2. 2. 6. 7
සත්වෙනි අටවෙනි සූත්‍රයන්හිද මේ ක්‍රමයමයි. නවවෙනි සූත්‍රයෙහි කිමපුරිසා යනු කිඳුරෝයි. මානුසි චාචං න භාසන්ති යනු මිනිස් කතා නොකියයි. ධර්‍මශෝක රජුට එක් කිඳුරකු ගෙනවුත් දැක්වූයේය. රජතෙමේ මොහු කථාකරවන්නැයි කීවේය. කිඳුරා කථා කිරීමට නොකැමතිය. එක් පුරුෂයෙක් මම මොහු කථා කරවන්නෙමැයි මතු මහලින් බස්වා කණු දෙකක් සිටුවා සැළියක් එහි තැබීය. ඒ සැළිය දෙපසින් වැටෙයි. කිඳුරා එය දැක කිම? තවත් එක් කණුවක් සිටුවීමට නොවටීදැයි මෙපමණක්ම කීවේය. යළි පසු කලෙක කිඳුරන් දෙදෙනකු රජුට දැක්වූහ. රජතෙමේ මොවුන් කථාකරවහුයයි කීවේය. ඔවුහු කථා කිරීමට නොකැමති වූහ. රක්පුරුෂයෙක් මම මොවුන් කථාකරවන්නෙමැයි (ඔවුන්) ගෙන අවන්හලක් තුළට ගියේය. එහිදී එකෙක් අඹ ගෙඩියක්ද මසුන්ද දුටුවේය. එකෙක් දිවුල් ගෙඩියක්ද බිලින් ගෙඩියක්ද දුටුවේය. එහිදී පළමු කිඳුරා ‘මිනිස්සු මහාවිෂ කති. කෙසේ නම් සුදුකබර රෝගීහු නොවෙත්දැයි ඇසීය. අනෙක් කිඳුරා කෙසේනම් මේ මිනිස්සු මෙය නිසා කුෂ්ට රෝගීහු නොවෙත්දැයි කීවේය. මෙසේ මිනිස්බස කථා කිරීමට හැකි නමුත් කරුණු දෙකක් දකිමින් කථානොකරති.
2. 2. 6. 10
දසවැන්නෙහි අප්පටිවානො යනු උකටලී නොවූයේයි. පසුබට නොවූයේයි.
2. 2. 6. 11
එකොළොස්වැන්නෙහි අසතං සන්නිවාසං යනු දුදනන්ගේ, අසත්පුරුෂයන්ගේ එක්ව විසීමයි. න වදෙය්‍ය යනු අවවාදයෙන් හෝ අනුශාසනයෙන් නොකියන්නේයි. නොකියව යන අරුත්ය. ථෙරම්පහං න වදෙය්‍යං යනු මමද ස්ථවිර භික්‍ෂුවට අවවාද අනුශාසනාවශයෙන් නොකියන්නෙමි. අභිතානුකම්පී යනු අයහපතක් කැමති වන්නේයි. නො හිතානුකම්පී යනු යහපතක් නොකැමැත්තේයි. නොති තං වදෙය්‍යං යනු මම ඔබගේ වචනය නොකරන්නෙමැයි ඔහුට කියන්නෙමි යනුයි. විහෙසෙය්‍යං යනු වචනය (කීදෙය) නොකිරීමෙන් වෙහෙසවන්නෙමි පස්සම්පිස්ස න පටිකරෙය්‍යං යනු දකිමින්ද දනිමින්ද මම ඔබගේ වචනය නොකරන්නෙමි. මේ ක්‍රමයෙන් සියලු තන්හි අර්‍ත්‍ථය දතයුතුය. යහපත් අංශයෙහි සාධූති නං වදෙය්‍යං යනු ඔබ විසින් මනාදෙයක් හොඳ දෙයක් මනාව කියනලදැයි ඔහුගේ කීමට සතුටු වෙමින් ඔහුට කියන්නෙමි යන අර්‍ත්‍ථයි.
