6. අට්ඨකනාගර සූත්ර වර්ණනාව
සවැන්නෙහි දසමො යනු ජාතිගොත්ර වශයෙන් මෙන්ම සරුබවට පත් කුල ගණනින් ද දසවැනි තැන්හි සලකන්නේය. එහෙයින් දසම යනුවෙන් නමක් විය. අට්ඨකනාගරො යනු අට්ඨක නුවර වැසිවූයි, කුක්කුටාරාමෙ යනු කුක්කුට සිටු විසින් කරවන ලද අරමෙහියි,
තෙන භගවතා -පෙ- සම්මදක්ඛාතො යනු මෙහි මේ කෙටි අරුතයි. ඒ භාග්යවතුන් වහන්සේ සමතිස් පෙරුම්පුරා සියලු කෙලෙසුන් බිඳ අනුත්තර වූ සම්මාසම්බෝධිය අවබෝධ කළ සේක්ද තෙන භගවතා ඒ භාග්යවතුන් වහන්සේ විසිනි, ඒ ඒ සත්ත්වයන්ගේ ආසය අනුසය (දන්නාවූ) ජානතා අත්ලෙහි තැබූ අරළුවක් මෙන් සියලු දතයුතු දහම් (දකින්නාවූ) පස්සතා තව ද පෙරවිසූ කඳපිළිවෙල ආදිය දන්නාවූයි, දිවැසින් දකින්නාවූයි, ත්රිවිද්යාවෙන් හෝ අභිඥා සයෙන් හෝ දන්නාවූයි, සියලු තන්හි නොවළහන ලද සමතැසින් දකින්නාවූයි, සියලු දහම් දැනීමට සමත්වූ ප්රඥාවෙන් දන්නාවූයි, සියලු සතුන්ගේ චක්ෂුර්විෂය ඉක්මවූ ද බිත්තිවලින් පිටතවූ ද රූපයන් ඉතා පිරිසුදු මසැසින් හෝ දකින්නාවූයි, තමාගේ යහපත ඉටු කරන සමාධිය සමීප හේතුව කොට ඇති ප්රතිවේධ ප්රඥාවෙන් දන්නාවූයි, අනුන්ගේ යහපත සාධනය කරන කරුණාව ආසන්න හේතුව කොට ඇති දේශනා ප්රඥාවෙන් දක්නාවූයි, අනතුරුදායක ධර්මයන් හෝ දන්නාවූයි, නිවනට මෙහෙයවන දහම් දක්නාවූයි, කෙලෙස් සතුරන් නැසූ බැවින් (අරහත්) අරහතා වූයි, මැනවින් තමා විසින් සියලු දහම් අවබෝධ කළ බැවින් (සම්මා සම්බුදුවූ) සම්මා සම්බුද්ධෙන යනුයි, මෙසේ සිවු විශාරද බව වශයෙන් සිවුකරුණකින් පසසන ලද්දහු විසින් කියන ලද එක් ධර්මයක් ඇත්ද?
අභිසඞ්ඛතං යනු කරනලද, උපදවනලදයි, අභිසඤ්චෙතයිතං යනු සිතන ලද කල්පනා කරන ලදයි, සො තත්ථ ඨිතො යනු ඒ සමථ විදර්ශනා දහමෙහි සිටියා වූ හෙතෙමේයි. ධම්මරාගෙන ධම්මනන්දියා යනු දෙපදයෙන්ම සමථ විදර්ශනාවන්හි ඡන්දරාගය කියන ලදි. සමථ විදර්ශනාවන්හි මුළුමනින් ඡන්දරාගය මැඬලන්නට හැක්කේ රහත්වෙයි, නොහැක්කේ අනාගාමී වෙයි, හෙතෙම සමථ විදර්ශනාවන්හි ඡන්දරාගය ප්රහීන නොකළ බැවින් චතුර්ථධ්යාන චෙතනාවෙන් සුද්ධාවාසයෙහි උපදියි, මේ ආචාර්ය්යවරුන්ගේ සමානාර්ත්ථ කථාවයි.
