3. 1. 2. 6
සවැන්නෙහි අපණ්ණකතං පටිපදං යනු අවිරුද්ධ ප්‍රතිපදාවයි. ඒකාන්තවූ ප්‍රතිපදාවයි, නෛර්‍ය්‍යානික ප්‍රතිපදාවයි. කාරණප්‍රතිපදාවයි. සාරප්‍රතිපදාවයි. උසස්ප්‍රතිපදාවයි. සතුරුනොවන ප්‍රතිපදාවයි. අනුලෝම ප්‍රතිපදාවයි. ධර්‍මානුධර්‍මප්‍රතිපදාවයි. පටිපන්නො හොති යනු තර්‍කයෙන් ගැනීමෙන් නොවේ. නයග්‍රාහයෙන් නොවේ. මෙසේ ගෙන පිළිපන් භික්‍ෂුව හෝ භික්‍ෂුණිය හෝ උපාසකයා හෝ උපාසිකාව හෝ දෙවිමිනිස් නිවන් සැපත්වලින් පිරිහෙයි. අපණ්ණක ප්‍රතිපදාවට පිළිපන් තැනැත්තා වනාහි ඒ සැපත්වලින් නොපිරිහෙයි. අතීතයෙහි කතර දුරුමගට පිළිපන් සාර්ථවාහකයන් දෙදෙනා අතුරින් යක්‍ෂයාගේ වචනය පිළිගෙන මෝඩ තවලම සමඟ නොයෙක් උවදුරුවලට පැමිණි සාර්ථවාහකයාද යක්‍ෂයාගේ වචනය පිළි නොගෙන දියදුටුතැන දිය විසිකරන්නෙමැයි තවලමට හඟවා මගට පිළිපන් පණ්ඩිත සාර්ථ වාහකයාද මෙනි. යමක් සඳහා කියනලද්දේද?
ඇතැම්හු සාර තැනද තාර්කිකයෝ දෙවැනි තැනද ප්‍රකාශකළහ. නුවණත්තේ මෙය දැන යමක් සාරවේද එය පිළිගන්නේය.
යොනිචස්ස ආරද්ධා හොති යනු මෙහි යොනි යනු ස්කන්‍ධ කොට්ඨාශයටද කාරණයටද ප්‍රසවමාර්‍ගයටද නමකි. ‘චතස්සො ඛො ඉමා සාරිපුත්ත යොනියො’ යනාදියෙහි ස්කන්‍ධ කොට්ඨාශය යොනි නමි. ‘යොනි හෙසා භූමිජ ඵලස්ස අධිගමාය’ යනාදියෙහි කාරණයයි. නචාංහ බ්‍රාහමණං බ්‍රැමි යොනිජං මත්තිසම්භවං’ හා තමෙනං කම්මජවාතා නිබ්බත්තත්‍වා උද්ධපාදං අධොසිරං සම්පරිවතේතත්‍වො මාතු යොනිමුඛෙ සම්පටිපාදෙන්ති’ද යනාදියෙහි ප්‍රසවමාර්‍ගයයි. මෙහි වනාහි කාරණය අදහස් කරනලදී. ආරද්ධා යනු එසවූ, පිරිපුන්ය.
ආසවානං ඛයාය යනු මෙහි වැගිරෙත්නුයි ආසවා නමි. ඇසින්ද -පෙ- මනසින්ද වැගිරෙත් ගලාබසිත්යයි කියනලද්දේවෙයි. ධර්‍මයෙන් ගොත්‍රභූ (මාර්‍ගසිත පළමුවෙන් උපදනා) සිත දක්වා අවකාශයෙන් භවාග්‍රය දක්වා වැගිරෙත්නුයි හෝ ආසවා නමි. මේ ධර්‍මයන්ද මේ අවකාශයද ඇතුළත් කොට ගලාබසිත්ය යන අර්‍ත්‍ථයි. මේ ආකාරය ඇතුළත් කිරීමේ අරුත් ඇත්තේයි. බොහෝ කල් රැඳී (කැවී) තිබීමේ අරුතින් සුරා ආදී ආසවයන් වැනිය යන්නෙන්ද අාසවා නමි. ලෝකයෙහි බොහෝ කලක් පැසවන සුරා ආදිය ආසවයයි කියනු ලැබේ. ඉදින්, බොහෝකල් පැසවීම් අරුතින් ආශ්‍රවයෝ මේවාම වීමට සුදුසුවෙත්ද (එහෙයින්) මෙය කියනලදී: ‘මහණෙනි, මෙයින් පෙර අවිද්‍යාව නොවීයයි අවිද්‍යාවේ පෙර කෙළවර නොපැනෙයි.’ දීර්‍ඝවූ සංසාර දුක වගුරත් ගලාබස්වත් යනුවෙන්ද ආශ්‍රවයෝයි. යම් තැනක ක්ලේශයෝ ආශ්‍රවයයි. එත්ද එහි මුල් නිර්වචනයෝ යෙදෙත් (සුදුසුවෙත්) හුදෙක් කර්‍මක්ලේශයෝම ආශ්‍රවයෝ නොවෙත්. තවද නොයෙක් ආකාර උපද්‍රවයෝද ආශ්‍රවයෝ වෙත්. ‘චුන්‍දය, මම ඉහාත්මයෙහිවූ ආශ්‍රවයන්ගේම සංවරය සඳහා ධර්‍මය නොදෙසමි’ යනාදිය සූත්‍රයන්හි එයි. මෙහි විවාදයට මුල්වූ ක්ලේශයෝ ආශ්‍රයෝයයි දක්වනලදහ.
‘යම් ආශ්‍රවයකින් දිව්‍යඋත්පත්යි වන්නේද ගන්‍ධර්‍වයෙක් හෝ පක්‍ෂියෙක් වන්නේද යම් ආශ්‍රවයකින් යක්‍ෂබවට යන්නේද මනුෂ්‍යත්වයට හෝ යන්නේද ඒ මගේ ආශ්‍රවයෝ ක්‍ෂයවූහ. නසනලද්දාහ. විනාශ කරනලද්දාහ.’ යන මෙහි ත්‍රෛභූමික කර්‍මයද ඉතිරි අකුශලධර්‍මයෝද (ආශ්‍රවයෝ) වෙත්.
‘මෙම අත්බවට අයත් ආශ්‍රවයන්ගේ සංවරය සඳහා, පරලොවට අයත් ආශ්‍රවයන් නසනු සඳහා’ යන මෙහි අනුන්ගේ දොෂාරෝපන, විපිළිසරවීම්, වධබන්‍ධන ආදියද අපා දුක්වූ නොයෙක් ආකාර උපද්‍රවයෝද වෙත්.