2. 1. 3. 2
දෙවෙනි සූත්‍රයෙහි අබ්භාචික්‍ඛං යනු යටපත් කොට කියති, නොසිදුවූ දෙයින් කියතියි. දොසන්තරො යනු ඇතුළත පිහිටි දොසයි. මෙබන්දෙක් වනාහි ශ්‍රමණ ගෞතමයන්ට උතුරුමිනිස් දහමක් නැතැයි ආදිය කියමින් සුනක්‍ඛත්ත මෙන් තථාගතයන්වහන්සේගේ ඇති ගුණය වසා පවසයි. සදේවා වා දුග්ගහීතෙන යනු යමෙක් හෝ නුවණනැති ශ්‍රද්ධාවෙන් අතිශ්‍රද්ධාවන්තයෙක්වේද මෝඩලෙස පැහැදුනේවේද හෙතෙමේත් බුදුන්වහන්සේ නම් සියල්ලෙන්ම ලෝකෝත්තරය. උන්වහන්සේගේ කෙස් ආදී සියලු කොටස් දෙතිසම ලෝකෝත්තරමයයි ආදි ක්‍රමයෙන් වැරදි ලෙස ගෙන බුදුන්වහන්සේට නොමැති දෙය ඇතිදෙය ලෙස කථාකරයි. තෙවැනි සූත්‍රය ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.
2. 1. 3. 4
සතරවෙනි සූත්‍රයෙහි නෙය්‍යත්‍ථං සුත්තන්තං යනු යම් සූත්‍රයක අර්‍ත්‍ථය පැමිණවිය යුතුවේද එය පැමිණවිය යුතු අර්‍ත්‍ථ ඇති සූත්‍රාන්තයකි. නීතත්‍ථො සූත්තන්තොති දීපෙති යනු මේ සූත්‍රාන්තය කියනලද අර්‍ත්‍ථ ඇත්තේයයි පවසති. එහි එකපුග්ගලො භික්‍ඛවෙ, දෙවමෙ භික්‍ඛවෙ පුග්ගලා, තයොමෙ භික්‍ඛවෙ පුග්ගලා, චත්තාරොමෙ භික්‍ඛවෙ පුග්ගලා යන මෙබඳුවූ සූතාන්තය නෙය්‍යත්‍ථ නම් වෙයි. මෙහි වනාහි සම්මාසම්බුදුන් විසින් ‘මහණෙනි එක් පුද්ගලයෙක්, යනාදී කිසිවක් පවසනලද්දේද පරමාර්‍ත්‍ථවශයෙන් පුද්ගලයෙක් නැතැයි මෙසේ එහි අර්‍ත්‍ථය පැමිණවිය යුත්තේමවෙයි. මෙතෙම වනාහි තමන්ගේ මෝඩකමින් මේ සූත්‍රාන්තය නීතාත්‍ථී ඇත්තේය, පරමා අර්‍ත්‍ථවශයෙන් පුද්ගලයෙකු නොමැතිකල්හි තථාගයන්වහන්සේ ‘මහණෙනි එක් පුද්ගයෙක්, යනාදිය නොකියන සේක. යම්හෙයකින් එසේ කියනලද්දේද එහෙයින් පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගලයෙක් ඇතැයි ගනිමින් ඒ නෙය්‍යාර්‍ත්‍ථ සූත්‍රාන්තය නීතාර්‍ත්‍ථසූත්‍රාන්තයකැයි ප්‍රකාශ කරයි. නීතත්‍ථං යනු අනිත්‍යය, දුක්‍ඛ්‍ය, අනත්තයයි මෙසේ කියනලද අර්‍ත්‍ථ ඇත්තේයි. මෙහි වනාහි අනිත්‍යවේමය. දුක්‍ඛවේමය, අනාත්මවේමයයි අර්‍ත්‍ථයි. මෙතෙම වනාහි තමන්ගේ මෝඩකමින් මේ සූත්‍රාන්තය පමුණුවනලද අර්‍ත්‍ථ ඇත්තේය. මෙහි අර්‍ත්‍ථය ගෙනහැර දක්වමියි නිත්‍යයක් ඇත සුඛයක් ඇත. අනාත්මයක් ඇතැයි ගනිමින් නීතාර්‍ත්‍ථ සූත්‍රාන්තය නෙය්‍යාර්‍ත්‍ථ සූත්‍රාන්තයකැයි ප්‍රකාශකරයි නමි. පස්වෙනි සූත්‍රාන්තය ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.
