සත්වැන්නෙහි පටිඝනිමිත්තං යනු අනිටු අරමුනයි.
අටවැන්නෙහි පරතො ච ඝොසො යනු අනුන් සමීපයෙන් අසත්දම් ඇසීමයි.
නවවැන්නෙහි පරතො ච ඝොසො යනු සදහම් ඇසීමයි. සෙස්ස සියලුතන්හි පැහැදිලිමය.
පළමු වර්‍ගයයි.
12. ආයාචන වර්ගය
2. 3. 12. 1
දෙවෙනි වර්‍ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි එවං සම්මා අායාචමානො ආයාචෙය්‍ය යනු සැදැහැවත් භික්‍ෂුව නැඟිට සැරියුත් තෙරණුවෝ නුවණින් යම්බඳු වෙත්ද මමද එබන්දෙක් වෙමි. මුගලන් තෙරණුවෝ සෘද්ධියෙන් යම්බඳු වෙත්ද මමද එබඳු වෙමියි මෙසේ යදින්නේ ඇලුම්කරනනේ පතන්නේ (යන) යමක් ඇත්ද එයම පැතූබැවින් මනාව පතන්නේ නම්වෙයි. මෙයින් මත්තෙහි පතන්නේ වැරදි ලෙස පතන්නේය. මෙබඳුවූ පැතුම, යමක් නැත්ද එය පැතුබැවින් වැරදි පැතීම නම් වෙයි. කුමක් හෙයින්ද? එසා භික්‍ඛවෙ තුලා එතං පමාණං යනු රන් හෝ අමුරන් කිරන්නෙකුට යම්සේ තුලාව (තරාදිය) කැමතිවිය යුතුද ධාන්‍ය මනින්නෙකුට මිම්ම යම්සේ කැමතිවිය යුතුදැයි කිරා බැලීමෙහි තුලාවද මැනබැලීමෙහි මිම්මද ප්‍රමාණය වේද එසේම මගේ ශ්‍රාවක භික්‍ෂුන්ට යම් මේ සැරියුත් මුගලන් දෙනම වෙත්ද තුලාව එයමය. මිම්ම එයමය. ඔවුන් දෙදෙනා (මිම්මවශයෙන්) ගෙන මමද ඥානයෙන් හෝ සෘද්ධියෙන් හෝ එපමණ වෙමියි තමා තුලනය කිරීමට හෝ ප්‍රමාණ කිරීමට හැකිය. එයින් වෙනස් අයුරකින් නොවේ.
දෙවැනි සූත්‍රාදියෙහිද එම ක්‍රමයමයි. මෙය වනාහි විශේෂ මාත්‍රයයි. ඛෙමා ච භික්‍ඛුනී උප්පලවණ්ණා ච යනු මොවුනතුරින් ඛෙමා තෙරණිය ප්‍රඥාවෙන්ද උප්පලවණ්ණා තෙරණිය සාද්ධියෙන්ද අග්‍රය. එහෙයින් ප්‍රඥාවෙන්‍ හෝ සෘද්ධියෙන් හෝ මෙවැන්නියන් වෙමියි මනාව කැමති වන්නී අයදින්නේය. එසේම චිත්ත ගැහැවියා ප්‍රඥාවෙන් අග්‍රය. හත්‍ථක රජකුමරුවා මහත්සෘද්ධියෙන් අග්‍රය. එබැවින් ප්‍රඥවෙන් හෝ සෘද්ධියෙන් එබන්දෙක් වෙමියි මනාව පතන්නේ පතන්නේය. ඛුජ්ජුත්තරා මහාප්‍රඥාවෙන් අග්‍රය. නන්දමාතා මහත්සෘද්ධි ඇතිබවින් අග්‍රය. එබැවින් ප්‍රඥාවෙන් හෝ සෘද්ධියෙන් මෙවැන්නියක් වෙමයි මනාව පතන්නේ පතන්නේය.
2. 3. 12. 5
පස්වැන්නෙහි ඛතං යනු ගුණයන් විනාශවූ බැවින් ඛත නමි. උපහතං යනු ගුණයන් නැසූ බැවින් උපහත නමි. සිඳුණු ගුණ ඇති නටුවාවූ ගුන ඇති යන අරුත්ය. අත්තානං පරිහරති යනු ගුණ රහිත තමන් පිළිදැඟුම් කරයි, පෝෂණය කරයි. සාවජජො යන දොස් සහිත වූයේයි. සානුවජජො යනු උපවාද සහිත වූයේයි. පසවති යනු යළි ලබයි. අනනුචිච්ච යනු නොදැන, විනිශ්චය නොකොටයි. අපරියොගාහෙත්‍වා යනු නොපිවිසයි. අවණ්ණාරහස්ස යනු නුගුණෙන් යුත් වැරදි මගට බට තීර්ථකයෙකුගේ හෝ තීර්ථකශ්‍රාවකයෙකුගේ හෝයි. වණ්ණං භාසති යනු මෙතෙම සුපිළිපන්ය. මනාව පළිපන්නේයයි ගුණය කියයි. වණ්ණාරභස්ස යන බුද්ධාදීන් අතුරෙන් මනාව පිළිපන් යමෙකුගේයි. අවණ්ණං භාසති යනු මෙතෙම දුපිළිපන්ය. වැරදි ලෙස පිළිපන්නෙකැයි අගුණ කියයි. අවණ්ණාරස්ස අවණ්ණං භාසති යනු මෙහි ඇතැම් පුද්ගලයෙක් දුපිළිපන්, වැරදි ලෙස පිළිපන් තීර්ථකයන්ගේද තීර්ථක ශ්‍රාවකයන්ගේද මෙසේද දුපිළිපන්නෝය. මෙසේද වැරදි ලෙස පිළිපන්නෝයයි නුගුණ කියයි. වණ්ණාරහස්ස වණ්ණං යනු සුපිළිපන්වූ, මනාව පිළිපන්නාවූ බුදුවරුන්ගේද බුදුසව්වන්ගේද මෙසේද සුපිළිපන්නෝය, මෙසේද මනාව පිළිපන්නෝයයි ගුණය පවසයි.
