3. 2. 2. 2
දෙවැන්නෙහි, අමාතාපුත්තිකානි යනු මවද, පුතාද ‘මාතාපුත්තං’ නමි. ආරක්ෂා කිරීමට හැකි බවින් මෙහි මව හා පුතු නැතැයි ‘අමාතාපුත්තිකානි’ නමි. යං යනු යම් කලෙකයි. තත්ථ මාතාපි පුත්තං න පටිලභති යනු ඒ ගිනිබිය උපන් කල්හි මවද පුතු දැකීමට නොලබයි. පුතාද මව දැකීමට නොලබයි යන අරුත්ය. භයංහොති යනු සිත තැති ගන්නා බියක් වෙයි. අටවිසඩ්කපේපා යනු මෙහි අටවි යන්නෙන් වනවාසී සොරු දතයුත්තාහ. යම් කලෙක ඔවුහු වනයෙන් දනව්වට බැස ගම්නියම්ගම් රාජධානි පැහැර සොරා ගනිත්ද? එකල්හි අටවි සංකල්පය නම් වෙයි. එය සඳහා මෙය කියනලදී. චක්කසමාරූළභා යනු මෙහි ඉරියාපථ (ඉරියව්) චක්රයද රථචක්රයද වටියි. බියක් පැමිණි විට යමෙකුට යානවාහන ඇත්ද ඔවුහු තමන්ගේ පිරිකරබඩු ඒවායේ පටවා පළායත්. යමෙකුට (යානවාහන) නැත්ද ඔවුහු කදෙන් ගෙන හෝ හිසෙන් ඔසවා ගෙන හෝ පළායත්මයැයි ‘චක්කසමාරූළභා’ (රියට නැඟුනාහු) නම්වෙත්. පරියායන්ති යනු ඔබිමොබ යත්. කදාචි යනු කිසියම් කලෙකයි. කරහචි යනු ඊට (පෙරකියනලද්ට) ම පර්යාය වචනයි. මාතාපි පුත්තං පටිලභති යනු එන්නාවූ හෝ යන්නාවු හෝ එක්තැනක සැඟවුණාවූ හෝ තැනැත්තහු දක්නට ලබයි. උදකවාහකො යනු ගංගාවයි. මාතාපි පුත්තං පටිලභති ඔරුවක හෝ පාරුවක හෝ මැටිබඳුනක හෝ දරකඩක හෝ ලැඟි දරනු ලබන්නාහු දැකීමට හැකිවෙයි. බියරහිතව හෝ (ගඟෙන්) එතරව ගමෙහි හෝ වනයෙහි හෝ සිටියහු දක්නට හෝ ලබයි.
මෙසේ පර්යාය වශයෙන් මව පුතු නැත්තාවූ (අමාතාපුත්තිකවූ) බිය දක්වා දැන් නිෂ්පර්යාය වශයෙන් දක්වන සේක් තීනිමානි යනාදිය පැවසූසේක. එහි ජරාභයං යනු ජරාව නිසා උපදනා බියයි. සෙස්සෙහිද මේ ක්රමයමැයි. මෙය කියනලද්දේ වෙයි: ‘ජරං පටිච්ච උප්පජ්ජති භයං භයානකං ඡම්භිත්තතං ලොමහංසො චෙතසො උතත්රාසො ව්යාධිං පටිච්ච මරණං පටිච්ච උප්පජ්ජති හයං භයානක ඡම්භිත්තතං ලොමහංසො චෙතොස උත්ත්රාසො.’ සෙස්ස සියලු තැන පැහැදිලි අරුත් ඇත්තේය.
3. 2. 2. 3
තෙවැන්නෙහි කොසලෙ යනු මෙබඳු නම් ඇති දනව්වෙහිය. චාරිකං චරමානො යනු දිගුගමනක් වඩින්නේයි. භාග්යවතුන් වහන්සේගේ චාරිකාව ද්විවිධ වෙයි. තුරිතචාරිකා, අතුරින චාරිකා යනුවෙනි. එහි දුරෙහි වුවද අවබෝධකරවිය යුතු පුද්ගලයකු දැක ඔහුට අවබෝධ කරවනු සඳහා ඉක්මන් ගමන තුරිතචාරිකා නමි. එය මහාකාශ්යපයන් සඳහා පෙරගමන් කිරීම් ආදියෙන් දැක්විය යුතුය. ගම්නියම් පිළිවෙළින් දිනපතා යොදුනක් අඩයොදුනක් වශයෙන් පිඩුපිණිස හැසිරීම් ආදියෙන් ලෝකයට අනුග්රහ කරන්නාවූ බුදුන්වහන්සේගේ ගමනක් වේද මෙය අතුරිතචාරිකා නමි. මේ සඳහා චාරිකං චරමානොයි’ කියනලදී. විස්තර වශයෙන් චාරිකාකථාව සුමඞ්ගලවිලාසනී දීඝනිකාය අටුවාවෙහි අම්බට්ඨ සූත්රවර්ණනාවෙහි කියනලදි. බ්රාහ්මණගාමො යනු බමුණන් එක්රුස්වන ගමද බමුණන් අයබදු ගෙවන ගමද බ්රාහ්මණගාම නම් වෙයි. මෙහි එක් රැස්වන ගම, වසනගම අදහස්කරනලදී. තදවසරි යනු එහි පැමිණිසේක. සපැමිණිසේකැයි අර්ත්ථයි. මෙහි විහාරය නියම නොකරන ලද්දේය. එබැවින් ඒ ගමට නුදුරෙහි බුදුවරුන්ට සුදුසුවූ එක් වනලැහැබක් ඇත. ශාස්තෘන්වහන්සේ ඒ වන ලැහැබට වැඩිසේකැයි දතයුතුය.
