3. 1. 1. 4
සිවුවැන්නෙහි අච්චයං අච්චයතො න පස්සති යනු තමාගේ වරද වරදක් ලෙස නොකියි. අච්චයතො දිස්වා යථාධම්මං න පටිකරොති යනු මවිසින් අපරාධයක් කරනලදැයි දැනගෙනද යම් ධර්‍මයක් වේනම් එය නොකරයි. දඬුවම ඉදිරිපත් කොට වරද නොදෙසයි. ක්‍ෂමා නොකරයි. අච්චයං දෙසෙන්නස්ස යථාධම්මං නපතිගණභාති යනු මවිසින් අනුන්ට විරුද්ධවන ලදැයි දැන දඬුවම ඉදිරිපත්කොට ක්‍ෂමා කරවන්නහුට ක්‍ෂමා නොකරයි. යහපත් අංශය කියනලද්දට ප්‍රතිපක්‍ෂවශයෙන් දතයුතුයි.
3. 1. 1. 5
පස්වැන්නෙහි අයොනිසො පඤ්භං කත්තා හොති යනු ‘උදායි, අනුස්සති කාරණා කෙතෙක්දැයි කීකල්හි පුබ්බේනිවාසය අනුස්සති කාරණයක් වන්නේයයි සිතා ලාළුදායි තෙරුන් මෙන් වැරදි ආකාරයට සිතීමෙන් නො පැනයක්ම පැනයක් කරන්නේවෙයි. අයොනිසො පඤ්භං විස්සජජෙතා හොති යනු මෙසේ සිතනලද ප්‍රශ්නය විසඳන්නේද ‘ස්වාමීනි, මෙහි භික්‍ෂුවක් නොයෙක් අයුරින් කරනලද පුබ්බෙනිවාසානුස්සතිය සිහිකරයි. කෙසේදයත්? එක් ජාතියක් යනාදිවශයෙන් ඒ තෙරුන්ම මෙන් නුනුවණින් විසඳන්නේ වෙයි. නොපැනයක්ම පැනයකැයි කියයි. පරිමණ්ඩලෙහි පදව්‍යංජනෙහි යන මෙහි පදයම අර්‍ත්‍ථයාගේ ව්‍යංජනවශයෙන් පදව්‍යංජනයයි. අකුරුසපුරා දස ආකාරවූ ව්‍යංසන බුද්ධිය නොපිරිහෙළා කියනලද එය පරිමණ්ඩලං (හාත්පසින් මනාව වටකරනලද්දේ) නම් වෙයි. මෙබඳුවූ පදව්‍යංජනයන්ගෙන්ය යන අර්‍ත්‍ථයි. සිලිටෙඨහි යනු සිලිටිබවින් සිලිටිවුයි. උපගතෙහි යනු අරුතද කරුණද එළඹ සිටියාවූයි. නාබ්භනුමොදිතා යනු මෙසේ නුවණින් සියලු කරුණින් යුක්තවූවක් කොටද විසඳනලද අනුන්ගේ ප්‍රශ්නය අනුමෝදන් නොවෙයි. සතුටු නොවෙයි. සැරියුත් තෙරුන්ගේ ප්‍රශ්නයට ලාළුදායි තෙරුන්මෙනි. යම්සේ කියනලද්දේද?
‘ආයුෂ්මත් ශරිපුත්‍රයෙනි, හෙතෙම පිඬුඅහර අනුභවකරන දෙවියන්ගේ සමාගමය ඉක්මවා එක්තරා මනොමය කායයක උපන්නේ සඤ්ඤාවෙදයිත නිරොධයට සමවදින්නේය එයින් නැගී සිටින්නේය යන යමක් වේද එය කරුණු රහිතය, (සිදුනොවේ) එයට ඉඩක් නැත. මෙබඳු කරුනක් නැත.
යොනිසො පඤ්භං කත්තා යනාදියෙහි අනඳ තෙරුන් මෙන් නුවණින්ම ප්‍රශ්නය සිතා නුවණින් විසඳනලද්දේවෙයි. තෙරුන්වහන්සේ වනාහි, ‘අනන්‍දය, අනුස්සති කාරණා කෙතෙක්දැයි විමසනලද්දාහු මේ ප්‍රශ්නයක් වන්නේයයි නුවණින් සිතා විසඳමින් මෙසේ කීහ: ‘ස්වාමීනි, මෙම සසුනෙහි භික්‍ෂුව කාමයන්ගෙන් වෙන්ව -පෙ- සතරවැනි ධ්‍යානයට සමවැඳ වෙසෙයි. ස්වාමීනි, මෙය අනුස්සති කාරණයකි. මෙසේ වඩනලද්ද මෙසේ ප්‍රගුනකරන ලද්ද ඉහාත්මයෙහි සැපවිහරණය සඳහා පවතියි.’ අබ්භනුමොදිතා හොති. යනු තථාගතයන්වහන්සේ මෙන් නුවණින් අනුමෝදන්වූයේ වෙයි. තථාගතයන්වහන්සේ වනාහි අනඳතෙරුන් විසින් ප්‍රශ්නය විසඳූකදල්හි ‘මැනවි මැනවි අනන්‍දය, එසේවීනම් ආනන්‍ද නුඹ මේ සවැනි අනුස්සති කාරණයද දරව, ආන්න්‍දය, මේ සසුනෙහි භික්‍ෂුව සිහි ඇත්තේම ඉදිරියට යෙයි, පස්සට යෙයි, යනාදිය පැවසූසේක. සවැන්න ආදිය පැහැදිලි අරුත් ඇත්තේමය.
