4. උපාලි වර්ගය
1. උපාලි සූත්ර වර්ණනාව
සතරවැනි වර්ගයෙහි සඞ්ඝසුට්ඨුතාය යනාදියෙහි සංඝයාගේ විශිෂ්ටභාවයයි, “සුට්ඨුදෙව”යි ආතැන්හි මෙන් මැනවි ස්වාමීනියි වචන පිළිගන්නා බවයි, යමෙක් තථාගතයන් වහන්සේගේ වචනය පිළිගනියිද ඔහුට එය දිගුකලක් හිත සුව පිණිස පවතියි. එහෙයින් සඞ්ඝයාගේ “මැනවි ස්වාමීනි”යි වචන පිළිගැනීම සඳහා පනවන ලදි. නොපිළිගැනීමෙහි ආදීනවයත් පිළිගැනීමෙහි ආනිශංසයත් දක්වා බලාත්කාරයෙන් යටපත් නොකොටය යන මෙකරුණ පැහැදිලි කරමින් “සඞ්ඝසුට්ඨුතාය”යි පැවසූ සේක. සඞ්ඝඵාසුතාය යනු සඞ්ඝයාගේ පහසුබව සඳහායි, යහපත් පැවැත්ම සඳහා සුවපහසු විසිම සඳහාය යන අරුත්ය.
දුම්මඞ්කුනං පුග්ගලානං නිග්ගහාය යනු දුම්මඞ්කු නම් දුසිල් පුද්ගලයෝයි. යමෙක් මඞ්කුභාවයට - දුසිල් බවට පැමිණෙන්නාහු දුකසේ පැමිණෙත්. (ශික්ෂාපද) ඉක්මවීමක් කරන්නාහු හෝ ලජ්ජා නොවෙත්, ඔවුනට නිගා කරනු සඳහායි. ඔවුහු ශික්ෂාපදය නොමැති විට නුඹලා විසින් කුමක් දක්නා ලද්දේ ද? කුමක් අසන ලද්දේ ද, අප විසින් කුමක් කරන ලද්දේ ද? කවර වස්තුවක කවර ඇවතක් ආරොපනය කොට නිග්රහ කරන්නහුදැයි සඞ්ඝයා වෙහෙසවන්නාහුය. ශික්ෂාපදය ඇතිවිට සඞ්ඝයා ශික්ෂාපදය පෙන්වා ඔවුනට ධර්මානුකූලව නිගා කරන්නේය. එහෙයින් දුම්මඞ්කුනං පුග්ගලානං නිග්ගහා යයි කියනලදි.
පෙසලානං යනු ප්රියශීලී භික්ෂූන්ගේ පහසු පැවැත්ම සඳහාය. ප්රියශීලී භික්ෂූහු කළයුතු නොකළයුතු දෙය, වැරැද්ද සහ නිවැරැද්ද ඉම සහ කොන නොදන්නාහු ශික්ෂාත්රය සපිරීමෙහි ගැටෙමින් වෙහෙසෙති. ඔවුහු වැරැද්ද නිවැරැද්ද ද ඉම හා සීමාව ද දැන ශික්ෂා සපිරීමෙහි ගැටෙමින් නොවෙහෙසෙති. එහෙයින් ඔවුනට සිකපද පැනවීම පහසු විහරණය සඳහා පවතියි. දුසිල් මහණුන්ට යම් නිග්රහයක් වේද එයම ඔවුන්ගේ පහසුවිහරණයයි. දුසිල් පුගුලන් නිසා උපොසථ පවාරණයෝ අක්රියවෙත්. සඞ්ඝකර්ම නොපවතියි. සමගිය නොවෙයි, භික්ෂුහු එකඟ නොවූවාහු උදෙසීම් ආදියෙහි යෙදීමට නොහැකි වෙත්. දුසිලුන් නිග්රහ ලද විට මේ සියලුම උවදුරු නැති වෙයි. එයින් ප්රියශීලී භික්ෂූහු පහසුවෙත් වසත්. එහෙයින් “පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය” යි කියන ලදි.
දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය යනු දිට්ඨධම්මික ආසවයෝ නම් අසංවරයෙහි සිටි තැනැත්තා විසින් ඒ අත්බැව්හිම පැමිණිය යුතු අතුල් පහර මුගුරු පහර අවිපහර අත්සිඳීමි පාසිඳීම් අපකීර්තිය, අයස විපිළිසරවීම ආදියයි. මොවුන්ගේ සංවරය සඳහා වැසීම සඳහා එනමග ඇහිරීම සඳහායි අරුත්ය, සම්පරායිකානං යනු සම්පරායික ආසව නම් අසංවරයෙහි සිටියහු විසින් කළ පව් මුල් කොට ඇති පරලොවදී නාරකාදියෙහි පැමිණිය යුතු දුක් වෙසෙසයි. ඒවා දුරුකිරීම සඳහායි,
අප්පසන්නානං යනු ශික්ෂාපද පැනවීම ඇති කල්හි ශික්ෂා ප්රඥප්තිය දැන පැන වූ දෙයට අනුව පිළිපදන්නා වූ භික්ෂූන් දැක නොපහන් වූ බුද්ධිමත් මිනිස්සු, ලොව මහජනයා ඇලුම්කරන දූෂණය කරවන මුළාවට පමණුවන යම් කරුණුවෙයිද මොවුහු ඒවායෙන් වෙන්ව ඈත්ව වෙසෙති, මොවුහු අමාරු දෙයක් කරතියි පැහැදීමට පැමිණෙත්. විනය පිටකයෙහි පොතදැක මිථ්යාදෘෂ්ටික ත්රිවේදී බමුණන් මෙනි. එහෙයින් “අප්පසන්නානං පසාදාය” යි කියන ලදි.
පසන්නානං යනු සසුනෙහි පැහැදුනු යම් කුලපුත්රයෝ වෙත්ද ඔවුහු ද ශික්ෂා ප්රඥප්තිය හෝ පැනවීමට අනුව පිළිපදින්නා වූ භික්ෂූන් දැක පුදුමයකි, ආර්ය්යවරු දිවි ඇතිතෙක් තිනිවේලේ අහර ඇතිව විනය සංවරයෙන් පාලනය වෙමින් අමාරු දෙයක් කරතියි වඩවඩාත් පැහැදෙත්. එහෙයින් “පසන්නානං භිය්යොභාවාය” යනුවෙන් කියන ලදි.
සද්ධම්මට්ඨිතියා යනු සද්ධර්මය ත්රිවිධය. පරියාප්ති සද්ධර්මය, ප්රතිපත්ති සද්ධර්මය, හා ප්රතිවෙධ සද්ධර්මය යනුවෙනි. එහි සියලුම බුද්ධවචනය පර්ය්යාප්ති සද්ධර්මය නමි. තෙළෙස්ධුතගුණ සිරිත්, සීල සමාධි විදර්ශනා යන මෙය ප්රතිපත්ති සද්ධර්මයයි නමි, නවලොවුතුරා දහම අධිගම (ප්රතිවෙධ) සද්ධර්මය නමි. ඒ සියල්ලම ශික්ෂාපද පැනවීම ඇති කල්හි භික්ෂූහු ශික්ෂාපදය ද එහි විභාගය ද එහි අර්ත්ථ බැබලවීම සඳහා අනෙක් බුද්ධ වචනය ද හදාරත්. පනවන ලද්දට අනුව පිළිපදිමින් පිළිවෙත් පුරා අවබෝධ කටයුතු ලොවුතුරු දහම අවබෝධ කරත්. එහෙයින් ශික්ෂාපද පැනවීමෙන් සදහම් බොහෝකලක් පවතින්නේ වේ. එහෙයින් “සද්ධම්මට්ඨිතියා” යි කියන ලදි.
විනයානුග්ගහාය යනු ශික්ෂාපද පැනවීම ඇති කල්හි සංවරවිනය, පහානවිනය, සමථවිනය, පඤ්ඤත්තිවිනය යන සිවුවැදෑරුම් විනය අනුග්රහ කරන ලද්දේ වෙයි. තහවුරු කරන ලද්දේ මනාව තහවුරු කරන ලද්දේය. එහෙයින් “විනයානුග්ගහාය”යි කියන ලදි.
2. පාතිමොක්ඛට්ඨපන සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි පාරාජිකො යනු පරිජිඇවැතට පැමිණියේයි, පාරාජිකකථා විප්පකතා හොති යනු අසුවල් පුද්ගලයා පාරාජිකයට පැමිණියේ නොවේදැයි මෙසේ කථාව පටන්ගෙන නොනිමවන ලද්දේ වෙයි. සියලු තැන්හි මේ ක්රමයයි.