතුරා දහමට අනුරූප ධර්මය වූ සීලය සහිත පූර්වභාග ප්රතිපදාවට පිළිපන්ණේ නොවෙයි. මේ ක්රමයෙන් සියලු වාරයන්හි අර්ථය දත යුතුය. මෙහි ප්රථම වාරයෙහි වනාහි ඇසූපිරූතැන් නැති දුශ්ශීලයා කියනලදී. දෙවැනි වාරයෙහි ඇසූපිරූ තැන් නැති ක්ෂීණාශ්රවයන් වහන්සේ කියන ලදහ. තෙවැන්නෙහි ඇසූපිරූ තැන් ඇති දුශ්ශීලයා ද සිවුවැන්නෙහි ඇසූපිරූ තැන් ඇති ක්ෂීණාශ්රවයන් වහන්සේ ද (කියන ලදහ.)
සීලෙසු අසමාහිතො යනු සීලයන් නොසපුරන්නේයි. සීලතො ච සුතෙන ච යනු ශීල කොටසින් ද ඇසූපිරූ තැන් පිළිබඳ කොටසින් ද මේ දුශ්ශීලයා අල්ප ශ්රැතයෙකියි මෙසේ ඔහු ගරහයි යන අර්ථයයි. තස්ස සම්පජ්ජතෙ සුතං යනු ඒ පුද්ගලයාට යම් හෙයකින් මේ ඇසූ දෙයින් ශ්රැත කෘත්යය කරන ලද ද එහෙයින් ඔහුට ශ්රැතය එළඹෙයි නමි. නාස්ස සම්පජ්ජතෙ යනු ශ්රැත කෘත්යය නොකළ බැවින් නොඑළඹෙයි නමි. ධම්මධරං යනු ශ්රැත ධර්මයන්ට ආධාරවූයි. සප්පඤ්ඤං යනු මනා ප්රඥාව ඇත්තේයි. නෙක්ඛම්මං ජම්බොනන්දස්සෙව යනු ජාති ස්වර්ණය ජම්බුනද යයි කියනු ලැබේ. ඒ ජම්බුනදයාගේ නිෂ්කයක් මෙත් ස්වර්ණ පහක ප්රමාණය ඇති ස්වර්ණ ඝටකයක් මෙනැයි අර්ත්ථයයි.
7. සොහෙන්ති සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි වියත්තා යනු ප්රඥාවේ ව්යක්ත බවින් යුක්ත වූවාහුයි. විනීතා යනු විනයට පැමිණියාහු, මනාව හික්මුණාහුය. විසාරදා යනු තැතිගැනීමෙන් තොර සොම්නස් සහිත නුවණින් යුක්ත වූවාහුයි. ධම්මධරා යනු ශ්රැත ධර්මයන්ට ආධාරවූයි. භික්ඛු ච සීලසම්පන්නො යන ගාථාවෙහි එකිනෙකාගේ එක් එක් ගුණයක් කියන ලදී. සියල්ලන්ට වනාහි සියල්ලම වටයි.
8. වෙසාරජ්ජ සූත්ර වර්ණනාව
අටවැන්නෙහි වෙසාරජ්ජානි යනු තැතිගැන්මට ප්රතිපක්ෂ වූ විශාරද බවයි. සිවුතැනක තැතිගැන්මක් නොමැතිබව සිහිකරන්නහුට උපන් සොම්නස් සහගත ඤාණයට මෙය නමෙකි. ආසභං ඨානං යනු ශ්රේෂ්ඨ ස්ථානයයි, උත්තම ස්ථානයයි. නැතහොත් පෙර බුදුවරු ආසභ නම් වෙත්. උන්වහන්සේලාගේ තැන යන අර්ථයයි. තවද ගවයන් සියයකට ජ්යෙෂ්ඨ වූයේ උසභ නම් වෙයි. ගවයන් දහසකට දෙටුවූයේ වසභය. ගාල් සියයකට දෙටුවූයේ හෝ උසභය. ගාල් දහසකට දෙටුවූයේ වසභය. සියලු ගවයන්ට ශ්රේෂ්ඨ වූ සියලු වෙහෙස දරන, සුදුවූ පැහැදීම ඇතිකරන මහත් බර උසුලන, හෙණ සියයක ශබ්දයෙනුදු නොසැලෙන්නේ නිසභ නම් වෙයි. හෙතෙම මෙහි උසභ යැයි අදහස් කරන ලදි. මෙයද ඔහුට පර්යාය වචනයකි. මෙය වෘෂභයාගේනුයි ආසභ නම් වෙයි. ඨානං යනු පා සතරින් පොළොව මැඬගෙන තහවුරුව සිටීමයි. මෙය වනාහි ආසභයකු මෙනැයි ආසභ නමි. යම්සේ නම් නිසභ සංඛ්යාත වූ වෘෂහ තෙමේ පා සතරින් පොළොව මැඬගෙන නොසෙල්වෙන තැනින් සිටියි. එසේම තථාගතයන් වහන්සේ ද විශාරද බව නමැති පා සතරින් අටපිරිස් පොළොව මැඬ දෙවියන් සහිත ලොවෙහි කිසියම් විරුද්ධවාදී පසමිතුරකුගෙන් නොසැලෙන සේක් නොසැලෙන තැනින් තිට්ඨති යනු මෙසේ සිටින සේක් ඒ ශ්රේෂ්ඨ ස්ථානය පිළිගනිති. එළඹෙති. ප්රතික්ෂේප නොකරත්. තමන් කෙරෙහි නංවා තබති. එබැවින් ආසහං ඨානං පටිජානාති’යි කියන ලදි.
පරිසාසු යනු අටවැදෑරුම් පිරිසෙහිය. සීහනාදං යනු ශ්රේෂ්ඨ නාදය අභීත නාදය හඬ නගයි. සිංහ නාදයට සමාන වූ හෝ නාදය නංවයි. මේ අර්ථය සීහනාද සූත්රයෙන් දැක්විය යුතුය. යම්සේ සිංහයා ඉවසන බැවින් ද වනසන නිසා ද සිංහයායි කියනු ලැබේද, එසේ තථාගතයන් වහන්සේ ලෝක ධර්මයන් ඉවසන බැවින් ද පරවාදයන් මඬින නිසා ද සිංහ යයි කියනු ලැබේ. මෙසේ කියන ලද සිංහයාගේ නාදය සිංහ නාදයයි. එහි යම්සේ නම් සිංහයා සිංහ බලයෙන් යුක්ත වූයේ හැම තන්හි විශාරද වූයේ පහවූ ලොමු දැහැගැනීම් ඇත්තේ සිංහ නාදය නාද කරයිද මෙසේ තථාගත නමැති සිංහයා ද තථාගත බලයෙන් යුක්ත වූයේ අටපිරිසෙහි විශාරද වූයේ පහවූ ලොමු දැහැගැනීම් ඇත්තේ මෙය රූපයය යනාදී ක්රමයෙන් නොයෙක් දේශනා විලාසයන්ගෙන් යුත් සිංහ හඬ නගයි. එබැවින් පරිසාසු සීහනාදං නදති යි කියන ලදි.