7. ගොපාලක සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි එකනාළිකා, චතුරස්සා නිසින්නවත්තිකා යනුවෙන් කථා තුනෙකි. එහි පෙළ කියා එක් එක් පදයට අර්ත්ථය කීම එකනාළිකා නමි. අනුවණ ගොපල්ලා දක්වා අනුවණ භික්ෂුව දක්වා නුවණැති ගොපල්ලා දක්වා නුවණැති භික්ෂුව දක්වායි චතුෂ්කයක් බැඳ කීම චතුරස්සා නමි. නුවණ නැති ගොපල්ලා දක්වා අවසාන ගමන, නුවණැති භික්ෂුව දක්වා අවසාන ගමන, නුවණැති ගොපල්ලා දක්වා අවසාන ගමන, නුවණැති භික්ෂුව දක්වා අවසාන ගමන යන මෙය නිසින්නවත්තිකා නමි. මෙහි මෙය සියලු ආචාර්ය්යවරුන්ගේ පුරුද්දයි.
එකාදසහි භික්ඛවෙ අඞ්ගෙහි යනු එකළොස් නුගුණ කොටස්වලිනි, ගොගණං යනු ගවසමූහයයි, පරිහරිතුං යනු ගෙන හැසිරීමටයි, ඵාතිකත්තුං යනු වැඩීමට පැමිණවීමටයි, ඉධ යනු මෙලොවෙහියි, න රූපඤ්ඤු හොති යනු ගණන් වශයෙන් හෝ පැහැය වශයෙන් හෝ නොදනියි, ගණන් වශයෙන් රූපය නොදනියි යනු තමාගේ ගොනුන් සියය ද දහස දැයි සංඛ්යාව නොදනියි, හෙතෙම දෙනුන් ගෙන ආකල්හි හෝ පලාගිය කල්හි ගවසමූහයා ගැණ අද මෙපමණ දෙන්නු නොදක්නා ලැබෙතියි ගම් දෙකතුනක හෝ වනයෙහි හෝ හැසිරෙන්නේ සොයා නොබලයි. වෙනත් දෙනුන් තමන්ගේ ගවසමූහයට එක්වූවිට ගව සමූහය ගැණ පෙමණ මේ දෙන්නු අපේ නොවෙත්යැයි යටියෙන් ගසා ඉවතට නොවයවයි, ඔහුගේ නැති වූ දෙන්නු නැතිවූවාහු වෙත්. අනුන්ගේ දෙනුන් රැගෙන හැසිරෙයි. ගවයන් හිමිකරුවෝ දැක මෙතෙම මෙපමණ කලක් අපගේ දෙනුන්ගෙන් කිරි දෙවීයයි තර්ජනය කොට තමන්ගේ දෙනුන් රැගෙන යති. ඔහුගේ ගව සමූහය ද පිරිහෙයි. පස්ගෝ රස පරිභෝගයෙන් බැහැර වූයේ ද වෙයි. පැහැය වශයෙන් නොදනියි නම් මෙපමණ දෙන්නු සුදුය, මෙපමණ රතුය, මෙපමණ කළුය, මෙපමණ මඳ රතුයයි නොදනියි. හෙතෙම දෙනුන් ගෙනා විට හෝ පළාගියවිට හෝ -පෙ- පස්ගෝ රස පරිභෝගයෙන් ද බැහැර වෙයි.
න ලක්ඛණ කුසලො හොති යනු දෙනුන්ගේ සිරුරෙහි කරන ලද දුනු, සැත්, හුල් ආදී වෙනස්කම් ඇති ලකුණ නොදනියි. හෙතෙම දෙනුන් ගෙනා කල්හි හෝ පළාගිය කල්හි හෝ අද අසුවල් අසුවල් ලකුණු ඇති ගවයෝ නොදක්නා ලැබෙතියි - පෙ- පස්ගෝරස පරිහෝගයෙන් ද බැහැර වූයේ වෙයි.
න ආසාටිකං සාටෙතා යනු ගොනුන්ගේ කණු කටු ආදියෙන් පහරලද තන්හි වණයක් වෙයි. එහි නිල මැස්සෝ බිජු දමති. ඒ බිජු දණ්ඩකින් ඉවත් කොට ඒ ගවයන්ට ආසාටිකා නම් වූ බෙහෙත දියයුතුය. නුවණ නැති ගොපලු තෙමේ එසේ නොකරයි. එහෙයින් “න ආසාටිකං සාටෙතා හොති”යි කියන ලදි. ඔහුගේ ගවයන්ගේ තුවල වැඩෙයි. ගැඹුරු වෙයි. පණුවෝ කුසට පිවිසෙත්. ගවයෝ ගිලන් බවින් මඬනා ලද්දාහු ඇතිපමණ තණ කෑමට ද දිය බීමට ද නොහැකි වෙයි. එහි දෙනුන්ගේ කිරි සිඳෙයි. ගොනුන්ගේ ශක්තිය පිරිහෙයි. ගොනුන් දෙනුන් යන දෙපිරිසටම ජීවිත අනතුරක් ද වෙයි. මෙසේ ඔහුගේ ගවසමුහය පිරිහෙයි. - පෙ- පස්ගෝ රසයෙන් බැහැරවූයේ ද වෙයි.
