2. 1. 4. 4
සිවුවෙනි සූත්‍රයෙහි දක්‍ඛිණෙය්‍යා යනු දානය දක්‍ඛිණායි කියනුලැබේ. එය පිළිගැනීමට සුදුසු පුද්ගලයෝ කීදෙනෙක්දැයි අසයි. සොඛො යන මෙයින් ශෛක්‍ෂයන් සත්දෙනා දක්වයි. මෙහිද සිල්වත් පුහුදුන් පුද්ගලයාද සෝවාන්වුවන් අතරෙහිම ඇතුළත් කරනලදී. ආහුනෙය්‍යා යජමානානං හොන්ති යනු දන් දෙන්නවුන්ගේ පූජාවට සුදුසු ප්‍රතිග්‍රාහකයෝ නම්වෙතැයි අර්‍ත්‍ථයි. ඛෙත්තං යනු (දාන) වස්තු ප්‍රතිෂ්ඨාවයි. පින වැඩෙන තැන යන අරුත්ය.
2. 1. 4. 5
පස්වැන්නෙහි පුබ්බාරාමෙ යනු සැවතින් පෙරදිගෙහි කරනලද අරමෙහියි. මිගාරමාතුපාසාදෙ යනු විශාඛා උවැසියගේ පහයෙහියි. ඕතොමෝ මිගාර සිටුගේ මවු තනතුරෙහි තබලනලද බැවින්ද සියල්ලනට වැඩිමහල් පුතුට ආර්‍ය්‍යක සිටුවරයාට මෙන් සමාන නමක් ඇති බැවින්ද මිගාරමාතායි කියනුලැබේ. ඇයවිසින් කරවනලද ගැබ්දහසක් ඇති ප්‍රාසාදය මිගාරමාතු පාසාද නම්වෙයි. තෙරුන්වහන්සේ එම වෙහෙරෙති වසති. තත්‍රඛො ආයස්මා සාරිපුත්තො යනු එම පහයෙහි වසන්නාවූ දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝයි.
භික්ඛූ ආමන්තෙසි යනු කවරකලෙක ඇමතුවේද යත්? ඇතැම් සූත්‍රයෝ පෙරබතෙහි කියනලද්දේ වෙත් ඇතැම් සූත්‍රයෝ පසුබතෙහිද ඇතැම් සූත්‍රයෝ පෙරයමෙහිද ඇතැම් සූත්‍රයෝ මැදුම් යමෙහිද ඇතැම් සූත්‍රයෝ පැසුලු යමෙහිද කියනලද්දාහුවෙත්. මේ සමචිත්තපටිපදා සූත්‍රය පසුබතෙහි දෙසනලදී. එහෙයින් සවස්යාමයෙහි ඇමතීය.
මෙය හුදෙක් තෙරුන්වහන්සේ විසින්ම කියනලද්දක් නොවේ. තථාගතයන්වහන්සේ විසින්ද කියනලද්දකි. කොහි හිඳදයත්? විශාඛාවගේ රුවන්පහයෙහි හිඳයි. තථාගතයන්වහන්සේ වනාහි ප්‍රථම බෝධියෙහි නිත්‍යවාසී නොවී යම්යම් තැනක පහසුවේද ඒ ඒ තැනටම ගොස් විසූසේක. පළමු ඇතුළ්වස ඉසිපතනයෙහි දම්සක් පවත්වා මහබඹුන් අටළොස් කෙළකට අමා පැන් පොවා බරණැස ඇසුරුකොට ඉසිපතනයෙහි විසූසේක. දෙවැනි ඇතුළ්වස රජගහනුවර ඇසුරුකොට ඉසිපතනයෙහි විසූසේක. දෙවැනි ඇතුළ්වස රජගහනුවර ඇසුරුකොට වේළුවනයෙහිද තෙවෙනි සිවුවෙනි ඇතුළුවස් එහිමද පස්වෙනි ඇතුළුවස විශාලාව ඇසුරු කොට මහාවනයෙහි කූටාගාරශාලාවෙහිද සවෙනි ඇතුළුවස මඬකුල පර්‍වතයෙහිද සත්වෙනි වස තව්තිසාවෙහිද අටවෙනි ඇතුළුවස භග්ගජනපදයෙහි සුංසුමාර පර්‍වතය ඇසුරුකොට හෙසකලාවනයෙහිද නවවැන්න කොසඹෑවෙහිද දසවැන්න පාරිලෙය්‍යක වනලැහැබෙහිද එකොළොස් වැන්න නාලා නම්වූ බමුණුගමෙහිද දොළොස්වැන්න වේරඤ්ජාවෙහිද තෙළෙස්වැන්න චාලිය පව්වෙහිද තුදුස්වැන්න දෙව්රමෙහිද පසළොස්වැන්න කිඹුල්වතෙහිද සොළොස්වනැන්න ආළවක යකු දමනයකොට ප්‍රාණීන් අසූසාරදහසකට අමාපැන් පොවා අළව් නුවරෙහිද සතළොස්වැන්න රජගහ නුවරෙහිමද අටළොස්වැන්න චාලිය පර්‍වතයෙහිමද එකුන්විස්සද එසේමය. විසිවැනි ඇතුළුවස වනාහි රජගහනුවරම ඇසුරුකොට විසූසේක. මෙසේ විසිවසක් නිත්‍යවාසීනොවී යම්යම් තැනක පහසුවේද ඒ ඒ තන්හිම විසූසේක.
