ප්රභාස්වර වර්ගය
සවෙනි වර්ගයේ පළමුවෙනි සූත්රයෙහි, තං අස්සුතවා පුථුජ්ජනො යනු ශ්රැතවත් භාවයෙන් තොරවූ පෘථග්ජන තෙමේ ඒ භවංගසිත යනුයි. එහි ආගම අධිගම අභාවයෙන් අස්සුතවායි දතයුතුයි. යමෙක් වනාහි මේ සූත්රය මුලපටන් අර්ත්ථවශයෙන් සලකන්නේ මේ භවඞ්ගසිත නම් ප්රකෘතියෙන් පිරිසුදුවූවත් ජවන ක්ෂණයෙහි ලෝභාදී උපකේලෂයන්ගෙන් කිළිටිවූයේයයි ආගමවශයෙන් අධිගම වශයෙන්ද නොදනියි ද යමකුට ස්කන්ධ ධාතු ආයතන ප්රතීත්යසමුත්පාද සතිපට්ඨානාදියෙහි උගෙනීම් විමසීම් නිශ්චයකිරීම් නොමැතිබැවින් යථාභූතඥාන ප්රතිවේධය (අවබෝධ) ඇතිකරන්නාවූ ආගමද නැත්තේද ප්රතිපත්තියෙන් අවබෝධ කළයුතුදෙය අවබෝධ නොකළබැවින් අධිගමයද නැත්තේද හෙතෙම ආගාමාධිගම අභාවයෙන් අශ්රැතවත්යයි දතයුතුය. ඒ මෙතෙම:-
‘බොහෝ (කෙලෙස්) ඇති කරවන්නාවූ කාරණයන්ගෙන් පුථුජ්ජන නම්වෙයි. බොහෝ දෙනා ඇතුළත් වනබැවින්ද පුථුජ්ජන හෝ නම්වෙයි’.
හෙතෙම වනාහි බොහෝවූ නානා ආකාර ඇති කෙලෙසුන් ජනනය කිරීම් ආදී හේතූන්ගෙන් පුථුජ්ජනවෙයි. යම්සේ කියනලද්දේද,
බොහෝ කෙලසුන් උපදවත්නුයි පුථුජ්ජනානම්වෙත්, බොහෝවූ විනාශ නොකරන ලද සත්කායදෘෂ්ටිකයෝයි පුථුජ්ජනා නම් වෙත්. බොහෝ ශාස්තෘවරුන්ගේ මුහුණ දෙස බලන්නාහුයි පුථුජ්ජනායි. බොහෝවූ සියලු ගතීන්ගෙන් නොනැගිටියාහුයි පුථුජ්ජනායි. බොහෝවූ නානා ආකාර කුශලාකුශලයන් රැස්කරතියි පුථුජ්ජනායි. සන්තාපයන්ගෙන් තවතැයි පුථුජ්ජනායි. බොහෝවූ නොයෙක් පරිළාභයන්ගෙන් දවතැයි පුථුජ්ජනායි. බොහෝවූ පඤ්චකාම ගුණයන්හි ඇලුණාහු ගිජුවූවාහු බැඳුණාහු තදින් ගැළුණාහු ඇතුළුවූවාහු රැඳුණාහු ගිලුණාහු එරීගියාහුයි පුථුජ්ජනායි. බොහෝවූ (වෙන් වෙන් වූ) පංච නීවරණයන්ගෙන් වට වූවාහු වසනලද්දාහු, යටපත් කරන ලද්දාහු ආවරණය කරනලද්දාහු සඟවනුලද්දාහු යටිකුරු කරනලද්දාහුයි පුථුජ්ජනායි
බොහෝවූ සංඛ්යාපථය ඉක්මවන ලද්දාවූ, ආර්ය්යධම්යන්හි පරාංමුඛවූ ලාමක ධර්මයන්හි හැසිරෙන්නාවූ ජනයන් ඇතුළත් වනබැවින්ද පුථුජ්ජනායි. වෙන්වූ හෝ මෙතෙම වෙන් වෙන්වම පළටවූයේ සීලසුතාදි ගුණයන්ගෙන් යුක්තවූ ආර්ය්යයන්ගෙන් ඈත්වූ ජනතෙමේ යනුවෙන්ද පුථුජ්ජන නම්වෙයි. මෙසේ අස්සුතවා පුථුජ්ජනො යන මේ පද දෙකින් යම් ඒ පෘථග්ජනයෝ වෙත්ද?
