7. මහාලි සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි මිච්ඡාපණිහිතං යනු වැරදිව තබන ලද්දාවූයි, අධම්මචරියා විසමචරියා යනු අකුශල කර්‍මපථ වශයෙන් අධර්‍මචර්යා සංඛ්‍යාත විෂම චර්යාවයි, සෙස්ස කුශල කර්‍මපථ වශයෙන් දතයුතුය. මෙසේ මෙහි මෙයම කියන ලදි.
8. දසධම්ම සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි පබ්බජිතෙන යනු ගිහිගෙයි විසීම අතහැර සසුනෙහි පැවිද්දට එළැඹි තැනැත්තා විසිනි, අභිණ්හං යනු නිතරයි, නැවත නැවතයි, පච්චවෙක්‍ඛිතබ්බා යනු බැලිය යුතුයි, සැලකිය යුතුයි, වෙවණ්ණියං යනු විවර්‍ණභාවයයි. ඒ මේ විවර්‍ණභාවය දෙවැදෑරුම් වෙයි, ශරීර විවර්‍ණභාවය හා පරිෂ්කාර විවර්‍ණභාවය යනුවෙනි, එහි කෙරැවුල් බෑමෙන් සිරුරෙහි විවර්‍ණ බව දතයුතුය. පෙර නොයෙක් අගරස බොජුන් රන්රිදී බඳුන්වල වළඳා සිරියහන් ගැබ්වල උතුම් සයනයන්හි වැදහෙව හිඳ ගිතෙල් වෙඬරු ආදියෙන් බෙහෙත් කොට ද පැවිදි වූ කාලයෙහි පටන් සිඳුණු ගැටලූ කසට රස පොවන ලද වස්ත්‍ර හැඳිය යුතුය, යකඩ පාත්‍රයෙහි හෝ මැටි පාත්‍රයෙහි මුසුබත බිදිය යුතුය. රුක්මුල් ආදී සෙනසුන්හි තණ ඇතිරිලි ආදියෙහි වැදහෙවිය යුතුය. සම්කඩ පැදුරුකඩමාලු ආදියෙහි හිඳියයුතුය. පූතිමුත්‍රාදියෙන් බෙහෙත් කළයුතුය. මෙසේ මෙහි පරිෂ්කාර විවර්‍ණත්වය දතයුතුය. මෙසේ සලකන්නාගේ මානය දුරුවෙයි.
පරපටිබද්ධා මෙ ජීවිකා යනු මගේ සිවුපස ජීවිකාව අනුන් හා බැඳුනේය, අනුන් අයත්යයි මෙසේ සලකන්නාගේ ඉරියව්ව ගැලපෙයි, ආජීවය පිරිසුදු වෙයි. පිණ්ඩපාතය ද ගරු කරන ලද්දේ වෙයි. සිවුපසයෙහි ප්‍රත්‍යවෙක්ෂා නොකළ පරිභෝගයක් නම් නොවෙයි. අඤ්ඤො මෙ ආකප්පො කරණීයො යනු උරය නෙරා ගෙල දැඩි කොට ලෙලෙන අයුරින් අනියතව පියවර තැබීමෙන් යන ආකාරයක් ගිහියන්ගේ වේද ඊට වෙනස් වූ ආකාරයක් (ආකල්පයක්) මා විසින් කළයුතුය. සන්සුන් ඉඳුරන්ගෙන් සන්සුන් මනසින් වියදඬු පමණ බැල්මෙන් විෂම තැනක් ඉක්මවන දිය (ගෙනයන) රියක් මෙන් සිත්ගන්නා (ලෙස) නියමිත පියවර තැබීමෙන් මා යායුතුයයි සැලකිය යුතුය, මෙසේ සලකන්නාගේ ඉරියව්ව ගැලපෙන්නේ වෙයි, ත්‍රිවිධ ශික්ෂා සපිරෙයි. අත්තා යනු සිතයි, සීලතො න උපවදති යනු ඔබගේ ශීලය අපිරිසුදුයයි ශීලයෙන් උපවාද නොකරයි. මෙසේ සලකන්නාගේ අධ්‍යාත්මයෙහි ලජ්ජාව හටගනියි. ඒ ලජ්ජාව තිදොරෙහි සංවරය ඇතිකරවයි. සිවුපිරිසුදු ශීලය ඇති කරවයි, සිවුපිරිසුදු සිල්හි පිහිටියේ විදසුන් වඩා රහත් වෙයි, විඤ්ඤු සබ්‍රහ්මචාරි යනු පණ්ඩිත වූ එකට බඹසර හැසිරෙන්නෝයි, මෙසේ සලකන්නට බැහැරිබිය හටගනියි, එය තිදොරෙහි සංවරය අහිතකරවතැයි කියනලද අයුරින්ම දත යුතුයි