2. 2. 6. 12
[missing trans]
පළමුවෙනි වර්‍ගයයි
7. සුඛ වර්ගය
2. 2. 7. 1
දෙවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි ගිහීසුඛං යනු ගිහියන්ගේ සියලු කාමයන් ඉටුවීම මුල්කොට ඇති සුඛයයි. පබ්බජ්ජාසුඛං යනු පැවිද්දන්ගේ පැවිද්ද මුල්කොට ඇති සුඛයයි.
2. 2. 7. 2
දෙවෙනි සූත්‍රයෙහි කාමසුඛං යනු කාමයන් අරභයා උපදින සුඛයයි. නෙක්‍ඛම්මසුඛං යනු පැවිද්ද නෙක්‍ඛම්මයයි කියනුලැබේ. එය අරභයා උපදින සුඛයයි.
2. 2. 7. 3
තෙවැන්නෙහි උපධිසුඛං යනු ත්‍රෛභූමක සුඛයයි. නිරුපධිසුඛං යනු ලෝකෝත්තර සුඛයයි.
2. 2. 7. 4
සිවුවැන්නෙහි සාසවසුඛං යනු ආශ්‍රවයන්ට ප්‍රත්‍යයවූ සංසාරසුඛයයි. අනාසවසුඛං යනු ඒවාට ප්‍රත්‍යය නොවූ විමුක්තිසුඛයයි.
2. 2. 7. 5
පස්වැන්නෙහි සාමිසං යනු කිලුටට පමුණුවන සංසාරගාමී සුඛයයි. නිරාමිසං යනු නිකෙලෙස්වූ නිර්‍වාණගාමී සුඛයයි.
2. 2. 7. 6
සවැන්නෙහි අරියසුඛං යනු පෘථග්ජන නොවන්නවුන්ගේ සුඛයයි. අනරියසුඛං යනු පෘථග්ජනයන්ගේ සුඛයයි.
2. 2. 7. 7
සත්වැන්නෙහි කායිකං යනු කාය විඥානය සමඟ එක්ව උපන්. චෙතසිකං යනු මනෝද්වාරික සුඛයයි. එය ලෞකික ලෝකොත්තර මිශ්‍රකයයි කියනලදී.
2. 2. 7. 8
අටවැන්නෙහි සප්පීතිකං යනු ප්‍රථම ද්විතීයධ්‍යාන සුඛයයි නිප්පීතිකං යනු තෘතීය චතුර්ථ ධ්‍යාන සුඛයයි. එහිලා ලෞකික සප්‍රීතික සුඛයෙන් ලෞකික නිෂ්ප්‍රීතික සුඛයද ලෝකොත්තර සප්‍රීතික සුඛයෙන් ලොකොත්තර නිෂ්ප්‍රීතික සුඛයද අග්‍රයයි මෙසේ භූමි අතර වෙනස නොබිඳ අග්‍රභාවය දැක්විය යුතුය.
2. 2. 7. 9
නවවැන්නෙහි සාතසුඛං යනු ධ්‍යාන තුනෙහි සුඛයයි. උපෙඛා සුඛං යනු චතුර්ත ධ්‍යාන සුඛයයි.
2. 2. 7. 10
දසවැන්නෙහි සමාධිසුඛං යනු අර්‍පණාවට හෝ උපචාරයට පැමිණි සුඛයයි. අසමාධිසුඛං යනු ඒ දෙකට නොපැමිණි සුඛයයි.
2. 2. 7. 11
එකොළොස් වැන්නෙහි සප්පීතිකාරම්මණං යනු සප්‍රීතිකවූ ධ්‍යානදෙක මෙනෙහි කිරීමෙන් උපන් සැපතයි. නිප්පීතික අරමුණෙහිද මේ ක්‍රමයමැයි. දොළොස් වැන්නෙහිද මේ ක්‍රමයෙන්ම අර්‍ත්‍ථය දතයුතුය.