මේ ඇත්කුල දහයයි. එහි කාලාවක යනු ස්වාභාවික ඇත්කුලයයි දැක්විය යුතුය. පුරුෂයන් දස දෙනෙකුගේ කායබලය එක් කාලාවක ඇතෙකුගේ ඇත. කාලාවක ඇතුන් දස දෙනෙකුගේ බලය එක් ගඞ්ගෙය්‍ය ඇතෙකුට ඇත. ගඞ්ගෙය්‍ය දසදෙනකුගේ බලය එක් පණ්ඩර ඇතෙකුට ඇත. පණ්ඩර ඇතුන් දසදෙනකුගේ බලය එක් තම්බ ඇතකුට ඇත. තම්බ ඇතුන් දසදෙනකුගේ බලය පිඞ්ගල එක් ඇතකුට ඇත. පිඞ්ගල ඇතුන් දසදෙනකුගේ බලය එක් ගන්‍ධ ඇතකුට ඇත. ගන්‍ධ ඇතුන් දස දෙනකුගේ බලය එක් උපොසථ ඇතකුට ඇත. උපොසථ ඇතුන් දසදෙනකුගේ බලය එක් ඡද්දන්ත ඇතකුට ඇත. ඡද්දන්ත ඇතුන් දසදෙනකුගේ බලය එක් තථාගතවරයකුගේ වෙයි. මෙයම නාරායන සංඛ්‍යාත බලයයි කියනු ලැබේ. ස්වාභාවික ඇතුන්ගේ ගණනින් කෝටි දහසක ද පුරුෂ සංඛ්‍යාවෙන් පුරුෂ කෝටි දසදහසක ද බලය එක් තථාගතවරයකුගේ වෙයි. මෙය වනාහි තථාගතයන් වහන්සේගේ කායබලයයි.
ඤාණබලය පෙළෙහි ආවේය. දසබල ඥානය මජ්ඣිම නිකායෙහි ආයේයි. චතු වෛශාරද්‍යඥානය අටපිරිස්හි නොසැලෙන නුවණ, යොනිසතර පිරිසිඳ දැනීමේ නුවණ හා ගති පස පිරිසිඳ දැනීමේ නුවණ සංයුත්ත නිකායෙහි ආයේයි. තෙසැත්තෑ නුවණ සත්සැත්තෑ නුවණ දැයි මෙසේ නොයෙක් වෙනත් ඥාන ද ඥානබලය නමි. මෙහි ද ඥානබලයම අදහස් කරන ලදි. ඥානය වනාහි නොසැලෙන අරුතින් ද දරා සිටින අරුතින් ද බලයයි කියනලදි.
ආසභංඨානං යනු ශ්‍රේෂ්ඨස්ථානයයි. උත්තමස්ථානයයි. පෙර බුදුවරු හෝ ආසභයෝයි. ඔවුන්ගේ තැන යන අරුතයි. තවද ගවයන් සියයක ජ්‍යෙෂ්ඨයා වෘෂභ නමි. ගවයන් දහසක ජ්‍යෙෂ්ඨයා වසහ නමි. ගාල්සියයක ජ්‍යෙෂ්ඨයා හෝ වෘෂභ නම් ගාල්දහසක ජ්‍යෙෂ්ඨයා වසභ නමි. සියලු ගවයන්ගෙන්ම ශ්‍රේෂ්ඨවූ සියලු උවදුරු උසුලන සුදු පහදවනසුලු මහත්බර උසුලන අකුණු සියයක් හඬිනුදු නොසැලෙන ගවයා නිසභයි. හෙතෙම මෙහි උසභ (වෘෂභ) යාගේ මෙයනුයි ආසභං නමි. ඨානං යනු සිවුපාවලින් පොළොව පෙළා සිටින තැනයි. මෙය වනාහි ආසභයකු වැනියයි ආසභං නමි. යම්සේ වනාහි නිසභ සංඛ්‍යාත වූ වෘෂභ තෙමේ වෘෂභ බලයෙන් යුක්ත වූයේ සිවුපාවලින් පොළොව පෙළා නොසැලෙන තැන සිටියිද එසේ තථාගතයන් වහන්සේ තථාගත බල දසයෙන් යුක්ත වූ සේක් සිවු විශාරද බව නමැති පාවලින් අටපිරිස යටකොට දෙවියන් සහිත ලෝකයෙහි කිසිදු පසමිතුරකු පරසතුරකු විසින් නොසැලියහැක්කේ නිසලතැන සිටින සේක. මෙසේ සිටිනසේක් ද, ඒ ආසභස්ථානය පිළිගනිති, එළඹෙති, ප්‍රතික්‍ෂෙප නොකරති. තමා කෙරෙහි ආරෝපනය කරති. එහෙයින් “ආසභං ඨානං පටිජානාති”යි කියන ලදි.
