වීර්යාරම්හ වර්ගය
සත්වෙනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි විරියාරම්හො යනු කෘත්‍යසතරක් ඇති සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙහි ආරම්භයයි. දැඩිකොටගත් පිරිපුන් වීර්‍ය්‍ය ඇතිබවය යන අර්‍ත්‍ථයි.
දෙවැන්නෙහි ‘මභිච්ඡතා’ යනු මහාලෝභයයි.
‘තත්‍ථ කතමා මහිච්ඡතා? ඉතරීතරචීවර පිණ්ඩපාත සෙනාසන ගිලානප්පච්චය හෙසජ්ජ පරික්‍ඛාරෙහි පඤ්චහි වා කාමගුණෙහි අසන්තුට්ඨස්ස හීය්‍යොකම්‍යතායා එවරූපා ඉච්ඡං ඉචඡාගතං මහිච්ඡතා’ රාගො සාරාගො චිත්තස්ස සාරාගො අයං වුච්චති මහිච්ඡතා’ (එහි මහිච්ඡතාව කවරීදයත් යම් යම් සිවුරු ආහාර සෙනසුන් ගිලන්පස බෙහෙත් (යන) පිරිකරෙහි හෝ පස් ආකාර කාම ගුණයන්හි හෝ අසතුටු (අතෘප්තිකර) වූවහුගේ වැඩියෙන් කැමැති වීමක් වේද එබඳුවූ කැමැත්ත, කැමැත්තට වසඟවීම, වැඩිලෝභය, ඇල්ම, දැඩි ආශාව, සිතේ දැඩි ඇල්ම යන මෙය මහිච්ඡතායි කියනුලැබේ)යි යමක් සඳහා කියනලද්දේද, ඒ මහාලෝභයයි.
තෙවැන්නෙහි අප්පිච්ඡතා යනු ආලෝභයයි. අප්පිච්ඡස්ස යනු නොකැමැත්තහුගේයි. මෙහි බ්‍යංජනය (වචනාර්‍ත්‍ථය) ඉතිරිව තිබෙන්නක් මෙනි. (එහෙත්) අර්‍ත්‍ථය වනාහි (ඉච්ඡාව) නොඉතිරිවූවකි. ඉතා අඩු ආසාවක් ඇති බැවින් එය අප්පිච්ඡයයි නොකියනලදී. ඉච්ඡාවේ අභාවයෙන් නැවත නැවත ඇසුරුකරන ලද අලෝභයාගේම වශයෙන් අප්පිච්ඡයයි කියනලදී.
තවද මෙහි අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා, අප්පිච්ඡතා යන මේ භේදය දතයුතුයි. එහි ස්වකීය ලාභයෙහි අතෘප්තවූවහුගේ අන්‍යලාභයාගේ කැමැත්ත අත්‍රිවඡතායි. යමකින් යුක්තවූවහුගේ එකම භාජනයෙහි පිසූ කැවුමකුදු තමාගේ පාත්‍රයෙහි වැටුනු විට නොමනාව පිසනලද්දක්සේද කුඩාවූවක්සේද හැඟෙයිද එයම අනුන්ගේ පාත්‍රයෙහි හෙළන ලද්දේ මනාව පිසුවක් ලෙසද විශාලවූවක් ලෙසද හැඟෙයිද ඒ නොපවත්නා ගුණ හෙළි කෙරෙන බවද පිළිගැනීමෙහි පමණ නොදැනීමද පිපිච්ඡතා නමි. ‘මෙහි ඇතැමෙක් ශ්‍රද්ධානැත්තේම ශ්‍රධ්ධා ඇත්තකු ලෙස මා ජනයා දනීවා’යි ආදි ක්‍රමයෙන් අභිධර්‍මයෙහි ආ යමක් වේද එයින් යුක්තවූ පුද්ගලයා කුහකබවෙහි පිහිටයි. පවත්නා ගුණ හෙළිකෙරෙන බවද පිළිගැනීමෙහි පමණ නොදැනීමද මහිච්ඡාතා නමි. මෙහි ඇතමෙක් ශ්‍රද්ධා ඇත්තේම ජනයා මා ශ්‍රද්ධා ඇත්තකුකොට දනීවායි කැමතිවෙයි. සිල්වත්වූයේම ජනයා මා සිල්වතකු කොට දනීවායි කැමතිවෙයි යන මේ ක්‍රමයෙන් යමක් පැමිණියේද එයින් යුක්තවූ පුද්ගලයා සන්තර්පණයට දුෂ්කරවූයේ වෙයි. වැදූ මවද ඔහුගේ සිත ගැනීමට නොහැක්කේවෙයි. එහෙයින් මෙය කියනලදී.
ගිනිගොඩද මුහුදද මහාලෝභී පුද්ගලයාද යන මේ තිදෙනා ගැලෙන් (යාලෙන්) ප්‍රත්‍යය දෙනලද්දේවුවද ඔවුහු තෘප්ත කළ නොහැක්කෝයි.
පවත්නා ගුණ සඟවනබවද පිළිගැනීමෙහි පමණ දැනීමද අප්පිච්ඡාතා නමි. එයින් යුක්තවූ පුද්ගලයා තමා කෙරෙහි පවත්නාවූද ගුණය සඟවනු කැමැත්තෙන් ශ්‍රද්ධා ඇත්තේම මා ශ්‍රද්ධා ඇත්තෙකුයයි ජනයා දනීවායි නොකැමතිවෙයි. සිල්වත්වූයේ විවේකීවූයේ බහුශ්‍රැතවූයේ, පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ සමාධියෙන් යුක්තවූයේ, ප්‍රඥා ඇත්තේ, ක්‍ෂය කළ ආශ්‍රවයන් ඇත්තේම ක්‍ෂයකළ ආශ්‍රවයන් ඇත්තෙකු කොට ජනයා මා දනීවායි නොකැමතිවෙයි. මජ්ක්‍ධනතික තෙරුන්වහන්සේ මෙනි.
මෙම තෙරුන්වහන්සේ වනාහි මහ ක්‍ෂීණාශ්‍රවයෙක් වූයේය. උන්වහන්සේට පාසිවුරු වනාහි පාදමාත්‍රයක් වටී. උන්වහන්සේ අශොකධර්‍මරාජයාගේ විහාර පූජා දිනයෙහි සංඝස්ථවිරයෝ වූහ. ඉක්බිති මිනිස්සු උන්වහන්සේගේ අතිශයින්ම රූක්‍ෂභාවය දැක ස්වාමීනි, ටිකක් ඉවත් වන්නැයි කීවාහුය. තෙරුන්වහන්සේ, මාවැනි ක්‍ෂිණාශ්‍රවයන් රජුට සංග්‍රහ නොකෙරෙත් නම් අන් කවරෙක් කරත්දැයි පොළොවෙහි ගැලී සංඝස්ථවිරයන්ගේ උඩට නැගූ අහරපිඬ ගන්නේම (යළි) මතුවූහ. මෙසේ ක්‍ෂීණාශ්‍රවවූයේම ක්‍ෂීණාශුවයෙකැයි මා ජනයා දනීවායි නොකැමති වූහ. මෙසේ අල්පේච්ඡවූ භික්‍ෂුව නූපන් ලාභය උපදවයි. උපන් ලාභය තහවුරු කරයි. දායකයන්ගේ සිත සතුටුකරයි. යම් යම්සේ හෙතෙම තමාගේ අල්පේච්ඡතාවෙන් ටිකක් ගනියිද ඒ ඒ අකාරයෙන් ඔහුගේ වතෙහි පැහැදුණු මිනිස්සු බොහෝ දෙත්.