6. කාලී සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි කුමාරිපඤ්හෙසු යන මාරදූ කූමරියන්ගේ ප්‍රශ්නයන්හියි. අත්‍ථස්ස පත්තිං හදයස්ස සන්තිං යන පද දෙකින්ම රහත්බවම කියනලදි. සෙනං යනු රාගාදී කෙලෙස් සෙනඟයි, පියසාතරූපං යනු ප්‍රියජාතිකවූත් ප්‍රසාදජාතිකවූත් වස්තූන්හි උපදින බැවින් එසේ ලබන ලද නම් ඇත්තේයි. එකොහං ඣායං සුඛමනුබොධං යනු මෙසේ කෙලෙස් සෙන් දිනා මම හුදෙකලාව ධ්‍යාන වඩන්නේ සුවය වින්දෙමි, පසක් කෙළෙමි. සක්ඛිං යනු සාක්ෂ්‍ය භාවයට පත්, ධර්‍ම සාක්ෂියයි, න සමපජ්ජති කෙන චී මෙ යනු මගේ කිසිවකු සමඟ මිතු දහමක් නැත. පඨවිකසිණසමාපත්තිපරමා ඛො භගිනි එකෙ සමණබ්‍රාහ්මණා අත්‍ථාභිනිබ්බත්තෙසුං පඨවිකසිණ සමාපත්තිය පරම වූ උතුම් අර්‍ත්‍ථයයි ගෙන ඉපිදවූවාහුය. යාවතා ඛො භගිනි පඨවිකසිණසමාපත්තිපරමතා යනු පඨවි කසිණ සමාපත්තියෙහි උතුම්බව යම්තාක්ද, තදභිඤ්ඤාසි භගවා යනු එය භාග්‍යවතුන් වහන්සේ අභිඥා ප්‍රඥාවෙන් දැනගත් සේක. ආදිමද්දස යනු සමුදය සත්‍යය දුටුවේය, ආදීනවමද්දස යනු දුක්ඛ සත්‍යය දුටුවේය, නිස්සරණමද්දස යනු නිරොධ සත්‍යය දුටුවේය. මග්ගාමග්ගඤාණදස්සනමද්දස යනු මාර්‍ග සත්‍යය දුටුවේය. අත්‍ථස්ස පත්තී යනු මේ සිවුසස් දුටු බැවින් රහත්බව නමැති අර්‍ත්‍ථයට පැමිණීමක්, තැවුල් සංසිඳීම සඳහා හදවතට ශාන්තියක් යනුයි.
7. පඨම මහාපඤ්හ සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි අභිජානාථ යනු මනාව දැන පසක් කොට වසවු, අභිඤ්ඤාය යනු මනාව දැනයි, ඉධ යනු මේ, ධම්මදෙසනාය වා ධම්මදෙසනං යනු ඉදින් ශ්‍රමණ ගෞතමයන්ගේ මේ ධර්‍ම දේශනාව සමඟ අපගේ ධර්‍ම දේශනය හෝ අපගේ ධර්‍ම දේශනාව සමඟ ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්‍ම දේශනය අරභයා වෙනසක් කියන්නහු ද ඒ කුමක් නම් දැයි කියත්, දෙවැනි පදයෙහි ද මේ ක්‍රමයමයි. මෙසේ ඔවුහු මැදින් බිඳුණු සවර්‍ණයක් මෙන් සසුන සමඟ තමන්ගේ ලබ්ධිය වචන මාත්‍රයෙන් මිහිරි කොට තැබූහ. නෙව අභිනන්‍දිංසු යනු එය එසේමයයි නොපිළිගත්හ, න පටික්කොසිංසු යනු මෙය එසේයයි පිළිකෙවු නොකළහ, කුමක් හෙයින්දයත්? ඒ තීර්ථකයෝ නම් දැන නොදැන කියන්නහුයයි සතුටු නොවූහ.
න සම්පායිස්සන්ති යනු සම්පාදනය කොට කීමට නොහැකි වෙත්. උත්තරිඤ්ච විඝාතං යනු නොසපයන්නෝ මත්තෙහිද දුකට පැමිණෙත්, සපයා කීමට නොහැකිවන්නන්ට දුක උපදියි, යථා තං භික්ඛවෙ අවිසයස්මිං යනු මෙහි ද තං යනු නිපාත මාත්‍රයකි. යථා යනු හේතු දැක්වීමේ වචනයයි, යම් විෂය නොවන - ගොදුරු නොවන දෙයක ප්‍රශ්න අසන ලද්දාහු වෙතියි අර්‍ත්‍ථයි, ඉතො වා පන සුත්‍වා යනු මේ මගේ සසුනින් හෝ අසායි, ඉතො යනු තථාගතයන් වහන්සේගෙනුදු තථාගත ශ්‍රාවකයකු ගෙනුදුයි. ආරාධෙය්‍ය යනු සතුටු කරවන්නේය, වෙනත් ලෙසකින් සතුටු කිරීමක් නම් නැතැයි දක්වයි,
