2. අධිවුත්තිපද සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි යෙ තෙ ධම්මා යනු යම් යම් ඒ දශබලඥාන සර්‍වඥතාඥාන ධර්‍මයෝයි, අධිවුත්තිපදානං යනු පර්යාය පදයන්ගේයි. ස්කන්‍ධ ආයතන ධාතුධර්‍මයන්ගේ යන අර්‍ත්‍ථයයි. අධිවුත්තියෝ යනුවෙන් පර්යාය වචනයෝ කියනු ලැබෙත්. ඔවුනොවුන්ට දැකීම වූ දෙසුම ප්‍රධාන වන බැවින් පෙර බුදුවරු ද මේ ධර්‍මයන් කීවාහුය. අනාගත බුදුවරු ද මේවාම කියන්නාහුයයි එහෙයින් ස්කන්‍ධාදිය අධිවුත්තිපද නමි. ඒ අධිවුත්ති පදයන්ගේයි, නැතහොත් භූතාර්‍ත්‍ථය යටපත් කොට - පවත්නා සැටියෙන් නොගෙන පවත්නා බැවින් අධිවුත්ති යනුවෙන් දෘෂ්ටීහු කියනු ලැබෙත්. අධිවුත්තීන්ගේ පදයෝ අධිවුත්තිපදානි නම්වෙත්. දෘෂ්ටි ප්‍රකට කරන්නා වූ වචනයෝයි අර්‍ත්‍ථයි. ඒ අධිවුත්ති පදයන්ගේයි, දෘෂ්ටි ව්‍යවහාරයන්ගේයි, අභිඤ්ඤාසච්ඡිකිරියාය යනු දැන පසක් කරනු සඳහායි, විසාරදො යනු නුවණින් සොම්නසට පැමිණියේයි, තෙසං තෙසං තථා තථා ධම්මං දෙසෙතුං යනු ඒ ඒ දෘෂ්ටිගතයන්ගේ හෝ අන්‍යයන්ගේ හෝ ආසය දැන ඒ ඒ ලෙසින් දම් දෙසීමටයි, හීනං වා හීනන්ති ඤස්සති යනු පහත් ධර්‍මය පහත් ධර්‍මයයි දන්නේය, ඤාතය්‍යං යනු දතයුතුයි, දට්ඨය්‍යං යනු දැක්විය යුතුයි, සච්ඡිකාතය්‍යං යනු පසක්කළ යුතුයි, තත්‍ථ තත්‍ථ යථාභූතඤාණං යනු ඒ ඒ ධර්‍මයන්හි පවත්නා සැටියෙන් වූ දැනුමයි, මෙයින් සර්‍වඥතාඥානය දක්වයි, මෙසේ සර්‍වඥතාඥානය දක්වා යළි දශබලඥානය දක්වන්නේ දස ඉමානි යනාදිය කීවේය. දශබලඥානය ද ඒ ඒ තන්හි යථාභූත ඥානයමයි.
3. කාය සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි ආපන්නො හොති කඤ්චි දෙසං යනු කිසියම් ඇවැත් කොටසකට පැමිණියේ වෙයි. අනුචිච්ච යනු ඇතුළට පිවිස, ඇතුළත්වීයි, කායදුච්චරිතං යනු ත්‍රිවිධ කායදුශ්චරිතයයි. පාපිකා ඉස්සා යනු ලාමක ඊර්‍ෂ්‍යාවයි. පඤ්ඤාය දිස්වා දිස්වා යනු විදසුන් සහිත මගනුවණින් දැක දැක දුරුකළ යුතුය, ඉජ්ඣති යනු සමෘද්ධ වෙයි. ඔපවාසස්ස යනු නිසා ඒ වසන්නහුගේයි, අභිභුය්‍ය යනු යටපත්කොට මැඬපවත්වායි, ඉරීයති යනු පවතියි, මේ සූත්‍රයෙහි විදර්‍ශනාසහගත මාර්‍ගය කියනලදි.
4. මහාචුන්ද සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි ජානාමිමං ධම්මං යන මෙයින් නුවණින් දක්නා ආකාරය කියනලදි. භාවිතකායොම්හි යනාදියෙන් තෙවෙනවර වාද දෙකක් එකට කියන ලදි. මේ තුනම ද අරහත් බවම දනියි. අඩ්ඪවාදං වදෙය්‍ය යනු මම ආඪ්‍ය වෙමැයි වාදයක් කියන්නේය. උපනීහත්තුං යනු බැහැර කොට දැමීමටයි.
5. කසිණ සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි සියලු අර්‍ත්‍ථයෙන් කසිණයෝ තදාරම්මණ වූ ධර්‍මයන්ට ක්‍ෂේත්‍රාර්‍ත්‍ථයෙන් හෝ අධිෂ්ඨානාර්ථයෙන් ආයතනයෝ වෙත්නුයි කසිණායතනානි නමි. උද්ධං යනු මතු අහස්තලයට අබිමුවයි, අධො යනු යට බිම්තලයට අබිමුවයි, තිරියං යනු කෙත් මඬුල්ලක් මෙන් හාත්පසින් පිරිසිඳයි, ඇතමෙක් උඩටම විහිදුවයි, ඇතමෙක් යටටය, ඇතමෙක් හාත්පසිනි. ඒ ඒ ආකාරයෙන්ම මෙසේ විහිදුවයි. රූප දකිනු කැමත්තේ ආලෝකය මෙනි, එහෙයින් එකෙක් පඨවි කසිණය උඩට යටට සරසට හඳුනා ගනිතියි කියනලදි. අද්වයං යන මෙය වනාහි එකෙකුට වෙනත් ස්වභාවයකට නොපැමිනෙනු සඳහා කියන ලදි. යම්සේ නම් ජලයට පිවිසි තැනැත්තාට සියලු දිසාවන්හිම ජලයම වෙයිද වෙනෙකක් නොවේද එසේම පඨවි කසිණය පඨවි කසිණයම වෙයි. ඔහුට වෙනත් කසිණ මුසුවීමක් නැත. සියලු තන්හි මේ ක්‍රමයයි. අප්පමාණං යන මෙය ඔහුගේ පැතිරවීම අප්‍රමාණ වශයෙන් කියනලදි. එය සිතින් පතුරුවන්නේ සියල්ලම පතුරුවයි. මෙය ඔහුට මුල මැද අගයයි ප්‍රමාණයක් නොගනියි. විඤ්ඤාණකසිණං යනු මෙහි කසිණ ඉඟුලු අහසෙහි පැවති විඤ්ඤාණයයි. එහෙයින් එය විඤ්ඤාණයයි කියනු ලැබේ. කසිණ වශයෙන් ද කසිණ ඉගුළු අහස වශයෙන් ද එහි පැවති විඤ්ඤාණයෙහි උඩුයටි සරස් බව දතයුතුය. මේ මෙහි සංක්‍ෂෙපයයි. කර්‍මස්ථාන භාවනා ක්‍රමයෙන් මේ පඨවිකසිණාදිය විස්තර වශයෙන් විසුද්ධි මග්ගයෙහි කියනලදි.