පරිසාසු යනු අටපිරිසෙහියි, සීහනාදං නදති යනු ශ්‍රේෂ්ඨ නාදය නඟයි, එහි සිංහයා යම්සේ සිංහබලයෙන් යුක්තවූයේ හැමතන්හි බිය නැති වූයේ දුරුකළ තැතිගැනීම් ඇත්තේ සිංහනාදය නඟයිද එසේ තථාගත සිංහයා ද තථාගත බලයන්ගෙන් යුක්ත වූයේ, අටපිරිසෙහි විශාරද සක්කායො යනාදී ක්‍රමයෙන් නොයෙක් ආකාර දේශනා විලාසයන්ගෙන් යුක්තවූයේ සිංහනාදය නඟයි. එහෙයින් “පරිසාසු සීහනාදං නදති” යි කියන ලදි.
බ්‍රහ්මචක්කං පවත්තෙති යනු මෙහි බ්‍රහ්ම යනු ශ්‍රේෂ්ඨය විශිෂ්ටය යනුයි. චක්කං යනු ධර්‍මචක්‍රයයි. එය දෙවැදෑරුම් වෙයි, ප්‍රතිවෙධ ඥානය ද දේශනා ඥානය ද යනුවෙනි. එහි ප්‍රඥාවෙන් ප්‍රභාවිත වූ තමන්ට ආර්‍ය්‍ය ඵලයන් ගෙන දෙන්නා වූ ප්‍රතිවෙධ ඥානය ද කරුණාවෙන් ප්‍රභාවිත වූ ශ්‍රාවකයන්ට ආර්‍ය්‍යඵල ගෙන දෙන්නා වූ දේශනා ඥානය ද වේ. එහි ප්‍රතිවෙධ ඥානය උපදිනු ලබන, උපන් යනුවෙන් දෙවැදෑරුම්ය. එය අභිනිෂ්ක්‍රමණයෙහි පටන් රහත්මග දක්වා උපදිනු ලබන්නේයි. ඵලක්‍ෂණයෙහි උපන්නේ නමි. තුසිත භවනයෙහි හෝ සිට මහ බෝ පළඟෙහි රහත්මග තෙක් උපදිනු ලබයි. ඵලක්‍ෂණයෙහි උපන්නේ නමි. දීපඞ්කර පාදමූලයෙහි හෝ පටන් රහත්මග දක්වා උපදිනු ලබයි. ඵලක්‍ෂණයෙහි උපන්නේ නමි. දේශනා ඥානය ද පවත්වනු ලබන පැවැත්වූයයි දෙවැදෑරුම්ය. එය අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ සෝවාන් මග දක්වා පවත්වනු ලබන්නේයි. ඵලක්‍ෂණයෙහි පැවැත්වූ නමි. ඒවා අතුරින් ප්‍රතිවෙධ ඥානය ලෝකෝත්තරය. දේශනා ඥානය ලෞකිකය. මේ දෙකම අන්‍යයන්ගෙන් අසාධාරණය. බුදුවරුන්ගේම ඖරස ඥානයයි.