එකධම්මෙ යනු එක් ධර්‍මයකයි, මෙයින් උදෙසීම දක්වන ලදි, අන්‍යයාගෙන් කතමස්මිං එකධම්මෙ යන මෙයින් ප්‍රශ්නය දක්වන ලද්දේය, සියලු සත්ත්වයෝ ආහාරය මත සිටින්නෝය යන මෙය මෙහි පිළිතුරු දීමයි. සෙසු තැන්හි ද මේ ක්‍රමයමයි, සම්මා නිබ්බින්‍දමානො යනාදියෙහි මනාව හේතුන්ගෙන් න්‍යායයෙන් නිබ්බිදානුපස්සනාවෙන් නිර්වේදයට පත් වන්නේ උකටලී වන්නේ විරාගානුපස්සනාවෙන් නොඇලෙන්නේ පටිසඞ්ඛානුපස්සනාවෙන් මිදීමට උපාය දැන මිදෙන්නේ අධිමොක්‍ෂ වශයෙන් හෝ මිදෙන්නේ සනිටුහන් කරන්නේය යනාර්‍ත්‍ථයි. උදය වශයෙන් පිරිසිඳ පූර්‍වාන්තය දැකීමෙන් මනාව කෙළවර දක්නේයි, සම්මත්‍ථාභිසමෙච්ච යනු සමාන සභාග බව නුවණින් මනාව වටහාගෙනයි, දුක්‍ඛස්සන්තකරො හොති යනු සියලු සසර දුක නිමාකරන්නෙක් අවසන් කරන්නෙක් වෙයි,
සබ්බෙ සත්තා යනු කාම භවාදීන්හි ද එක් ස්කන්‍ධයකින් යුත් භවයන්හි ද වශයෙන් සියලු භවයන්හි සියලු සත්ත්වයෝයි, ආහාරට්ඨිතිකා යනු ආහාරයෙන් පැවැත්ම මොවුන්ගේනුයි ආහාරට්ඨිතිකා නමි. මෙසේ සියලු සත්ත්වයන්ගේ පැවැත්මේ හේතුව ආහාරයයි, ඒ ධර්‍මය එහිනුයි එකධම්මෙ නමි. මෙසේ පවත්නා කල්හි “අසඤ්ඤ සත්තා දෙවා අහෙතුකා අනාහාරා අඵස්සකා” ආදී යමක් කියන ලද්දේ ද එය විරුද්ධ නොවන්නේද? විරුද්ධ නොවෙයි. ඔවුනට ධ්‍යානය ආහාරය වෙයි. මෙසේ ඇති කල්හි ද “චත්තාරොමෙ භික්ඛවේ ආහාරා” යන මෙය විරුද්ධ නොවේද? මෙය ද විරුද්ධ නොවේ. මේ සූත්‍රයෙහි නිෂ්පරියායෙන් ආහාර ලක්ෂණ වූ ධර්‍මයෝ ආහාරයෝයි කියනලදි. මෙහි වනාහි පරියාය වශයෙන් ප්‍රත්‍යය ආහාරයයි කියන ලදි. සියලු ධර්‍මයන්ට ප්‍රත්‍යය ලැබීමට වටියි, එය ද යම් යම් ඵලයක් උපදවයි ද ඒ ඒ දෙය ගෙනෙයි (ආහරති) නමි. එහෙයින් ආහාරයයි කියනු ලැබේ. එහෙයින් වදාළ සේක. අවිජ්ජම්පහං භික්ඛවෙ සාහාරං වදාමි, නො අනාහාරං කො ච භික්‍ඛවෙ අවිජ්ජාය ආහාරො පඤ්චනීවරණාතිස්ස වචනීයං” යනුවෙනි. මෙය මෙහි අදහස් කරන ලදි. මෙම ප්‍රත්‍යයාහාරය ගත් කල පර්යාය ආහාරය ද නිෂපර්යාය ආහාරය ද යන සියල්ල ගන්නා ලද්දේම වෙයි.
එහි අසංඥභවයෙහි ප්‍රත්‍යායාහාරය ලබයි, බුදුන් නොපහළ කල්හි තීර්ථක ආගමික නිකායෙහි පැවිදිවූවෝ වායෝ කසිණයෙහි පරිකර්‍ම (භාවනා) කොට චතුර්ථධ්‍යානය උපදවා එයින් නැගිට මේ සිතට නිගාවේවා! සිත පිළිකුලකි. සිතේ නැතිවීමම යෙහෙකි. සිත නිසා වධබන්‍ධනාදී හේතුවෙන් දුක උපදියි. සිත නැති විට මේවා නැතැයි කැමැත්ත උපදවා නොපිරිහුන් ධ්‍යාන ඇත්තෝව කළුරිය කොට අසංඥ භවයෙහි උපදිත්. යමෙක් මිනිස් ලොවදී යම් ඉරියව්වක් ආශාකළේ වේද හෙතෙම ඒ ඉරියව්වෙන් ඉපිද චිත්‍රරූපයක් මෙන් වී කල්ප පන්සියයක් සිටියි. එපමණ දිගු කලක් නිදා ගත්තේ මෙන් වෙයි. මෙබඳුවූ සත්ත්වයන්ට ද ප්‍රත්‍යයාහාරය ලැබෙයි. ඔවුහු යම් ධ්‍යානයක් උපදවා උපන්නාහුද එයම ඔවුන්ගේ ප්‍රත්‍යය වෙයි. යම්සේ දුනුදිය වේගයෙන් යවනලද හීය දුනුදිය වේගය ඇති තෙක් යයි ද එසේ ධ්‍යාන ප්‍රත්‍යය ඇතිතාක් සිටිත්. එය නිමි කල්හි වේගය නිමවූ හීය මෙන් ඇදවැටෙත්, චුතවනවිට ඔවුන්ගේ ඒ රූපකාය අතුරුදහන් වෙයි. කාමාවචර සංඥාව උපදියි. ඒ සංඥාව ඉපදීමෙන් ඒ කයින් චුත වූවාහුයි පැනෙත්.