අස්සොසුං යනු ඇසුවාහුය: දැනගත්තාහුය: කණට වැටුණු වචන අනුසරින් දැනගත්තාහුය. ඛො යනු පදපුරණාර්ත්ථයෙහි හෝ අවධාරණාර්ත්ථයෙහි නිපාතයෙකි. එහි අවධාරණාර්ථයෙන් ඇසූහුමය. ඔවුනට කිසිදු ඇසීමට අනතුරක් නොවීය යන මේ අර්ත්ථය දතයුතුය. පදපූරණයෙහිලා ව්යංජනශ්ලිෂ්ටතාව පමණි.
දැන් යම් අර්ථයක් ඇසුවාහුද එය පැවසීමට සමණො ඛලු භො ගොතමො යනාදිය කියනලදී. එහි දුරුකළ පවු ඇති බැවින් සමණො යයි දතයුතුය. ඛලූ යනු අනුස්සව (ශ්රැතිසූචන) අර්ථයෙහි නිපාතයෙකි. භො යනු ඔවුන්ගේ ඔවුනොවුන්ට ඇමතීමක් පමණි. ගොතමො යනු භාග්යවතුන්වහන්සේගේ ගොත්රවශයෙන්, ප්රකට කිරීමකි. එබැවින් සමණො ඛලු භො ගොතමො’ යන මෙහි ගෞතම ගොත්රයෙහිවු භවත් ශ්රමණයෝ යන මෙබඳු අර්ත්ථය දැක්විය යුතුය. සක්යපුත්තො යන මෙය භාග්යවතුන්වහන්සේගේ උසස් කුලය ප්රකට කිරීමකි. කිසියම් දිළිදුබවකින් නොමඬනාලද්දේ ධනවිනාශයක් නොමැතිවූම ඒ කුලය අතැර සැදැහැයෙන් පැවිදිවූසේකැයි කියනලද්දේ වෙයි. තං ඛො පන යනු ඉත්ථමභූත ආඛ්යානාර්ථයෙහි කර්මවිභක්තිවචනයි. ඒ භවත් ගෞතමයන්ගේ යන අර්ථයි. කල්යාණො යනු කලණගුණයෙහි පිහිටියේයි. ශ්රෙෂ්ඨයෙකියි කියනලද්දේ වෙයි. කිතතිසදේදො යනු කීර්තියමය, ස්තුතිඝොෂාව හෝ වෙයි. අබ්භූග්ගතො යනු දෙවියන් සහිත ලෝකය පතුරුවා මතුවූයේයි. කෙසේදයත්? ඉතිපි සො භගවා -පෙ- බුද්ධො භගවා යනුවෙනි. මේ එහි පදසම්බන්ධයයි. සො භගවා ඉතිපි අරහං ඉතිපි සම්මාසම්බුද්ධො -පෙ- ඉතිපි සො භගවා යනුවෙන් මේ මේ කාරණයන්ගෙන්දැයි කියනලද්දේ වෙයි.
මෙයින් සතුරන් දුරුකළ හෙයින්ද භවචක්රයෙහි ගරාදි නැසූ හෙයින්ද ප්රත්යයාදීන්ට සුදුසුබැවින්ද රහසිනුදු පවු කිරීමක් නොමැති බැවින්දැයි මේ කරුණුවලින් ඒ භාග්යවතුන් වහන්සේ අරහත්යයි දතයුතුයයි. මේ ක්රමයෙන් මාතෘකාව බා සියලුම මේ පද විසුද්ධිමග්ගයෙහි බුද්ධානුස්සති නිර්දේශයෙහි විස්තර කරනලදී. එයින් මේ පදවල විස්තරය ගතයුතුය.
සො ඉමං ලොකං යනු ඒ භාග්යවත් ගෞතමයන්වහන්සේ මෙලොවට දැන් කිවයුතු දේ දක්වනසේක. සදෙවකං යනු දෙවියන් සහිතවූයේ සදෙවකං නමි. මෙසේ මාරයා සහිතවූයේ සමාරකං නමි. බ්රහ්මයා සහිතවූයේ සබ්රහ්මකං නමි. ශ්රමණබ්රාහ්මණයන් සහිතවූයේ සස්සමණබ්රාහමණිං නමි. ප්රජනනයවූ බැවින් සත්ව ප්රජාව පජා නමි. පජං යනු ඒ ප්රජාවයි. දෙවිමිනිසුන් සහිතවූයේ සදෙවමනුස්සං නමි. එහි සදෙවක වචනයෙන් පස්වැදැරුම් කාමාවචර දේවසමූහයා දතයුතුය. සමාරක වචනයෙන් සවැනිවූ කාමාවචර දේවසමූහයා ගැනෙයි. සබ්රහ්මක වචනයෙන් බ්රහ්මකායිකාදී බ්රහ්මසමූහයා ගැනෙයි. සස්සමණබ්රාහ්මණි වචනයෙන් සසුනට පසමිතුරු විරුද්ධ ශ්රමණබ්රාහ්මණ සමුහයා ගැනෙයි. නැසූ පවු ඇති, යටපත් කළ පවුඇති ශ්රමණබ්රාහ්මණ සමූහයාද ගැනෙයි. පජාවචනයෙන් සත්වලෝකය ගැනෙයි. සදෙවමනුස්සවචනයෙන් සම්මුති දෙවියන් සහ සෙසු මිනිස්සු ගැනෙති. මෙසේ මෙහි තුන්පදයන්ගෙන් අවකාශ ලෝකය සමඟ සත්වලෝකයද දෙපදයකින් ප්රජාව වශයෙන් සත්වලෝකයද ගන්නාලදැයි දතුයුතුය.