එතැන්පටන් සෙනසුන් දෙකක් නිත්‍ය පරිභෝගයක් කළසේක. කවර දෙකක් යත්? ජෙතවනාරාමය හා පූර්‍වාරාමයයි. කුමක් හෙයින්ද? කුලදෙකේ ගුණමහත්වය නිසාය. අනේපිඬු සිටුගේද විශාඛාවගේද ගුණය හේතුකොට ගුණය නිසා ශාස්තෘන්වහන්සේ ඒ සෙනසුන් නිත්‍ය පරිභෝගයෙන් පරිභෝගකළසේක. සෘතුවර්‍ෂාවෙහි සැරිසරාද ඇතුළුවස සෙනසුන් දෙකෙහිම වසනසේක. මෙසේ වසනසේක් දෙව්රම රැය වැස දෙවැනි දිනයෙහි බිකසඟන පිරිවරනලද්දාහු දකුණු දොරටුවෙන් සැවතට පිඬුපිණිස පිවිස පෑළදිග දොරටුවෙන් නික්ම පූර්‍වාරාමයෙහි දිවාවිහරණය කරනසේක. පූර්‍වාරාමයෙහි රැය වැස දෙවැනි දිනයෙහි පෑළදිග දොරටුවෙන් සැවතට පිඬුපිණිස පිවිස දකුණු දොරටුවෙන් නික්ම දෙව්රම දිවාවිහරණය කරනසේක. ඒ දිනයෙහි සම්මාසම්බුදුන්වහන්සේ දෙවරමෙහිම විසූසේක. යම්කිසි තැනක වසන්නාවූ උන්වහන්සේගේ පස් ආකාර කෘත්‍යක් අත්නොහරින් ලද්දේමවෙයි. එය යට විස්තර කරනලද්දේමය ඒ කෘත්‍යයන් අතුරෙන් පැසළුයම් කිසකල්හි භාග්‍යවතුන්වහ්නසේ ලොව බලාවදාරණසේක සැවතෙහි වසන්නාවූද සැවතින් හාත්පස ගම් අඩයොදුන් යොදුන් පරමකොට ඇති තන්හි වසන්නාවූද අප්‍රමාණවූ සත්වයන්ගේ ධර්‍මාවබෝධය වනබව දුටුසේක.
ඉක්බිති කවරනම් කාලයක් ධර්‍මාවබෝධය වන්නේදැයි බලා වදාරණසේක් සවස් කාලයෙහියයි දැන මාකියනකල්හි වන්නේද ශ්‍රාවකයකු කියනකල්හි වන්නේදැයි (බලා) සැරියුත් තෙරණුවන් කියනකල්හි වන්නේයයි දුටුසේක. ඉක්බිති කොහි හිඳ කියනලක්ලිහි වන්නේදැයි බලනසේක්. විශාඛාවගේ රුවත් පහයෙහි හිඳ කියනලකල්හියයි දැක- බුදුවරුන්ට නම් ශ්‍රාවක සන්නිපාත තුනක්වෙයි. අගසව්වන්ගේ එකකි. ඒවා අතුරෙන් අද දම්සෙනෙවි සැරියුත් තෙරණුවන්ගේ ශ්‍රාවක සන්නිපාතයවන්නේයයි දුටුසේක. දැක උදැසනින්ම සිරුර පිළිදැගුම් කොට සිවුරු හැඳ සුගත චීවරය පොරවා ශෛලමය පාත්‍රය රැගෙන බික්සඟන පිරිවරනලදසේක් දකුණු දොරින් නුවරට පිවිස පිඬුපිණිස හැසිරෙමින් බික්සඟනට පිණ්ඩපාතය පහසුවෙන් ලැබීමට සලස්වා සුළඟින් පහරනලද නැවක් මෙන් ආපසු හැරී දකුණු දොරින් නික්ම බිහිදොරෙහි සිටිසේක. ඉකිබිති අසූමහසව්වෝය, භික්‍ෂූණීන් පිරිසය, උපාසක පිරිසය උපාසිකා පිරිසය යන සිවුපිරිස ශාස්තෘන්වහන්සේ පිරිවරා සිටියේය.
ශාස්තෘන්වහන්සේ සැරියුත් තෙරුන්ට, ‘ශාරිපුත්‍රය, ඔබ පූර්‍වාරාමයට යායුතුය. ඔබගේ පිරිස ගෙන යන්නැ’යි පැවසූ සේක. ‘මනැවි ස්වාමීනි’යි තෙරණුවෝ තමන්ගේ පිරිවරවූ පන්සියයක් භික්‍ෂූන් විසන් පිරිවරණ ලද්දාහු පූර්‍වාරාමයට වැඩමකළහ. මෙම ක්‍රමයෙන්ම අසූමහසව්වන් පූර්‍වාරාමයටම යවා තමන්වහන්සේ හුදෙකළාවූ අනඳ තෙරුන් සමඟ දෙව්රමට වැඩිසේක. අනඳ තෙරණුවෝද විහාරයෙහි ශාස්තෘන්වහන්සේගේ වත්පිළිවෙත්කොට වැඳ ‘ස්වාමීනි, පූර්‍වාරාමයට යමියි පැවසූහ. ‘ආනන්දය, එසේ කරව’යි පැවසූසේක. (තෙරණුවෝද) ශාස්තෘන් වැඳ එහිම වැඩියහ. ශාස්තෘන්වහන්සේ තනිව දෙව්රමෙහි නැවතුණුසේක.