න වණං පටිච්ඡාදෙතා හොති යනු ගොනුන්ට කියනලද පරිද්දෙන් වණ හටගත් විට බෙහෙත් දී පොත්තෙන් හෝ සුඹුලෙන් හෝ වැසිය යුත්තේ වෙයි. මෝඩ ගොපල්ලා එය නොකරයි. අවශ්යයෙන්ම ගවයන්ගේ වණයන්ගෙන් යුෂ වැගිරෙයි. ඔවුහු ඔවුනොවුන්ගේ ඇඟේ ගැටෙති, එයින් අනෙකුන්ට ද වණයෝ හටගනිති. මෙසේ ගවයෝ ගිලන්බවින් මැඬුනාහු ඇති පමණට තණ කන්නට ද දිය බොන්නට ද නොහැකි වෙති, -පෙ- බැහැරවූයේ වෙයි.
න ධූමං කත්තා හොතී යනු ඇතුළුවස මැසිමඳුරුවන් වැඩි කල්හි ගවසමූහය ගවමඩුවට පැමිණි විට ඒ ඒ තන්හි දුම් ගැස්විය යුතුය. නුවණ නැති ගොපල්ලා එය නොකරයි. ගව සමූහය සියලු රැය මැසි ආදීන්ගෙන් උවදුරු විඳ නින්ද නොලබා දෙවැනි දිනයෙහි වනයෙහි ඒ ඒ ගස්මුල වැදහෙව නිදයි. ඇති පමණ තණ කන්නට හෝ -පෙ- බැහැරවූයේ වෙයි.
න තිත්ථං ජානාති යනු තොටුපල සම ද විෂම ද ග්රහණය සහිත ද ග්රහණය රහිතදැයි නොදනියි. හෙතෙම නොතොටින් දෙනුන් එතරකරවයි. විසම තොටෙහි ගල් ආදියෙහි ඇක්මෙන ඔවුන්ගේ පා බිඳෙයි. ග්රහණය සහිත ගැඹුරු තොටට බට කල කිඹුල් ආදීහු ගවයන් අල්වා ගනිත්. අද මෙපමණ ගවයෝ නටුවාහුය අද මෙපමණ නටුවාහයි කිවයුතු බවට පැමිණෙයි. මෙසේ ඔහුගේ ගවසමූහය ද පිරිහෙයි -පෙ- පස්ගෝ රසයෙන් බැහැර වූයේ ද වෙයි.
න පීතං ජානාති යනු බොන ලද්දේයි නොදනියි. මේ දෙන විසින් බොන ලද්දේය. මේ දෙන විසින් නොබොන ලද්දේය, මැය විසින් පැන්තොටෙහි ඉඩලද්දේය. මැය විසින් ඉඩ නොලද්දේයයි මෙසේ බිව් නොබිව් බව ගොපල්ලකු විසින් දතයුතුය. මෙතෙම වනාහි දහවල වනයෙහි ගවසමූහය රැක බලා දිය පොවන්නෙමැයි ගඟට හෝ විලට බස්සවා යයි. එහි මහා ගොන්නු ද බලවත් දෙන්නු ද දුබල මෙන්ම මහඑ ගවයන්ට අංවලින් හෝ ඉල ඇටවලින් පහරදී තමන්ගේ ඉඩ ගෙන කළවා පමණ දියට පිවිස කැමති පරිද්දෙන් බොති. සෙස්සෝ ඉඩ නොලබමින් ඉවුරෙහි සිට මඩමුසු දිය බොත්. නැතහොත් නොබී සිටියාහු වෙත්. ඉක්බිති එම ගොපල්ලා පිටට ගසා (ගවයන් ගෙන) යළි වනයට පිවිසෙයි. එහි දිය නොබොනලද දෙන්නු පිපාසයෙන් වියලෙමින් ඇති පමණ තණ කෑමට නොහැකි වෙයි. එහි දෙනුන්ගේ කිරි සිඳෙයි. ගොනුන්ගේ ජවය පිරිහෙයි. -පෙ- බැහැර වූයේ වෙයි.