8. දෙවන මහාපඤ්හ සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි කජඞ්ගලායං යනු මෙසේ නම් ඇති නගරයෙහියි. කජඞ්ගලා යනු කජඞ්ගල නුවර වැසියෝයි, මහාපඤ්හෙසු යනු මහත් අරුත් එක්කරගත් ප්‍රශ්නයන්හියි, යථා මෙත්‍ථ ඛායති යනු යම් සේ මෙහි මට හැඟෙයිද. සම්මා සුභාවිතචිත්තො යනු හේතුවෙන් ක්‍රමයෙන් මනාව ප්‍රගුණ කළ සිතැත්තේයි, එසෝ චෙචෙතස්ස අත්‍ථො යනු භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මයෝ සතරෙකි යනාදී ප්‍රශ්න සතර ආහාරයකි යනාදී ක්‍රමයෙන් විසඳන ලදි. යම් හෙයකින් සතර ආහාරයන් මනාව දත්විට සතර සතිපට්ඨාන වඩන ලද්දේ වෙයි ඒවා වැසූ විට සතර ආහාර මනාව දන්නා ලද්දේම වේද එහෙයින් දේශනා විලාසයෙන් ව්‍යංජනයම විවිධය, අර්‍ත්‍ථය වනාහි එකක්මය. ඉන්ද්‍රියයන්හි ද මේ ක්‍රමයමයි. එහෙයින් “එසො චෙචෙතස්ස අත්‍ථො” යනුවෙන් කියන ලදි. අර්‍ත්‍ථ වශයෙන් මේ දෙකම එකක්ම වෙයි.
9. ප්‍රථම කොසල සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි යාවතා යනු යම්පමණවූයි, කාසිකොසලා යනු කාසි කෝසල දනව්වැසියෝයි. අත්‍ථෙව අඤ්ඤථත්තං යනු වෙනසක් ඇත්තේමය. අත්‍ථි විපරිණාමො යනු මරණය ද ඇත, තස්මිම්පි නිබ්බින්‍දති යනු ඒ එකෙණෙහි උපන් දෙයෙහි ද කලකිරෙයි. අග්ගෙ විරජ්ජති යනු සැපතින් අග්‍ර වූ කොසොල් රජ බවෙහි නොඇලෙයි. පගෙව හීනස්මිං යනු පළමුවම පහත් දෙයෙහියි. මඳ ආයු ඇති මිනිසුන්ගේ පස්කම් ගුණ සමූහයෙහියි,
මනොමයා යනු ධ්‍යාන සිතෙන් උපන්නාවූයි, බාරාණසෙය්‍යකං යනු බරණැසෙහි උපන්, එහි කපු ද මෙලෙක්ය, නුල් කටින්නියෝ ද දක්ෂය, දිය ද පිරිසුදුය, සිනිඳුය, උභතොභොගවිමට්ටං යනු දෙපසෙහිම සියල්ල මෙලෙක්ව සිනිඳුව හැඟෙයි, සතර ප්‍රතිපදාව ලෞකික ලෝකෝත්තර මිශ්‍රකව කියනලදි. සංඥාවන්හි පළමුවැන්න කාමාවචරසංඥාවයි, දෙවැන්න රූපාවචර සංඥාවයි, තෙවැන්න ලෝකෝත්තර සංඥාවයි, සිවුවැන්න ආකිඤ්චඤ්ඤායතන සංඥාවයි. යම් හෙයකින් ඒ සංඥාව අග්‍රයයි පැමිණියාද එයින් ශ්‍රේෂ්ඨ වූ සංඥා ප්‍රඥප්තියක් නැත්තේද එහෙයින් අග්‍රයයි කියනලදි.
බාහිරකානං යනු සසුනින් බැහැරව පැවතියවුන්ගේයි, නො චස්සං නො ච මෙ සියා යනු ඉදින් මම අතීතයෙහි නොවූයෙම්ද දැනුදු මේ මගේ ආත්මභාවය නොවන්නේය, න භවිස්සාමි න මෙ භවිස්සති යනු ඉදින් අනාගතයෙහි ද නොවන්නෙම් නම් මට කිසි පළිබෝධයක් නොවන්නේය, අග්ගෙ විරජ්ජති යනු උච්ඡෙද දෘෂ්ටියෙහි නොඇලෙයි, උච්ඡෙද දෘෂ්ටිය මෙහි නිවනට තැවුලක් බැවින් අග්‍ර යයි විය.
