5. පරිස වර්ගය
2. 1. 5. 1
පස්වෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි උත්තානා යනු ප්‍රකටවූ නොවැසුණු යනුයි. ගම්භීරා යනු සැඟවුණු, වැසුණුයි. උද්ධතා යනු (නොසන්සුන් බවින්) උඩඟුබවින් යුක්තවූයි. උන්නළා යනු නැඟුණු උඩඟුබව ඇතියි. නැඟී සිටි හිස්මානය ඇත්තාහුයයි කියනලද්දේවෙයි. චපලා යනු පාසිවුරු සැරසීම් ආදියෙන් ඇතිවූ චපලබවින් යුක්ත යනුයි. මුඛරා යනු දොඩමලුවූ රළුවචන ඇත්තාවූයි. විකිණ්ණවාචා යනු අසංවර වචන ඇත්තාවූයි. දවසකුදුවුවත් නිසරුවචන කියන්නාවූයි. මුටඨස්සති යනු මුළාවූ සිහි ඇත්තාවූයි. අසම්පජානා යනු නුවණ නැත්තාවූයි. අසමාහිතා සිත එකඟකිරීම් පමණකුදු නොලැබුවාහුයි. පාකතින්ද්රියා යනු ස්වභාවයෙන්ම පිහිටි විවෘතවූ නොරක්නාලද ඉඳුරන්ගෙන් යුක්තවූවෝයි. යහපත් අංශය කියනලද්දට විරුද්ධලෙසින් දතයුතුය.
2. 1. 5. 2
දෙවැන්නෙහි භණ්ඩනජාතා යනු කොලාහලයක මුල් කොටස භන්ඩනයයි කියනුලැබේ. ඔවුනට එය හටගත්තේනුයි භණ්ඩනජාතානමි. අපි නුඹලාට දඬුවම් දෙවන්නෙමු. බඳවන්නෙමුයි ආදි වචන පැවැත්වීමෙන් හටගත් කලහ ඇත්තෝයි. මෙයවූකලි ගිහියන්විෂයෙහි ක්‍රමයයි. පැවිද්දෝ වනාහි ඇවැත්ඉක්මවීම් පිළිබඳ වචන කියන්නාහු කලහජාතා නම් වෙත්. විවාදාපන්නා යනු විරුද්ධවාදයට පිළිපන්නාහුයි. මුඛසත්තීහි විතුදන්තා යනු ගුණයන් සිඳින අරුතින් නපුරුවචන මුඛසත්තියි කියනුලැබෙයි. ඒ නපුරුවචනයනගේන් විදින්නාහුයි. අනින්නාහුයි. සමග්ගා යනු එකම විනය කර්මය එකම උදෙසීම, සමානශික්ෂාපද යන මේවා කිරීමෙන් මගියෙන් යුක්තවූයි. පියචක්ඛුහි යනු මෛත්‍රී සහගත ඇස්වලිනි.
2. 1. 5. 3
තෙවැන්නෙහි අග්ගවතී යනු උත්තම පුද්ගලබව ඇත්තෝයි. අග්‍රවූ හෙවත් උත්තමවූ පිළිවෙතින් යුක්තවූවෝයි. එයින් වෙනස්වූවෝ අනග්ගවතී නමි. බාහුලිකා යනු සිවුරු ආදිය බොහෝ ඇතිබවට පිළිපන්නෝයි. සසුන ලිහිල්ලෙස ගනිත්නුයි සාථලිකා නමි. ඔක්කමනෙ පුබ්බ්ංගමා යනු මෙහි ඉවත්වයාමේ අරුතින් පංචනීවරණ ඔක්කමනයයි කියනුලැබේ. එහෙයින් පංචනීවරණ පිරීමෙහි පෙරටුවෝයි කියනලද්දේවෙයි. පවිවෙකෙ යනු උපධිචිවෙකයෙහියි, නිවනෙහියි. නික්ඛිත්තධුරා යනු ත්‍රිවිධ විවේකයෙහිම ඉවතදැමූ වගකීම් ඇත්තෝ, බහාතැබූ වගකීම් ඇත්තෝයි. නවිරියං ආරභන්ති යනු ද්විවිධ වීර්යයම නොකරත්. අප්පතතස්ස පත්තියා පෙර නොපත් ධ්යානවිදර්ශනා මාර්ගඵල විශේෂයකට පැමිණීම සඳහායි. ඉතිරි පදදෙක එහිම පර්‍ය්‍යාය වචනයි. පච්ඡිමා ජනතා යනු සද්ධිවිහාරික අනෙතවාසික ජනයායි. දිට්ටානුගතිං ආපජ්ජති යනු ආචාර්ය්ය උපාධ්‍යායයන් විසින් කරනලද දෙය අනුකරණය කරමින් දෘෂ්ටියට, ඔවුන්ගේ පැවැත්ම අනුගතවීමයි. සෙස්ස කියනලද්දට විරුද්ධක්රමයෙන්ම දතයුතුයි.
