2. 1. 4. 2
දෙවෙනි සූත්‍රයෙහි මාතුච්චපිතුච්ච යනු ඉපදවු මවද ඉපදවු පියාදවේ. එකෙන භික්‍ඛවෙ අංසෙන මාතරං පරිභරෙය්‍ය යනු එක් උරහිසක තබා මව පිළිදැගුම් කරන්නෙයි. එකෙන අංසෙන පිතරං යනු එක් උරහිසක තබාගෙන පියා පිළිදැගුම් කරන්නේය. වස්සතායුකො වස්සසතජිවී යනු අවුරුදු සියයක් ආයුෂ ඇති කාලයෙහි උපන් සියලු අවුරුදු සියයම ජීවත්වනනේයි. ඉදින් පුතෙක් මවුපියන්ට සලකන්නේමැයි නැගි නැඟී දකුණු උරහිසෙහි මවද වමෙහි පියාද පිහිටුවා වස් සියයක් ආයු ඇත්තේ සියලු අවුරුදු සියයම ජීවත් වෙමින් පිළිදැගුම් කරන්නේය යන මෙය කියනලදී. සො ච නෙසං උච්ඡාදන පරිමද්දන නහාපන සම්බාහනේන යනු ඒ පුතා උරහිස්වල හුන්නාවූම මවුපියන්ට දුගඳ දුරුකරනු සඳහා සුවඳවත්කරන සුවඳ ගැල්වීමෙන්ද මහන්සිය දුරුකරනු සඳහා සුවඳවත්කරන සුවඳ ගැල්වීමෙන්ද මහන්සිය දුරුකරනු සඳහා අත්පිරිමැදීමෙන් ශීත උෂ්ණකාලයෙහිද උණුසුම් සිසිල් දිය නැහැවීමෙන්ද අත්පාආදිය ඇදීම් පෙළීම් සංඛ්‍යාත පිරිමැදීමෙන්ද උවටැන් කරන්නේයි. තෙ ච තත්‍ථෙව යනු ඒ මවුපියෝ ඒ උරහිස්වල හුන්නාහුම මළමූ කරන්නාහුය. නත්‍ථෙව භික්‍ඛවෙ යනු මහණෙනි, මෙසේද මවුපියන්ට උවටැන් කරනලද්දේ හෝ ප්‍රතිඋපකාර කරනලද්දේ නොවේමය.
ඉස්සරියාධිපචේච රජේජ යනු සක්විති රාජ්‍යය සඳහාම මෙය කියනලදී. ආපාදකා යනු වඩන්නෝ, බලාහදා ගන්නෝයි. පුත්තු මවුපියන් විසින් වඩනලද්දාහු මෙන්ම බලාහදාගන්නාලද්දාහුද වෙති. පොසකා යනු අත්පා වඩා හදවත් ලෙය පොවා පෝෂණය කරනලද්දෝයි පුත්තු මවුපියන් විසින් පෝෂණය කරනලද්දාහු වඩනාලද්දාහු ආහාරපානාදියෙන් පිළිදැඟුම් කරනලද්දාහුය. ඉමස්ස ලොකස්ස දස්සෙතාරො යනු ඉදින් මවුපියෝ උපන් දිනයෙහිම් පුතු පයින් ගෙන කැලයක හෝ නදියක හෝ ප්‍රපාතයක හෝ දමන්නාහුනම් මෙලොව ඉටුඅනිටු අරමුණු නොදක්නේය. එසේ නොකොට වැඩූබැවින් පෝෂණය කළබැවින් මෙතෙම මෙලොව ඉටුඅනිටු අරමුණු මවුපියන් නිසා බලන්නේනුයි ඒ මව්පියෝ එම පුතුගේ මෙලොව දක්වන්නෝ නම් වෙත්. සමාදපෙති යනු ගන්වයි. මේ සූත්‍රයෙහි ශ්‍රද්ධා ශීල ත්‍යාග ප්‍රඥා යන මේවා ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවම කියනලද්දේය. දම්සෙනෙවි සැරියුත් තෙරුන් වැනිවූම භික්‍ෂුව ඒ ධර්මයන්හි පිහිටුවයි නමැයි දතයුතුය.