2. 3. 12. 6
සවැන්නෙහි අප්පසාදනීයෙ ඨානෙ යනු අපැහැදීමට හේතුවෙහියි. පසාදං උපදංසෙති යනු නරක ප්‍රතිපත්තියෙන්, වැරදි ප්‍රතිපත්තියෙන් මෙය හොඳ ප්‍රතිපත්තිය, නිවැරදි ප්‍රතිපත්තියයි පැහැදීම ඇතිකරයි. පසාදනීයෙ ඨානෙ අප්පසාදං යනු හොඳ ප්‍රතිපදාවෙහි මනාප්‍රතිපදාවෙහි මෙය නරක ප්‍රතිපදාවය, මෙය වැරදි ප්‍රතිපදාවයයි අපැහැදීම ඇතිකරයි. මෙහි සෙස්ස පැහැදිලිය.
2. 3. 12. 7
සත්වැන්නෙහි ද්විසු යනු අවස්ථා දෙකෙහි, කරුණු දෙකෙහියි. මිච්ඡාපටිප්ජමානො යනු වැරදි ප්‍රතිපත්තියකට පිළිපන්නේයි. මාතරී ච පිතරී ච යනු මිත්තවින්‍දක මෙන් මව කෙරෙහිද අජාතසත්තු මෙන් පියා කෙරෙහිද වේ. යහපත් අංශය කියනලද ක්‍රමයෙන්ම දතයුතුය.
2. 3. 12. 8
අටවැන්නෙහි තථාගතෙ ච තථාගතසාවකෙ ච යනු තථාගතයන්වහනසේ කෙරෙහි දෙවිදතුන් මෙන්ද තථාගතශ්‍රාවකයන් කෙරෙහි කොකාලික මෙන්ද වෙයි. යහපත් අංශයෙහි තතාගතයන්වහන්සේ කෙරෙහි අනඳතෙරුන් මෙන්ද තථාගතශ්‍රාවකයන් කෙරෙහි භූතවාලික සිටු පුත්‍රයා මෙන් ද වේ.
නව වැන්නේහි සචිත්තචොදානං යනු ස්වකීය සිතේ පිරිසුදුබවයි. සමවත් අටට මේ නමෙකි. නච කිඤ්චි ලොකෙ උපාදියති යනු ලෝකයෙහිද රූපාදී ධර්‍මයන්හි එක් ධර්‍මයකුදු නොගනියි. පරාමර්‍ශනය නොකරයි. මෙසේ මෙහි අනුපාදානය නම් වූ දෙවෙනි ධර්‍මයක් වෙයි. දසවැනි හා එකළොස් වැනි සූත්‍ර පැහැදිලිය.
දෙවෙනි වර්ගයයි.
13. දාන වර්ගය
2. 3. 13. 1
තෙවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි දානානි යනු දීම් වහයෙන් දානයෝයි. දෙය්‍යධර්‍මයට (දානවස්තුවට) මේ නමකි. වස්තුසහිතවූ චෙතනාව හෝ දානයයි. සම්පත් පරිත්‍යාග කිරීමට මේ නමකි. ආමිසදානං යනු සිවුපසය දීම්වශයෙන් ආමිසදානං නම්වෙයි. ධම්මදානං යනු මෙහි ඇතමෙක් නිවන ඇතිකරවන පිළිවෙත කියා දෙති. මෙය ධම්මදාන නමි.
දෙවැන්නෙහි යැදීම්වශයෙන් යාගො (යාගය) දතයුතුය.
තෙවැන්නෙහි ආමිසය දීම ආමිසචාගො නමි. ධර්‍මය දීම ධම්මවාගො නමි. සිවුවැන්නෙහි උපසර්‍ගමාත්‍රය විශේෂයයි.
පස්වැන්නෙහි සිවුපසය වැළඳීම ආමිසභොගො නමි. ධර්‍මය පරිභොග කිරීම ධම්මභොගො නමි. සයවැන්නෙහි උපසර්‍ගමාත්‍රය විශේෂයයි.
සත්වැන්නෙහි සිවුපසය බෙදාදීම ආමිස්සංවිභාගො නමි. ධර්‍මය බෙදාදීම ධම්මසංවිභාගො නමි.
අටවැන්නෙහි සිවුපසයෙන් සංග්‍රහ කිරීම ආමිස සඞ්ගභො නමි. ධර්‍මයේ සංග්‍රහ කිරීම ධම්මසඞ්ගභො නමි.
නවවැන්නෙහි සිවුපසයෙන් අනුග්‍රහය දැක්වීම ආමිසානුග්ගභො නමි. ධර්‍මයෙන් අනුග්‍රහ කිරීම ධම්මානුග්ගභො නමි.
දසවැන්නෙහි සිවුපසයෙන් අනුකම්පා කිරීම අමිසානුකම්පා නමි. ධර්‍මයෙන් අනුකම්පා කිරීම ධම්මානුකම්පා නමි.