විතණ්ඩවාදියා වනාහි “ඒ ධර්මරාගයෙන්ම යන වචනයෙන් අකුසලයෙන් සුද්ධාවසයෙහි උපදීදැ”යි කීවේය. ඒ විතණ්ඩවාදියාට සූත්රයක් ගෙනහැර දක්වයි කිවයුතුය. ඒකාන්තයෙන්ම වෙනත් සූත්රයක් නොදන්නේ මේ සූත්රයම ගෙනහැර දක්වන්නේය, ඉක්බිති කිම මේ සූත්රය පැහැදිලි අරුත් ඇත්තේ (නීතාර්ථ) ද පැහැදිලි කළයුතු අර්ත්ථ ඇත්තේ (නෙය්යාර්ථ) දැයි කිවයුතුය. ඒකාන්තයෙන්ම පැහැදිලි අරුත් ඇත්තේයයි කියයි. ඉක්බිති, “මෙසේ ඇති කල්හි අනාගාමි ඵලය කැමතිවන්නහු විසින් සමථ විදර්ශනාවන්හි ඡන්දරාග කළයුතු වන්නේය. ඡන්දරාගය උපදවන කල්හි අනාගාමි ඵලය ලැබුවේ වන්නේය. (එසේ නොකියන) සූත්රයක් මට නොලැබිණැ”යි කිවයුතුය. යම් ඒ දෙයක් දක්වයි ප්රශ්න නඟන්නහු විසින් ආචාර්ය්යයන් සමීපයෙහි උගෙන අර්ත්ථ රසය දැනගෙන කීමට වටීයි. අකුසලයෙන් ස්වර්ගයෙහි ද කුසලයෙන් අපායෙහි ද ප්රතිසන්ධියක් නම් නැත. භාග්යවතුන් වහන්සේ විසින්
“මහණෙනි, ලොභයෙන් උපන් කර්මයෙන් ද්වෙෂයෙන් උපන් කර්මයෙන් මොහයෙන් උපන් කර්මයෙන් දෙවියෝ නො පැනෙත්. මිනිස්සු නොපැනෙත්. යම්කිසි වෙනත් සුගතීහු ද නොපැනෙති. එහෙත් මහණෙනි, ලොභයෙන් හටගත් කර්මයෙන් ද්වෙෂයෙන් හටගත් කර්මයෙන් මෝහයෙන් හටගත් කර්මයෙන් නිරය පැනෙයි, තිරිසන් යෝනිය පැනෙයි, ප්රේත විෂය පැනෙයි, යම්කිසි වෙනත් දුගතීහු ද පෙනෙත්”යි යන මෙය කියන ලදි.
මෙසේ හැඟවිය යුතුයි. ඉඳින් හැඳින ගනියි ද හැඳින ගනිවා! හැඳින නොගන්නේ නම් යව උදයෙන්ම විහාරයට පිවිස කැඳ බොවයි යැවිය යුතුය.
අයං ඛො ගහපති එකධම්මො අක්ඛාතො යනු එක් ධර්මයක් අසන ලද්දහු විසින් මේ එක් ධර්මයක් ද කියනලදි, මේ එක් ධර්මයක්ද කියන ලදැයි මෙසේ ඇසීම් වශයෙන් කියන ලද බැවින් එකළොස් ධර්මයෝම එකධර්මයකැයි නම් කරන ලදි. අමා (නිවන්) ඉපදීමේ අර්ත්ථයෙන් හෝ සියල්ලම එක් ධර්මයකැයි කීමට වටියි.
නිධිමුඛං ගවෙසන්තොපි යනු නිධානයක් සොයන්නේයි, සකිදෙව යනු එක් ප්රයෝගයකින්මය, කෙසේනම් එක් ප්රයෝගයකින් එකොළොස් නිධියක් අධිගමනය වෙයිද? මෙහි යමෙක් වනයෙහි ජීවිකා වෘත්තිය සොයමින් හැසිරෙයි. යහපතෙහි හැසිරෙන්නා වූ වෙනත් කෙනෙක් ඔහු දැක පින්වත, කුමක් නිසා හැසිරෙහිදැයි අසයි. හෙතෙම ජීවිකා වෘත්තිය සොයමැයි කීවේය. අනෙකා එසේ නම් යහළුව, එන්න මේ ගල පෙරලවයි කීය. හෙතෙම එය පෙරලා මතුමත්තෙහි සිටි හෝ කුසෙන් කුස ගැටී සිටි හෝ සැළි එකොළසක් දකියි. මෙසේ එක් ප්රයෝගයෙන්ම එකොළොසක අවබෝධය වෙයි.
ආචරියධනං පරියෙසින්ති යනු අන්යතීර්ථකයෝ යමකු සමීපයෙහි ශිල්ප උගනිත්ද ඔහුට ශිල්ප ඉගෙනීමට කලින් හෝ පසුව හෝ අතරතුර හෝ ගෙදරින් ගෙනවුත් ධනය දෙත්. යමකුගේ ගෙහි (ධනය) නැත්ද ඔවුහු ඥාතිපාර්ශවයෙන් සොයති. යමෙකුට එය ද නැත්ද ඔවුහු සමාන වූවන්ගෙන් සොයති. එසේ නොලබන්නෝ භික්ෂාවෙහි වුව ද හැසිර දෙත්මය. එකරුණ සඳහා මෙය කියන ලදි.