2. 1. 4. 3
‘තුන්වැන්නෙහි තෙනුපසඞ්කමි යනු ඒ බමුණු තෙමේ ශ්‍රමණ භවත් ගෞතමයන්වහන්සේ කියනලද්ද විසඳනසේක. අසනලද ප්‍රශ්නයට වැරදීමක් නම් නැත. මම ඔහුට වරදින ප්‍රශ්නයක් සකස් කරන්නෙමි’යි රසවත් බොජුන් වළඳා ගැබ්දොර වසාගෙන හුන්නේ සිතීමට පටන්ගත්තේය. ඉක්බිති ඔහුට මෙසේ අදහස් විය. ‘මෙතැන උස්හඬ මහහඬද වැඩෙයි. සිත එකඟ නොවෙයි. බිම්ගෙයක් තනවන්නෙමි’ යනුවෙනි. (එසේ) බිම්ගෙයක් තනවා එහි පිවිස ‘මෙසේ අසනලද්දේ මෙසේ කියනනේය. මෙසේ අසනලද්දේ මෙසේ කියන්නේය’යි එකක් ගෙන එකක් විසඳමින් මුළු දිනයෙන්ම කිසි (ප්‍රශ්නයක්) දැකීමට නොහැකිවිය. ඔහුට මේ ක්‍රමයෙන්ම මාස සතරක් ඉකුත් විය. හෙතෙම සිවුමසකට ඇවෑමෙන් උභතොකොටිකනම් ප්‍රශ්නයක් දුටුවේය. ඔහුට මෙසේ අදහසක් විය: ‘මම ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත එළඹ, ඔබ කවරවාදියෙක් වන්නෙහිදැයි අසමි. ඉදින් කිරියවාදී වෙමැයි කියයි නම් නුඹවහන්සේ සියලු අකුශලයන්ට ක්‍රියාවක් කියන්නහුදැයි නිග්‍රහ කරන්නෙමි. ඉදින් අකිරියවාදී වෙමැයි කියයි නම් නුඹවහන්සේ කුශලධර්‍මයන්ට ක්‍රියාවක් නැතැයි කියන්හුදැයි ඔහුට නිග්‍රහ කරන්නෙමි. මේ උභතොකොටික ප්‍රශ්නය අසන ලද්දේ වමාරන්නටත් ගිලීමටත් නොහැකිවෙයි. මෙසේ මට ජය වෙයි. ශ්‍රමණ ගෞතමයන්ට පරාජය වේ’යයි නැගිට අපොළා බිම් ගෙයින් නික්ම මෙබඳු ප්‍රශ්නයක් අසන්නෙකු විසින් තනිව යාමට නොවටීයයි නුවර බෙරහසුරුවා සියලු නුවරුන් විසින් පිරිවරනලද්දේ භාග්‍යවතුන්වහන්සේ යම් තැනකද එතැනට එළිඹියේය. කිංචාදී යනු කවර ලබ්ධිකයෙක්ද යනුයි. කිමක්‍ඛායී යනු ශ්‍රාවකයන්ට කවර නම් ප්‍රතිපදාවක් කියනනේදැයි අසයි. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ඔහු සිවුමසකින් ප්‍රශ්නයක් සකස් කොටගෙන මවිසින් ශ්‍රමණ භවත් ගෞතමයන්ට පරාජය ගෙන දෙන ප්‍රශ්නයක් දක්නාලදැයි මානව දැඩිවගෙන ආබව දැන එක් පදයකින්ම ඒ ප්‍රශ්නය බිඳිමින් බමුණ, මම කිරියවාදීවෙමැයි වදාළසේක. ඉක්බිති බමුණා තම මානය ඉවතලා භාග්‍යවතුන්වහන්සේට ආයාචනය කරමින් ‘යම්සේ කෙසේ වනාහි’ යනාදිය කීවේය. මෙහි සෙස්ස පැහැදිලිමය.