ඉස්සරියාධිපචේච රජේජ යනු සක්විති රාජ්යය සඳහාම මෙය කියනලදී. ආපාදකා යනු වඩන්නෝ, බලාහදා ගන්නෝයි. පුත්තු මවුපියන් විසින් වඩනලද්දාහු මෙන්ම බලාහදාගන්නාලද්දාහුද වෙති. පොසකා යනු අත්පා වඩා හදවත් ලෙය පොවා පෝෂණය කරනලද්දෝයි පුත්තු මවුපියන් විසින් පෝෂණය කරනලද්දාහු වඩනාලද්දාහු ආහාරපානාදියෙන් පිළිදැඟුම් කරනලද්දාහුය. ඉමස්ස ලොකස්ස දස්සෙතාරො යනු ඉදින් මවුපියෝ උපන් දිනයෙහිම් පුතු පයින් ගෙන කැලයක හෝ නදියක හෝ ප්රපාතයක හෝ දමන්නාහුනම් මෙලොව ඉටුඅනිටු අරමුණු නොදක්නේය. එසේ නොකොට වැඩූබැවින් පෝෂණය කළබැවින් මෙතෙම මෙලොව ඉටුඅනිටු අරමුණු මවුපියන් නිසා බලන්නේනුයි ඒ මව්පියෝ එම පුතුගේ මෙලොව දක්වන්නෝ නම් වෙත්. සමාදපෙති යනු ගන්වයි. මේ සූත්රයෙහි ශ්රද්ධා ශීල ත්යාග ප්රඥා යන මේවා ලෞකික ලෝකෝත්තර මිශ්රකවම කියනලද්දේය. දම්සෙනෙවි සැරියුත් තෙරුන් වැනිවූම භික්ෂුව ඒ ධර්මයන්හි පිහිටුවයි නමැයි දතයුතුය.
2. 1. 4. 3
‘තුන්වැන්නෙහි තෙනුපසඞ්කමි යනු ඒ බමුණු තෙමේ ශ්රමණ භවත් ගෞතමයන්වහන්සේ කියනලද්ද විසඳනසේක. අසනලද ප්රශ්නයට වැරදීමක් නම් නැත. මම ඔහුට වරදින ප්රශ්නයක් සකස් කරන්නෙමි’යි රසවත් බොජුන් වළඳා ගැබ්දොර වසාගෙන හුන්නේ සිතීමට පටන්ගත්තේය. ඉක්බිති ඔහුට මෙසේ අදහස් විය. ‘මෙතැන උස්හඬ මහහඬද වැඩෙයි. සිත එකඟ නොවෙයි. බිම්ගෙයක් තනවන්නෙමි’ යනුවෙනි. (එසේ) බිම්ගෙයක් තනවා එහි පිවිස ‘මෙසේ අසනලද්දේ මෙසේ කියනනේය. මෙසේ අසනලද්දේ මෙසේ කියන්නේය’යි එකක් ගෙන එකක් විසඳමින් මුළු දිනයෙන්ම කිසි (ප්රශ්නයක්) දැකීමට නොහැකිවිය. ඔහුට මේ ක්රමයෙන්ම මාස සතරක් ඉකුත් විය. හෙතෙම සිවුමසකට ඇවෑමෙන් උභතොකොටිකනම් ප්රශ්නයක් දුටුවේය. ඔහුට මෙසේ අදහසක් විය: ‘මම ශ්රමණ භවත් ගෞතමයන් වෙත එළඹ, ඔබ කවරවාදියෙක් වන්නෙහිදැයි අසමි. ඉදින් කිරියවාදී වෙමැයි කියයි නම් නුඹවහන්සේ සියලු අකුශලයන්ට ක්රියාවක් කියන්නහුදැයි නිග්රහ කරන්නෙමි. ඉදින් අකිරියවාදී වෙමැයි කියයි නම් නුඹවහන්සේ කුශලධර්මයන්ට ක්රියාවක් නැතැයි කියන්හුදැයි ඔහුට නිග්රහ කරන්නෙමි. මේ උභතොකොටික ප්රශ්නය අසන ලද්දේ වමාරන්නටත් ගිලීමටත් නොහැකිවෙයි. මෙසේ මට ජය වෙයි. ශ්රමණ ගෞතමයන්ට පරාජය වේ’යයි නැගිට අපොළා බිම් ගෙයින් නික්ම මෙබඳු ප්රශ්නයක් අසන්නෙකු විසින් තනිව යාමට නොවටීයයි නුවර බෙරහසුරුවා සියලු නුවරුන් විසින් පිරිවරනලද්දේ භාග්යවතුන්වහන්සේ යම් තැනකද එතැනට එළිඹියේය. කිංචාදී යනු කවර ලබ්ධිකයෙක්ද යනුයි. කිමක්ඛායී යනු ශ්රාවකයන්ට කවර නම් ප්රතිපදාවක් කියනනේදැයි අසයි. ඉක්බිති භාග්යවතුන්වහන්සේ ඔහු සිවුමසකින් ප්රශ්නයක් සකස් කොටගෙන මවිසින් ශ්රමණ භවත් ගෞතමයන්ට පරාජය ගෙන දෙන ප්රශ්නයක් දක්නාලදැයි මානව දැඩිවගෙන ආබව දැන එක් පදයකින්ම ඒ ප්රශ්නය බිඳිමින් බමුණ, මම කිරියවාදීවෙමැයි වදාළසේක. ඉක්බිති බමුණා තම මානය ඉවතලා භාග්යවතුන්වහන්සේට ආයාචනය කරමින් ‘යම්සේ කෙසේ වනාහි’ යනාදිය කීවේය. මෙහි සෙස්ස පැහැදිලිමය.