නානාභාවො විනාභාවො යනු උපතින් නොයෙක් බවයි, මරණයෙන් වෙන්වීමයි, මෙසේ සලකන්නාට තිදොරෙහි නොදැමුණු අයුරක් නම් නොවෙයි. මරණ සතිය මනාව එළඹ සිටියේ වෙයි, කම්මස්සකොම්හි යනාදියෙහි කර්‍මය මගේය, ස්වකීයය, තමන් අයත්ය යනු කම්මස්සකා නමි. කර්‍මයෙන් දියයුතු ඵලය දායාදය - කර්‍මයේ දායාදය කම්මදායාං නමි. එය දැඩිව ගන්නෙමැයි කම්මදායාදොයි. කර්‍මය මගේ යෝනියය කාරණයයි කම්මයොනි නමි. කය මගේ බන්‍ධුවරයාය, ඥාතියායි කම්මබන්‍ධු නමි. කර්‍මය මගේ පිළිසරණය, පිහිටයැයි කම්මපටිසරණො නමි. තස්සදායාදො භවිස්සාමි යනු ඒ කර්‍මයාගේ දායාදය එයින් දෙනලද ඵලය පිළිගන්නෙක් වෙමි. මෙසේ කර්‍මයෙන් කළ දෙය සලකන්නාට පවුකිරීමක් නම් නොවෙයි. කතම්භූතස්ස මෙ රත්තින්‍දිවා විතිපතන්ති යනු කිමෙක් ද වත් පිළිවෙත් කරන්නාවූ නැතහොත් නොකරන්නා වූ මගේ - බුද්ධ වචනය සජ්ඣායනය කරන්නා වූ නැතහොත් සජ්ඣායනය නොකරන්නා වූ මගේ නුවණින් මෙනෙහි කිරීමෙහි කටයුතු කරන්නාවූ නැතහොත් එසේ නොකරන්නාවූ මගේ (යනුවෙන්) කවර විදියකින් වූ මගේ රෑදහවල් ඉක්මෙයිද පෙරලෙයි ද යන අරුත්ය. මෙසේ සලකන්නාගේ අප්‍රමාදය සපිරෙයි,
සුඤ්ඤාගාරෙ අභිරමාමි යනු හුදෙකලා තැනක් සියලු ඉරියව්වන්හි තනිවී කිම සතුටු වෙම්දැයි අරුත්ය. මෙසේ සලකන්නාගේ කායවිවේකය සපිරෙයි. උත්තරිමනුස්සධම්මා යනු උත්තරිමනුෂ්‍යයන්ගේ, උත්කෘෂ්ට මිනිසුන් වූ ධ්‍යානීන්ගේ මෙන්ම ආර්‍ය්‍යයන්ගේ ධ්‍යානාදී ධර්‍මයෝ - දසකුසලකර්‍මපථ සංඛ්‍යාත මනුෂ්‍ය ධර්‍මයෙන් හෝ උත්තරීතර විශිෂ්ටතර ධර්‍මයෝ මගේ සිතෙහි ඇද විද්‍යමාන වෙත්දැයි අරුත්ය. අලමරියඤාණදස්සනවිසෙසො යනු මහත්ගත ලෝකෝත්තර ප්‍රඥාව දැනීම් අරුතින් ඤාණයයි. ඇසින් දක්නා ලද්දක් මෙන් ධර්‍මය පසක් කිරීම් වශයෙන් දැකීම් අරුතින් දස්සනයැයි ඤාණදස්සනං නමි. ආර්‍ය්‍ය වූ උතුම් පිරිසුදු ඤාණදස්සන යැයි අරියඤාණදස්සනං නමි. ආර්‍ය්‍යබවට සුදුසු වූ කෙලෙස් වැනසීමට සමත් වූ ආර්‍ය්‍ය ඥානදර්‍ශනය මෙහි හෝ මොහුගේ හෝයි අලමරිය ඤාණදස්සනො නමි. ධ්‍යානාදී භේද ඇති උත්තරිමනුෂ්‍ය ධර්‍මය වූ අලමරිය ඤාණදස්සනය ද එයමය විශේෂය ද එයමැයි අලමරිය ඤාණදස්සන විසෙසොයි. නැතහොත් ඒ කෙලෙස් නැසීම සඳහා පිරිසුදු ඤාණදර්‍ශනයම විශේෂය වේ යන්නෙන් අලමරිය ඤාණදස්සන විසෙසො නම්වේ. අධිගතො යනු මවිසින් ලබන ලද්දේ වේද? සොභං යනු ලබනලද විශේෂය ඇති ඒ මමයි, පච්ඡිම කාලෙ යනු මරණ මඤ්චකයෙහි වැදහොත් කාලයෙහියි, පුට්ඨො යනු සබ්‍රම්සරුන් විසින් ලබනලද ගුණ විශේෂය (ගැන) අසන ලද්දේයි, න මඞ්කූභවිස්සාමි යනු ඇදහැළුණු සිරුර ඇත්තේ තෙද නැත්තේ නොවන්නෙමි. මෙසේ සලකන්නාට හිස් මරණයක් නම් නොවේ. (මුළාවූ මරණයක් නොවේ.)