පරමත්‍ථසුද්ධිං යන උත්තමාර්‍ත්‍ථවිසුද්ධියයි, නෙව සඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට මේ නමකි. ආකිඤ්චඤ්ඤායතනය විදර්‍ශනාවට ආසන්න හේතුව වන බැවින් අග්‍ර නම්වීය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දීර්‍ඝායුෂ්ක බැවිනි, පරමදිට්ඨධම්මනිබ්බානං යනු මේ අත්බැව්හිම උතුම් නිවනයි, අනුපාදාවිමොඛො යනු සතර උපාදානයන්ගෙන් නොගෙන සිතේ විමොක්‍ෂයයි, රහත්බවට මෙය නමකි. පරිඤ්ඤං යනු ඉක්මවීමයි, එහි භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යානයෙන් කාමයන්ගේ ඉක්මවීම පනවති. අරූප ධ්‍යානයන්ගෙන් රූපයන්ගේ ඉක්මවීම පනවති. අනුපාදා නිවනින් වේදනාවන්ගේ ඉක්මවීම පනවති. නිවන වනාහි සියලු වේදයිතයන් ප්‍රහීන කළ බැවින් වේදනාවන්ගේ ඉක්මවිම නමි, අනුපාදානිබ්බානං යනු ප්‍රත්‍යය නැති නිවනයි, මේ සූත්‍රය දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ අනභිරතියෙන් (සසුනෙහි නොඇල්මෙන්) පෙළුණාවූ පන්සියයක් භික්ෂූන් දැක ඔවුන්ගේ අනභිරතිය දුරුකිරිම සඳහා දෙසූ සේක. ඔවුහු ද අනභිරතිය දුරුකොට දෙසුමට අනුව ඥානය මෙහෙයවා සෝවාන් වී පසුකලෙක විදසුන් වඩා රහත් බවට පැමිණියාහුය.
10. දුතිය කොසල සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි උය්‍යොධිකාය නිවත්තො හොති යනු යුද්ධයෙන් නැවතියේ වෙයි, ලද්ධාධිප්පායො යනු බිම්සර රජුට දුව දෙන්නා වූ මහ කොසොල් රජු විසින් රාජ්‍ය දෙකට අතරෙහි ලක්‍ෂයක් ඉපැයෙන කාසිග්‍රාමය දියණියට දෙන ලදි. අජාසත් විසින් පියා නසනු ලැබූ කල්හි ඔහුගේ මව ද රජුගේ වියොවින් උපන් සොවින් නොබෝදිනකින්ම මියගියාය. ඉක්බිති පසේනදි කොසොල් රජතෙමේ අජාසත් විසින් මාපියෝ මරණ ලදහ. මගේ පියා සතු ගමයි (සිතා) ඒ සඳහා වියවුල් කරයි. අජාසත් රජතෙමේ ද මගේ මව සතුවූවකැයි වියවුල් කරයි. ඒ ගම සඳහා මයිල් බෑණණු දෙදෙනාම සිවුරඟ සෙනඟ සන්නද්ධ කොට යුද වැදුනාහ. එහිදී පසේදී කොසොල් රජ තෙමේ දෙවරක් අජාසත් රජු අතින් පැරදුනේ නුවරට පිවිසියේය. තෙවැනි වර කෙසේනම් මගේ ජය වන්නේදැයි චරපුරුෂ මාර්‍ගයෙන් යුදකළයුතු ආකාරය දැන බලඇණි සූදානම් කොට දෙපසින් වටකොට අජාසත් රජු (පරදවා) ගත්තේය. එතැන්පටන්, දිනුම බලාපොරොත්තුවෙන් ලද බැවින් ලද්ධාධිප්පාය නම්වීය.