2. 1. 3. 6
සයවැන්නෙහි පටිච්ඡන්නකම්මන්තස්ස යනු පාපකර්‍මයාගේයි. පාපය වනාහි සඟවා කරත්, සඟවා නොකරතත් පාපකර්‍මය සැඟවුණක්මයයි කියනුලබයි. නිරයො යනු අවකාශ සහිත ස්කන්‍ධයෝයි. තිරිසන් යෝනියෙහි ස්කන්‍ධයෝද ලබත්
2. 1. 3. 9
නවවැන්නෙහි පටිග්ගාහා යනු ප්‍රතිග්‍රාහක (පිළිගන්නෝ)යි කරුණු දෙකක් දුසිල්වත් පුද්ගලයකු පිළිගනියි යන අර්‍ත්‍ථයි.
2. 1. 3. 10
දසවැන්නෙහි අත්‍ථවසෙ යනු කාරණයෝයි. අරඤෙඤචනපත්‍ථානි යනු ආරණ්‍ය සහ වනාශ්‍රමයි. එහිදී අභිධර්‍මයෙහි නිෂ්පර්යාය වශයෙන් ඉන්‍ද්‍රඛීලයෙන් පිටත සියල්ල ආරණ්‍යයි කියනලදී. එසේම දුනු පන්සියයකින් පසුවූ ආරණ්‍යකාංගය නිෂ්පාදනය කරන්නාවූ යම් සෙනසුනක් කියනලද්දේද එයම අදහස් කරනලදැයි දතයුතුය. වනපත්‍ථං යනු ග්‍රාමානත්ය ඉක්මවා මිනිසුන්ට උපචාරය නොවූ නොසාන නොවපුරන තැනයි. පන්තානි යනු ඈත්වූ දුරවූ තැන යනුයි. දිට්ඨධම්මසුඛවිහාරං යනු ලෞකික ලෝකෝත්තරවූ පහසු පැවැත්මයි. පච්ජිමං ජනතා අනුකමප්මානො යනු අනාගතයෙහි මගේ ශ්‍රාවකයන්ට අනුකම්පා කරමින් යනුයි.
2. 1. 3. 11
එකොළොස් වැන්නෙහි විජ්ජාභාගියා යනු විද්‍යා කොට්ඨාශයට අයත්දේයි. සමථො යනු සිතේ එකඟතාවයි. විපස්සනා යනු සංස්කාරයන් පරීක්‍ෂා කිරීමේ නුවණයි. කමත්‍ථං අනුහොති යනු කවර අර්‍ත්‍ථයක් ආරාධනය කරයිද සපයයිද සුපරයිද යනුයි. චිත්තං භාවියති යනු මාර්‍ගසිත වඩයි වර්‍ධනය කරයි යනුයි. යො රාගො සො පහීයති යනු යම් රැඳීම් වශයෙන්වූ රාගයක් වේද එය දුරුවෙයි. රාගය මාර්‍ගසිතට ප්‍රතිපක්‍ෂය මාර්‍ගචිත්තය රාගයටද ප්‍රතිපක්‍ෂය, රාගක්‍ෂණයෙහි මාර්‍ගසිත නැත. මාර්‍ගචිත්තක්‍ෂණයෙහි රාගය නැත. යම්විටක රාගය උපදියිද එවිට මාර්‍ගසිතේ උපත වළක්වයි. පිහිටිතැන සිඳලයි. යම්විටෙක මාර්‍ග සිත උපදියිද එවිට රාගය මුල්සහිතව උගුළුවා විනාශ කරමින්ම උපදියි. එබැවින් රාගය ප්‍රහීන වේයයි කියනලදී.
විපස්සනා භාවිතා යනු විදර්‍ශනාඥානය වඩනලදී. වර්‍ධනය කරනලදී. පඤ්ඤ භාවීයති යනු මාර්‍ගප්‍රඥාව දියණුකරයි. වඩයි, වර්‍ධනය කරයි. යා අවිඡ්ඡා සා පහීයති යනු අටතැනකවූ සංසාරමූලක මහා අවිද්‍යාව දුරුවෙයි. අවිද්‍යාව මාර්‍ග ප්‍රඥාවට ප්‍රතිපක්‍ෂය, මාර්‍ගප්‍රඥාව අවිද්‍යාවට ප්‍රතිපක්‍ෂය, අවිද්‍යාව ඇතිවට මාර්‍ගප්‍රඥාව නැත. මාර්‍ග ප්‍රඥාව ඇතිවිට අවිද්‍යාව නැත. යම්විටක අවිද්‍යාව උපදියිද එවිට මාර්‍ගප්‍රඥාවේ උපත වළක්වයි. පිහිටි තැන සිඳලයි. යම්විටක මාර්‍ග ප්‍රඥාව උපදියිද එවිට මුල්සහිත අවිද්‍යාව උගුළුවා සහමුලින් වනසමින්ම උපදියි. එහෙයින් අවිද්‍යාව පහවේයයි කියනලදී. මෙසේ මාර්‍ගසිත මාර්‍ගප්‍රඥා යන එකට උපන් ධර්‍මදෙකම කියනලදී.