2. 1. 5. 4
සිවු වැන්නෙහි අරියා යනු ආර්‍ය්‍යශ්‍රාවක පිරිසයි. අනරියා යනු පෘථග්ජන පිරිසයි. ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජාන්නති යනු තෘෂ්ණාව හැර ත්‍රෛභූමික පංචස්කන්ධය දු:ඛසත්යය නම් වෙතියි. මෙපමණක්ම දුකය. ඉන්මත්තෙහි දුකක් නැතැයි යථාස්වභාවය වශයෙන් නොදනිත්. සියලුතන්හි මේ ක්‍රමයයි. සෙසු පදයන්හි වනාහි ඒ දුක මතුකරවන්නාවූ මුල්තෘෂ්ණාව සමුදය නමි. ඒ තෘෂ්ණාවගේ - ඒ සත්‍ය දෙකේම සම්පූර්ණ විනාශය, නොඉපදවීම දු:ඛ නිරෝධය නමි. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය දු:ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නමැයි මෙසේ මේ සූත්‍රයෙහි චතුරාර්ය සත්‍යයෙන් සතර මාර්ගද සතර ඵලද කියලදී.
2. 1. 5. 5
පස්වැන්නෙහි පරිසකසටො යනු කිළිටි පිරිස, නිසරු (රෝඩු) පිරිස, හිස් පිරිස යන අරුත්ය. පරිසමණේඩා යනු පහන් පිරිස, සරු පිරිස යන අරුත්ය. ඡන්ද්රගතිං ගච්ඡන්ති යනු ඡන්දයෙන් අගතියට යත්, නොකළයුත්තක් කරති යන අරුත්ය. සෙසු පදයන්හිද මේ ක්‍රමයමයි. මේ සතර අගතියට යෑම් භාණ්ඩ බෙදීමෙහිදීද අධිකරණයෙහිදීද ලැබෙයි. එහි භාණ්ඩ බෙදීමේදී තමන්ට භාර වූවාවු භික්ෂූන්ට (තමන්) නොකැමති භාණ්ඩයක් ලැබුණුවිට එය මාරුකොට (තමන්ට) කැමති දෙයක් දෙන්නා ඡන්‍දාගතියට යයි නම් වෙයි. තමන්ට භාර නොවූවන්ට කැමති බඩුවක් ලැබුණුවිට එය මාරුකොට නොකැමති දෙයක් දෙන්නා දොසාගතියට යයි නමි. බෙදියයුතු භාන්ඩයන්ද ලහ බෙදා නැවත්වූ තැනද නොදන්නා මෝහයෙන් අගතියටයයි නමි. කටහැකරවූවන් හා රජුන් ඇසුරු කරන්නවුන් අතුරෙන් මොවුහු නොකැමති භාණ්ඩයක් දුනකල්හි මට අනර්‍ත්‍ථයක් කෙරෙත්යයි බියෙන් මාරුකොට කැමති දෙයක් දෙන්නා බියෙන් අගතියට යයි නමි. යමෙක් එසේ නොයන්නේද සියල්ලනට සමව ප්රාමාණිකවී මැදහත්ව යමක් යමෙකුට පැමිණෙයිද එයම ඔහුට දෙයි. මෙතෙමේ සතරාකාරවූම අගතියට නොයයි නමි. අධිකරණයෙහිදී වනාහි තමන්ට භාරවූවහුගේ ගරු ඇවත ලුහු ඇවතකැයි කියන්නේ ඡන්දයෙන් අගතියට යයි නමි. අනිකකුගේ ලුහු ඇවත ගරු ඇවතකැයි කොට කියන්නේ දේවෂයෙන් අගතියට යයි නමි. ඇවතින් නැඟී සිටියවුන් පිළිබඳව සමුච්චයක්ඛන්ධකය (චුල්ලවග්ගයේ තෙවැනි කොටස) ද නොදන්නේ මුළාවෙන් අගතියට යයිනමි. දොඩමළුවූවහුගේ හෝ රජුන් විසින් පුදනලද්දහුගේ ගරුක ඇවතක්කොට කියන්නාවූ මට මෙතෙම නපුරක් කරන්නේයයි ගරුකවුවද ලුහු ඇවතක්කොටම කියන්නේ බියෙන් අගතියට යයිනමි. යමෙක් වනාහි සියල්ලන්ට සිදුවූ පරිද්දෙන්ම කියයිද මෙතෙම සිවුවැදැරුම් අගති ගමනට නොයයි නමි.