“ආදිච්චබන්ධු වූ බුදුරජාණන් වහන්සේ විසින් පුථුජ්ජනයෝ දෙදෙනෙක් දෙසන ලද්දාහුය. එකෙක් අන්ධපෘථග්ජනයායි. අනෙකා කල්යාණ පෘථග්ජනයායි. (යනුවෙන්)
පෘථග්ජනයෝ දෙදෙනෙක් කියනලදහ.” ඔවුනතුරෙන් අන්ධපෘථග්ජනයා (මෙහිදී) කියනලදැයි දතයුතිය.
යථාභූතං නප්පජානාති යනු මේ භවාංග සිත මෙසේ ආගන්තුකවූ කෙලෙසුන්ගෙන් කිළිටිවූයේ නම්වෙයි. මෙසේ මිඳුණේ නම්වේයයි ස්වභාවයට අනුව නොදනියි. තස්මා යනු යම්හෙයකින් නොදනියිද එහෙයිනියි. චිත්තභාවනා නත්ථි යනු සිත නවත්වා ගැනීමක්, සිතේ අයිතියක් නැත. නැති බැවින්ම නැතැයි කියමැයි දක්වනුලබයි.
දෙවැන්නෙහි සුතවා යනු ශ්රැතවත්බවින් යුක්තවූයේයි. විස්තර වශයෙන් මෙහි අස්සුතවා යන පදයට ප්රතිපක්ෂ වශයෙන් අර්ත්ථය දතයුතුයි. අරියසාවකො යනු බුදුවරුන් හා පසේබුදුවරුන් යම්සේද එසේ වූ ශ්රාවක නොවන ආර්ය්යයෙක් ඇත. නොලද (සෝවාන් ආදී) ඵල ඇති ගිහියා යම්සේද එසේවූ ආර්ය්ය නොවන ශ්රාවකයෙක් ඇත. අන්යතීර්ථකයෝ යම්සේද එසේවූ ආර්ය්යනොවූද ශ්රාවකනොවූද අයෙක් වෙත්. පැමිණි ඵල ඇති සසුන දන්නා ශ්රමණ ශාක්ය පුත්රයෝ යම්සේද එසේවූ ආර්ය්යවූද ශ්රාවකවූද අයෙක්වෙත්. මෙහි වනාහි ගිහියෙක් හෝ වේවා! පැවිද්දෙක් හෝ වේවා! යම් කිසි සුතවා යනුවෙන් මෙහි කියනලද පදයාගේ අර්ත්ථවශයෙන් ශ්රැතවත්වූ මේ ආර්ය්යශ්රාවකයායි දතයුතුයි. යථාභූතං පජානාති යනු මෙසේ මේ භවාංග සිත ආගන්තුකවූ කෙලෙසුන්ගෙන් මිදුණේ වෙයි. මෙසේ කිළිටිවූයේයි ස්වභාවය පරිද්දෙන් දනී. චිත්තභාවනා යනු සිත නවත්වා ගැනීමක්, සිතේ අයිතියක් ඇත. ඇති බැවින්ම ඇතැයි කියමැයි දක්වනු ලබයි. මෙම සූත්රයෙහි බලවත් විදර්ශනාව කියනලදී ඇතමෙක් තරුණවිදර්ශනාවයයි කියති.