2. 1. 4. 4
සිවුවෙනි සූත්රයෙහි දක්ඛිණෙය්යා යනු දානය දක්ඛිණායි කියනුලැබේ. එය පිළිගැනීමට සුදුසු පුද්ගලයෝ කීදෙනෙක්දැයි අසයි. සොඛො යන මෙයින් ශෛක්ෂයන් සත්දෙනා දක්වයි. මෙහිද සිල්වත් පුහුදුන් පුද්ගලයාද සෝවාන්වුවන් අතරෙහිම ඇතුළත් කරනලදී. ආහුනෙය්යා යජමානානං හොන්ති යනු දන් දෙන්නවුන්ගේ පූජාවට සුදුසු ප්රතිග්රාහකයෝ නම්වෙතැයි අර්ත්ථයි. ඛෙත්තං යනු (දාන) වස්තු ප්රතිෂ්ඨාවයි. පින වැඩෙන තැන යන අරුත්ය.
2. 1. 4. 5
පස්වැන්නෙහි පුබ්බාරාමෙ යනු සැවතින් පෙරදිගෙහි කරනලද අරමෙහියි. මිගාරමාතුපාසාදෙ යනු විශාඛා උවැසියගේ පහයෙහියි. ඕතොමෝ මිගාර සිටුගේ මවු තනතුරෙහි තබලනලද බැවින්ද සියල්ලනට වැඩිමහල් පුතුට ආර්ය්යක සිටුවරයාට මෙන් සමාන නමක් ඇති බැවින්ද මිගාරමාතායි කියනුලැබේ. ඇයවිසින් කරවනලද ගැබ්දහසක් ඇති ප්රාසාදය මිගාරමාතු පාසාද නම්වෙයි. තෙරුන්වහන්සේ එම වෙහෙරෙති වසති. තත්රඛො ආයස්මා සාරිපුත්තො යනු එම පහයෙහි වසන්නාවූ දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝයි.
භික්ඛූ ආමන්තෙසි යනු කවරකලෙක ඇමතුවේද යත්? ඇතැම් සූත්රයෝ පෙරබතෙහි කියනලද්දේ වෙත් ඇතැම් සූත්රයෝ පසුබතෙහිද ඇතැම් සූත්රයෝ පෙරයමෙහිද ඇතැම් සූත්රයෝ මැදුම් යමෙහිද ඇතැම් සූත්රයෝ පැසුලු යමෙහිද කියනලද්දාහුවෙත්. මේ සමචිත්තපටිපදා සූත්රය පසුබතෙහි දෙසනලදී. එහෙයින් සවස්යාමයෙහි ඇමතීය.
මෙය හුදෙක් තෙරුන්වහන්සේ විසින්ම කියනලද්දක් නොවේ. තථාගතයන්වහන්සේ විසින්ද කියනලද්දකි. කොහි හිඳදයත්? විශාඛාවගේ රුවන්පහයෙහි හිඳයි. තථාගතයන්වහන්සේ වනාහි ප්රථම බෝධියෙහි නිත්යවාසී නොවී යම්යම් තැනක පහසුවේද ඒ ඒ තැනටම ගොස් විසූසේක. පළමු ඇතුළ්වස ඉසිපතනයෙහි දම්සක් පවත්වා මහබඹුන් අටළොස් කෙළකට අමා පැන් පොවා බරණැස ඇසුරුකොට ඉසිපතනයෙහි විසූසේක. දෙවැනි ඇතුළ්වස රජගහනුවර ඇසුරුකොට ඉසිපතනයෙහි විසූසේක. දෙවැනි ඇතුළ්වස රජගහනුවර ඇසුරුකොට වේළුවනයෙහිද තෙවෙනි සිවුවෙනි ඇතුළුවස් එහිමද පස්වෙනි ඇතුළුවස විශාලාව ඇසුරු කොට මහාවනයෙහි කූටාගාරශාලාවෙහිද සවෙනි ඇතුළුවස මඬකුල පර්වතයෙහිද සත්වෙනි වස තව්තිසාවෙහිද අටවෙනි ඇතුළුවස භග්ගජනපදයෙහි සුංසුමාර පර්වතය ඇසුරුකොට හෙසකලාවනයෙහිද නවවැන්න කොසඹෑවෙහිද දසවැන්න පාරිලෙය්යක වනලැහැබෙහිද එකොළොස් වැන්න නාලා නම්වූ බමුණුගමෙහිද දොළොස්වැන්න වේරඤ්ජාවෙහිද තෙළෙස්වැන්න චාලිය පව්වෙහිද තුදුස්වැන්න දෙව්රමෙහිද පසළොස්වැන්න කිඹුල්වතෙහිද සොළොස්වනැන්න ආළවක යකු දමනයකොට ප්රාණීන් අසූසාරදහසකට අමාපැන් පොවා අළව් නුවරෙහිද සතළොස්වැන්න රජගහ නුවරෙහිමද අටළොස්වැන්න චාලිය පර්වතයෙහිමද එකුන්විස්සද එසේමය. විසිවැනි ඇතුළුවස වනාහි රජගහනුවරම ඇසුරුකොට විසූසේක. මෙසේ විසිවසක් නිත්යවාසීනොවී යම්යම් තැනක පහසුවේද ඒ ඒ තන්හිම විසූසේක.