3. 1. 1. 9
නවවැන්නෙහි යහපත් අංශය පූර්‍වභාගයෙහි දසකුසලකර්‍මපථයන්ගෙන් පිරිසුන්වූයේද මත්තෙහි අරහත් මාර්‍ගය දක්වා ලබයි. බහුං පුඤ්ඤං පසවති යන මෙහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවූ පිණ කියනලදී.
3. 1. 1. 10
දසවැන්නෙහි දුසිල්බව දුස්සීල්‍යං නමි. දුසිල්බවම කිළුටවූයේ දුස්සීල්‍යමලං නමි. කවර අරුතකින් මලනම්වේද? තැවීම් අරුතින්, දුගඳ අරුතිනි හා කිළිටි කිරීම් අරුතින්ද වේ. එයද නිරයාදීවු අපායන්හි තවයිනුයි තැවීම් අරුතින්ද මලනම් වේ. එයින් යුක්තවූ පුද්ගලතෙමේ මවුපියන් සමීපයෙහිද බික්සඟන අතුරෙහිද බෝසෑ යන තැන්හිද පිළිකුල් කටයුතුවූයේ වෙයි. ඔහුවිසින් මෙබඳුවූ පාපකර්‍මයක් කරනලදැයි ඔහුගේ නුගුණගඳ සියලුදිශාවන්හි හමයිනුයි දුගඳ අරුතින්ද මලනම්වේ. එයින් යුක්තවූ පුද්ගලතෙමේ ගිය ගිය තැන තැවීමද ලබයි. ඔහුගේ කායකර්‍මාදියද අපිරිසුදුවෙයි. නොපැහැපත්යයි කිළිටි කිරීම් අරුතින්ද මලනම්වෙයි. තවද එය දෙවිමිනිස් සැපත් මෙන්ම නිවන් සැපතද මලානිකකරයි යන්නෙන් මැලවීම් අරුතින්ද මලයයි දතයුතුය. ඊර්‍ෂ්‍යාමල මසුරුමලවලද මේ ක්‍රමයමැයි.
පළමුවෙනිවු බාලවර්‍ගයයි.
2. රථකාරවර්‍ගය
3. 1. 2. 1
දෙවෙනි වර්‍ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි ඤාතකො යනු දන්නාලද්දේ ප්‍රකටවූයේයි. අනනුලොමිකෙ යනු සසුනට අනුලොම් නොවේනුයි අනනුලොමික නමි. ඒ අනුලොම් නොවූ දෙයෙහියි. පරපණ නැසීම් ආදී කාය දුශ්චරිතයෙහියි. මෙය රළුවූයේ හෝ වෙයි. මෙබඳු දෙයෙහි සමාදන් කරවීමට නොහැකිය. දිශාවන් නැමදීමට සුදුසුය. භූතබලි කිරීමට සුදුසුයයි මෙබඳු දෙයෙහි සමාදන් කරවයි. ගන්වවයි. වාග්කර්‍මයෙහිද බොරුකීම් ආදිය රළුය. තමන්සතුදෙය අනුන්ට නොදෙනු කැමැත්තෙකු නැතැයි මේ බොරුව කීමට වටීයයි මෙබඳු දෙයෙහි සමාදන් කරවයි. මනොකර්‍මයෙහිද අභිධ්‍යාදිය රළුය. කමටහන වරදවා (මුළාකොට) කියන්නේ අනුලොම් නොවන ධර්‍මයන්හි සමාදන්කරවයි නමි, දක්‍ඛිණ විහාරවාසී තෙරුන් මෙනි. එක් උපස්ථායක ඇමති පුත්‍රයෙක් ඒ තෙරුන් වෙත එළඹ මෛත්‍රිය කරන්නහු විසින් පළමුව කවර පුද්ගලයන් කෙරෙහි මෛත්‍රිය කළයුතුදැයි විචාළේය. තෙරණුවෝ සභාගවිසභාග (සමාන පක්‍ෂයෙහි හා අසමාන පක්‍ෂයෙහි) පුද්ගලයන් නොවිමසා ප්‍රිය පුද්ගලයකු කෙරෙහියයි පැවසූහ. ඔහුට බිරිය ප්‍රිය වෙයි, මනාපවෙයි. හෙතෙම ඇය අරභයා මෛත්‍රිය කරන්නේ උමතුබවට පැමිණියේය. කෙසේ නම් මෙතෙමේ බහුජනාභිතාය පටිපන්නො හොති යනු මෙබඳුවුවහුගේ සද්ධිවිහාරික (එක්ව වසනඅය) ආදීහුද උපස්ථායකාදීද ඔවුන්ගේ ආරක්‍ෂක දෙවතාවන් ආදිකොට ඒ ඒ අයගේ මිතුරන්වූ බඹලොව තෙක්වූ සෙසු දෙවියෝද මේ භික්‍ෂුව නොදැන නොකරන්නේයයි (සිතා) ඔහු විසින් කරනලද්දම කරත්. මෙසේ මෙතෙම බොහෝ දෙනාට අභිත සඳහා පිළිපන්නේවෙයි.